ප්‍රසන්න විතානගේ සිනමා විශ්ලේෂණය- 8 -“උසාවිය නිහඩයි”

0
350

 ප්‍රසන්න විතානගේ සිනමා විශ්ලේෂණය- 8 -“උසාවිය නිහඩයි”(Prasanna Withanage Cinema Creations Usaviya Nihadayi)

රාගයට ජාතියක් ජන්මයක් නැත. කොතෙක් උස් තැනක සිටියද ,මහේස්ත්‍රාත් ලීලාවෙන් වැජඹුණිද ,රාගය හමුවේ ඇකිලෙන්නේ නිදිකුම්බා මල් හැකිළුණු ආකාරයටය. සමාජයේ උසස් තලයක,උසස් වෘත්තියක  සිටින කල  තමාගේ ඇග පුරා දිවෙන කිතිය සමනය කරගැන්මට පහත් තලයේ සිටින අය සෑදී පැහැදී  සිටිය යුතු යැයි ඔවුන් සිතයි. නමුත්  තත්වයෙන් හෝ වෘත්තියෙන් පහත් අයගෙන් යම් කිසි දිනෙයක ඉල්ලන් කන විට  ඒ කන්නට දෙන ඒවා අශුචි වුවද  ඒ මහේස්ත්‍රාත් ලීලාවෙන් සිටිය අයට ඒවා රස කර කර කන්නට සිදුවේ,

මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකටද සිදුවූයේ එයයි. උසාවියේ නඩු අසන විට, තම මහේස්ත්‍රාත් පුටුවේ සිටියදීම විත්ති කූඩුව දෙසින් ආ අශුචි තලියක් මුහුණු හරහා වැදීමේ “ආතල්” එක දන්නේ මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකමය. ප්‍රසන්න විතානගේ තම උත්කෘෂ්ඨවත් සිනමා භාෂාව ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් සත්‍ය සිදුවීමක් සදහා යෙදවිය.ඒ රාවය පුවත් පතේ කතෘ වික්ටර් අයිවන් විසින් උලුප්පා දැමු, මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකගේ අශුචි කථාවය. ප්‍රසන්න මෙය මොනතරම් ගැඹුරින් විග්‍රහා කලාද කිවහොත්,එතැන් පසු, උසාවිය තුල  එතෙක් කල් ඇස් වසා සිටි නීතියේ දෙවඟන ,නඩුවක් පටන් ගන්නා විට ,එම දෑස් රෙදි කඩ ඉවත ලා, බැලුවේ,උසාවි ශාලාවේ කොතැනක හෝ ප්‍රසන්න විතානගේ සිටිනවාද කියාය. හේතුව ප්‍රසන්න තම “උසාවිය නිහඩයි” කෘතියෙන්  නීතියේ දෙවඟන ගේ වසා තිබු දෑස් රෙදි කඩ පමණක් නොව ,ඇගේ ඇදී වත පවා ගලවා දැමූ නිසාය.

කේ.එම්.බී. කමලාවතී විසින් තමාට ලංකා අධිකරණයෙන් සිදුවූ විශාලම අසාධාරණය  රාවය පුවත් පතේ කතෘ වික්ටර් අයිවන්ට පැවසුවේ, මේ ගැන තම පුවත් පතින් හෝ සාධාරණයක් වෙනු ඇතැයි සිතාය. කමලාවතී සිතුවාටත් වඩා, ඉහලම සාධාරණය වික්ටර් අයිවන් තුලින් සිදුවිය.”මහේස්ත්‍රාත් සැකකරුවෙකුගේ බිරිඳ දුෂණය කරයි” යන හෙඩිම රාවය පුවත් පතේ නොබියව නොසැලී පල කලේ  කමලාවතීටත් ,කමලාවතී වැනි,අය නියෝජනය වෙන අසරණ පන්තියටත් ,ලොකු පිටුවහලක් වීමටය. දුෂිත මහේස්ත්‍රාත්වරයාගේ, සෙළුව මහජනයාට පූර්ණව විවුර්ත කිරීමටය. පුවත් පතේ දිගින් දිගටම මෙය හුවා දක්වන විට  දෘශ්‍ය මාධ්‍යයෙනුත් පෙන්වූවා නම් යෝග්‍ය යැයි ප්‍රසන්නට සිතෙන්නට ඇත.

“උසාවිය නිහඩයි”  මුළු රටේම නිහඩ බව බින්දේ ය. කේ.එම්.බී. කමලාවතී,චන්දන පුෂ්පරුවන්, ලෙනින් රත්නායක, නීතිඥ තෙන්නකෝන්, වික්ටර් අයිවන්  තිරයට පැමිණියහ.වාර්තාමය තිර නාටකයක් ලෙසින් මෙම සත්‍ය සිදුවීම් පෙළගස්වාගත් ප්‍රසන්න එය මනා සංයමයකින් සෙලෝලයිඩ් පටයේ ඇමිනීය.ලංකාව වැනි රටක,දුෂිත මහේස්ත්‍රාත් කෙනෙකුට චෝදනාත්මක නිර්මාණයක් කිරීම පහසු නැත. එසේ චෝදනා කරන්නේ නම් එම චෝදනාව සත්‍යවාදී විය යුතුය.  එය සත්‍යවාදී යැයි ඔප්පුකල යුතුය. චිත්‍රපටය තුල රාවය පුවත් පතේ කතෘ වික්ටර් අයිවන්  එම චෝදනා පියවරෙන් පියවර ඔප්පු කළේය.ප්‍රසන්න එම සිදුවීම් පෙළ, ඊට අනුචිත නළුනිළියන් යොදවා  ප්‍රාණවත් කළේය. ඔහු යොදා ගත් නළුනිළියන් කිසිවෙක් ජනප්‍රිය තාරකා නොවීය.නමුත් ඔවුන් එකී චරිත වලට බද්ධ වී,ඒවා හරි අපූරුවට ජීවමාන කළහ.

වික්ටර් අයිවන් විසින් ගවේෂණාත්මකව සොයාගත් සත්‍ය සිදුවීම්, හා ඔහු විටින් විට ඔහුගේ රාවය පුවත් පතින් ඉදිරිපත් කල ලිපි තුලින්  සිදුවුණු සිදුවීම කුමක්දැයි ප්‍රේක්ෂකයාට ඉමහත් විශ්වාසනීය භාවයකින් ඉදිරිපත් කරන්නට ප්‍රසන්න තම සිනමා ඥානය උපයෝගී කර ගති. ප්‍රසන්න එය යථාර්තයක් බවට පත් කර ගන්නේ චිත්‍රපටයේ අවසන මෙසේ සදහන් කරමිනි.  “මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක හා හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා යන මහත්වරුන්ට ඔවුන්ගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමට අප විසින් ලිඛිතව ආරාධනා කරන ලදී. එහෙත් ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොවීය”   එසේ ප්‍රතිචාරයක් නොදැක්වූයේ,ඔවුනට ඔවුනගේ නිවැරදිභාවය ඔප්පුකිරීමට නොහැකි වූ නිසා වන්නට ඇත.එහෙයින් “උසාවිය නිහඩයි” තුලින් වික්ටර් අයිවන් සහ ප්‍රසන්න විතානගේ,සත්‍ය පුවතක් ඉදිරිපත් කර බව පැහැදිලිවම ඔප්පු විය.

ලෙනින් රත්නායක ගේ චරිතය ඇතුලාන්තයෙනුත් ,මතුපිටිනුත්  ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගන්වන්නේ ස්ත්‍රීන්ට අධික ලෙස ලොල් වූ රාගාධිකයෙක් ලෙසය.නොඑසේනම් තමන්ගේ තත්වය ගැන නොසලකා ,තමන්ගේ වෘත්තීයේ ගරුත්වය පවා නොතකා බල්ලෝ බළල්ලු මෙන් තැනක් නොතැනක් ගැන නොසිතා අධිකරණයේ බංකුව මත තබා ගෙන හෝ ස්ත්‍රීන්ට ලිංගීක අඩම්තේට්ටම හා දුෂණය කරන දරුණු මානසික ලෙඩක් ඇති අවලමෙක් ලෙසට ය.මේ ලංකා රජය නියෝජනය කරන තවත් ප්‍රතාපවත් තනතුරක් දරන, එම තනතුර තම සුඛවිහරනයකට යොදා ගන්නා  රාජ්‍ය සේවකයෙකුගේ,පිංපි මානසිකත්වයයි.ලෙනින් වැනි වනචාරි ,ලිංගීක රෝගියෙකුට පිම්පි කම් කෙරු නීතිපති සරත් එන්,සිල්වා, හා ලෙනින්ට ගැහැණු සපයා දෙන  නීතිඥ තෙන්නකෝන්ගේ, කලිසම් ගලවා දැමීමට, වික්ටර් අයිවන්ගේ පෑනට හැකිවූවා සේම ඔවුන්ව ප්‍රේක්ෂකාගාරයට ගෙනවිත් නිරුවත් කිරීම  “උසාවිය නිහඩයි” තුලින්  ප්‍රසන්නට හැකි විය. ප්‍රසන්න ඇත්ත ඇති සැටියෙන් කියනවට වඩා ඇත්ත සිනමාත්මකව කිවේය. මෙම චිත්‍රපටයේ අවසාන රූප රාමු අතර, සරමක් කමිසයක් ඇදගත්  ඉතාමත් වයෝවෘද්ධ මිනිසෙක් පරණ විශාල කුඩයක් ඉහලා ගෙන පාරක් දිගේ ඇවිද ගෙන යන දර්ශනයක් තිබුණි.  මා මෙම මුළු චිත්‍රපටයේම හරය දුටුවේ එතැනය. කේ.එම්.බී. කමලාවතී,චන්දන පුෂ්පරුවන්,වැනි චරිත මොන තරම් අසරණදැයි  හරියටම දැනුණේ අර වයෝවෘද්ධ මිනිසා හරහාය. ප්‍රසන්නගේ සිනමාත්මක ඇසේ වටිනාකම දැනේනේ මෙම සංකේත දකින විටය. ප්‍රබල සිනමා කරුවෙකු සතු ඥානය තුලින් විපුල ලෙස ප්‍රයෝජනය ගන්නා අන්දම ප්‍රසන්න මනා ලෙස ඔප්පු කර පෙන්වා තිබුණි.

ලෝකයේ  විශිෂ්ඨ චිත්‍රපට අතරට “සයිලන්ස් ඔෆ් කොර්ට්ස්” එකතු වන්නේ, එහි රාමුවක් රාමුවක් තුලට, ප්‍රසන්න විසින්  සිනමාත්මක  වටිනාකමක් දී තිබු නිසාය. ගවේෂණාත්මක වාර්තාමය සිනමා නාටක භාෂාවක්, “උසාවිය නිහඩයි” සිනමා පටය තුලින් ලාංකේය සිනමාවට හදුන්වාදී, එහී තිබෙන යථාර්තවදි වූ
හරය කාව්‍යක්මෙන් පබැද ලෝක සිනමා රසිකයන්ට ඉදිරිපත් කලේ,ඉතාමත් උත්කෘෂ්ඨවත් සිනමා පටයක් ලෙසය. එදා “පුරසද කළුවර”,”ඉර මැදියම” හා “ඔබ නැතිව ඔබ එක්ක” චිත්‍රපටවල  ප්‍රසන්න ලෙසින් ඔහු තැබූ මුද්‍රාව,නැවතත් විසල් ලෙස “උසාවිය නිහඩයි” මත තබන්නට විය.

මා මේ ලිපි පෙල ලිවීමේදී මුල්ම ලිපියේ දුටු ගැමුණු රජුගේ නීලමහා යෝධයා ගැන ලීවෙමි. එලෙසම මිනිසුන් අතරේ මතුවන “හීරෝ” එක් එක් යුගයකදී වෙනස් වේ.  ප්‍රසන්න ගැන මා මුල්ම ලිපියෙන් හදුන්වා දුන්නේ මෙසේය.    “මේ කුමක් හෝ එක් කථාවක ආරම්භයකි. කථාව එලෙස ආරම්භ වනවිට ,එයින්   තවත් විශාල වැඩ කල හැකි පුංචි මිනිසෙකුගේ කථාවකුත් ආරම්භ විය. නීල මහා යෝධයාගෙන් ,නීල් අම්ස්ට්‍රොන්ග්ට පරිවර්ථනය වී, දැන් එය “සිසිල ගිනි ගනී ” නම් සිනමා පටය හරහා තවත් විශාල වැඩ කල හැකි පුංචි මිනිසකුගේ ආගමනය සිදු විය.  ඔහු නමින්  ප්‍රසන්න විතානගේය.”

එදා එලෙස “සිසිල ගිනි ගනී” චිත්‍රපටය තුලින්  විශාල වැඩ කල හැකි පුංචි මිනිසෙකු ලෙස ආ ප්‍රසන්න විතානගේ  “අනන්ත රාත්‍රිය” “පවුරු වළලු ” පුරසද කළුවර” “ඉර මැදියම” “ආකාස කුසුම්”,”ඔබ නැතිව ඔබ එක්ක” හරහා “උසාවිය නිහඩයි ” වන තෙක් පැමිණ ඇත. මා කීවක් මෙන් නීල මහා යෝධයා, නීල්  ආම්ස්ට්‍රෝන්ග් අභිබවා යුගයෙන් යුගයට  ලෝකයට ආ සුපර් හීරෝ වූ, “සැම්සන්” “ස්පාර්ටකස් ” “ජුලියස් සීසර්” “රම්බෝ” “ටර්මිනේටර්” “ස්පයිඩර් මෑන්”  වැන්නන් මෙන් ප්‍රසන්න විතානගේද ලෝකයේ තවත් “සුපර් හීරෝ” කෙනෙක් වී ඇති බව මට සත්‍ය ලෙසම ප්‍රත්‍යක්ෂය වූයේ “උසාවිය නිහඩයි” නැරඹු පසුවය.

-ශෝන් මැක්ස්මස් දිසානායක-

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here