චිත්‍රපට ප්‍රචාරණයේ වැදගත් කම

0
217

චිත්‍රපට ප්‍රචාරණයේ වැදගත් කම (Importancy of the Film promotions)

ලාංකේය සිනමාව තුල ගිලිහී යන අත්‍යවශ්‍යම අංගය චිත්‍රපට ප්‍රචාරණයයි. එය නිසි ලෙස සිදු නොවන නිසා බොහෝ හොද ගනයේ චිත්‍රපට පවා දින දෙක තුනකින් චිත්‍රපට ශාලා තුලින් ගැලවී යයි. කෝටි ගණනක් වියදම් කරමින් නිපදවන චිත්‍රපට එලෙස දින දෙක තුනකින් ගැලවෙන කල, චිත්‍රපට නිෂ්පාදකයාට සිදුවන්නේ සිය දිවි හානි කර ගැන්මටය. චිත්‍රපටය හොද නම්, අනිවාරයෙන්ම යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බව දන්නේ නම්,එය දින දෙක තුනකින් ශාලා තුලින් ඉවත් වන්නට සිදුවන හේතුව වන්නේ ,චිත්‍රපටය ගැන ප්‍රේක්ෂකයා හරි හැටි නොදැනීමය.

චිත්‍රපට ප්‍රචාරණය අත්‍යවශ්‍ය වන්නේ මේ වපසරය තුලය. අද මිනිසුන්ට විවිධ වූ විනෝද මාර්ගයන් විවෘත වී තිබේ . චිත්‍රපට අත් අල්ලටම පැමිණ ඇත. නමුත් මොනතරම් විශාල ප්‍රමාණයේ රුපවාහිනි තිර මත චිත්‍රපට නැරඹුවද ශාලාවකට ගොස් නරඹන තරම් වින්දනයක් ලැබීමට නොහැක. එහෙයින් මිනිසුන් තමනට දැනෙන, හැගෙන ,දන්න චිත්‍රපටය නරඹන්නට යති. චිත්‍රපටය ඒමට ප්‍රථම මිනිසුන්ට දනවන්නට,හගවන්නට,හා දන්වන්නට නම් අවශ්‍ය වන්නේ ප්‍රචාරණයයි.

60-70 දශකය තුල චිත්‍රපට ප්‍රචාරණයේදී විවධ ක්‍රම භාවිතා කෙරුණි. විශේෂයෙන් ග්‍රාමීය ජනතාවේ ආකර්ෂණය ඔවුන් තම චිත්‍රපටය වෙත හරවා ගත්තේ කරත්ත ,මොරිස් මයිනර් හා හිල්මන් කාර් හරහාය. කරත්ත වල දෙපැත්තේ චිත්‍රපට නාම පුවරු ,නළු නිළියන් ගේ කටවුට් පින්තූරු සවිකර කරත්තය සෙමින් සෙමින් ගම මැද්දේ ඇදෙයි. කොල්ලෝ කුරුට්ටෝ කෑ කෝ ගසමින් කරත්තය පිටුපස එල්ලී එයි. කඩමණ්ඩියේ රැස් වන ගැමියන්, පාරේ යන එන මිනිසුන් ගැහැනුන් හා නිවෙස්තුල රැදුණු නිවැසියන් සියල්ලම කරත්තයේ සවි කර ඇති චිත්‍රපටයේ නාම පුවරුව දෙස බලමින් චිත්‍රපටය සිතේ ධාරණය කර ගනී. මොරිස් මයිනර් හා හිල්මන් කාර් හරහා එන ප්‍රචාරණය කරත්තය මෙන් මන්දගාමී නොවේ. එම කාර් උඩ යකඩ කටවල් නොහොත් ලවුඩ්ස් ස්පීකර්
බැද, එම චිත්‍රපටයේ ගීතයක් එම ලවුඩ්ස් ස්පීකර් තුලින් ඉමහත් ශබ්දයකින් ප්‍රචාරය කරමින්, චිත්‍රපටයේ අත් පත්‍රිකා කාරයේ කවුළු තුලින් විසිකරමින් ,චිත්‍රපටයේ විස්තර, නළු නිළියන්, චිත්‍රපටය පෙන්වන ශාලාව හා වේලාවන් විස්තර කථකයා කාර් රථයේ සිටම ශබ්ද වාහිනිය හරහා ගැමියන්ට දැනුම් දෙයි. බොහෝ අය අත් පත්‍රිකා අහුලා ගැන්මට කාර් රථය පිටුපස යන්නට විය. මෙයින් ඔවුන් චිත්‍රපටය ගැන මුල් දැනුම ලබා ගන්නා අතර, චිත්‍රපට නොබලන අය පවා චිත්‍රපටය ශාලාවට ගොස් නැරඹීමට උත්සහා ගනී. විශේෂයෙන් තරුණ තරුණියන් හා නිවෙස් වල සිටින බිරිදන් හෝ මව් වරුන් මෙයට උනන්දු වේ.
මෙය එකල ප්‍රබලතම ප්‍රචාරණ ක්‍රමයකි. දැනුදු ඇතැම් ගම් වලට මෙම ක්‍රමය භාවිතා කරයි. වෙනසකට ඇත්තේ එදා මොරිස් මයිනර් හා හිල්මන් කාර් වෙනුවට මෙම ප්‍රචාරණය ගෙනයනුයේ ත්‍රී වීල් හරහා වීමය.

නමුත් අද තත්වය ඉතාමත් තරගකාරිය. එලෙසම තාක්ෂණිය මෙවලම් ද ප්‍රචාරණයට එකතු වී ඇත. එහෙත් ලාංකේය ජන සමාජයට චිත්‍රපට කා වැද්දීමට එම තාක්ෂණීක මෙවලම් එතරම් උපකාරයක් වන්නේ නැත. එහෙයින් චිත්‍රපටයක් ප්‍රචාරණයේදී විවිධ වූ ක්‍රම භාවිතා කල යුතුය.

“පැණි මකුළුවෝ” නමින් චිත්‍රපටයක් 2017 මැයි මාසයේ ප්‍රදර්ශනය කළේය .ජනප්‍රිය නළුවෙකුට එහි සිටියේ සනත් ගුණතිලක පමණි .නමුත් චිත්‍රපටය ඉතාමත් කාලෝචිත තේමාවක් මත “ත්‍රිල්”ගනයේ කථාවස්තුවක් තුල නිර්මාණය වූ, අනෙගි චිත්‍රපටයක් විය. නවීන තාක්ෂණ මෙවලම්,වැරදි අන්දමට භාවිතා කිරීමෙන් ජීවිත කීපයක් විනාශ වන අන්දම විශිෂ්ඨ ලෙස චිත්‍රපටයෙන් හුවා දැක්විය. චිත්‍රපටය තුල ජනප්‍රිය වන අංග ගණනාවක් තිබුණි. එහෙත් මෙවන් චිත්‍රපටයක් පැමිණි බවක් හෝ, පෙන්වූ බවක් හෝ, එලෙසම පෙන්වා ගිය බවක් හෝ, කිසිවෙක් දැනගෙන සිටියේ නැත. මා එම චිත්‍රපටය නරඹන්නට යන විටත් ශාලාව තුල දසදෙනක් වත් සිටියේ නැත. ඒ පලවන දින තුන ඇතුළතය. ඉන් පසු හිටි ගමන්ම චිත්‍රපටය වාෂ්ප වී ගියේය. එයට වියදම් කෙරූ ලක්ෂ ගණන්, කෝටි ගණන් වතුරේය. මා එතන දුටු විශාලතම අඩුව නිසි ප්‍රචාරණයක් නොදීමය. මේ එක් නිදසුනක් පමණි. මෙලෙස චිත්‍රපට ගණනාවක් දියාරු වී ගියේ නිසි ප්‍රචාරාත්මක සැලසුම් නොමැතිවූ නිසාය.

චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට ප්‍රථම අවම වශයෙන් මාස තුනකට හෝ පෙර ප්‍රචාරණය පටන් ගත යුතුය. එය විවධ ක්‍රම මගින් ප්‍රේක්ෂකයාට කා වැද්දිය යුතුය. තීරු ලිපි, සිනමා ලිපි, ශුභවාදී විවේචන, චිත්‍රපටයේ කථා ශාරය ,නළු නිලි හා කාර්මීක ශිල්පීන් ගැන, ගොසිප්,සහ එහි ඇති ත්‍රාසජනක සිදුවීම් ,ඇත්තට සිදුවුණු බවක් ලෙස පෙන්වමින් ගොතන මිත්‍යා කථා , එමෙන්ම එහි එන ඇතැම් දර්ශන නිතර නිතර පෙන්වමින් ප්‍රේක්ෂකයාව චිත්‍රපටය නැරඹීමට පෙළඹිය යුතුය. දැන් දැන් බොහෝ රටවල මේවා චිත්‍රපට ප්‍රචාරණ ආයතන වලට බාර දෙනු ඇත. ඔවුන් ඒවා නිසි ලෙස සැලසුම් කර චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට ප්‍රථම ප්‍රේක්ෂකයාව පූර්ණව දැනුවත් කරයි. එවිට චිත්‍රපටය ප්‍රදර්ශනය වන තෙක් ප්‍රේක්ෂකයා නොඉවසිල්ලෙන් බලා සිටී.

එහෙයින් දැවැන්තව තම ප්‍රචාරණ කටයුතු කල යුතුමය. හැම චිත්‍රපටයකම ප්‍රදර්ශනයට ප්‍රථම “විකිපීඩියා” එකක් සකස් කල යුතුය. එවිට තාක්ෂනය භාවිතා කරන අයට චිත්‍රපටය ඒමට ප්‍රථම සියලු විස්තර දැනගත හැකි වනු ඇත . කලම්බු ටීම් වැනි චිත්‍රපට දැන්වීම් හා ප්‍රචාර ආයතන දැන් ලංකාවේ බිහිවී ඇත්තේ, චිත්‍රපට නිෂ්පාදකයාව බේරාගෙන ඔවුනගේ චිත්‍රපට වලට විශාල ප්‍රේක්ෂකාගාරයක් ඇති කිරීමටය. අද සියල්ලම කල යුත්තේ වෘත්තිමය ලෙසය. චිත්‍රපටයේ සැලසුමේ, සිට නිර්මාණය දක්වාත්, නිර්මාණයේ සිට දැන්වීම් කරණය දක්වාත්, දැන්වීම් කරණයේ සිට ප්‍රදර්ශනය දක්වාත්, වෘතිමය වූවහොත් තම චිත්‍රපටය ජනප්‍රිය කරගැන්මට,නිෂ්පාදකයාට හැකි වනු නොඅනුමානය. එයින් නිෂ්පාදකයා, අධ්‍යක්ෂකයා, ශාලා හිමියා පමණක් නොව මුළු සිනමාවම රැක ගත හැකිය.

-ශෝන් මැක්ස්මස් දිසානායක-

Home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here