ප්‍රසන්න විතානගේ සිනමා විශ්ලේෂණය-6-“ආකාස කුසුම්”

0
218

ප්‍රසන්න විතානගේ සිනමා විශ්ලේෂණය. 6 -“ආකාස කුසුම්” (Prasanna Withanage Cinema Creations Akasa Kusum)

වල් ගැහැණුන්ට කාමර දී හම්බ කරන්න ලැජ්ජා නැද්දැයි අසන්නේ සන්ධ්‍යා රාණි ගේ බාල සොහොයුරිය වූ මල්ලිකාය.එහෙත් මල්ලිකාගේ ආර්ථීක හෝදාපාළුවට සන්ධ්‍යා රාණි මල්ලිකාට උපකාර කරන්නේද ඒ වල් ගැහැණුන්ට කාමර දී හම්බකරන මුදල් වලින්ය. මල්ලිකා ඒ බව දැන දැනත් අඩාපාලියක් කීමටද ඇයට අවශ්‍යය. ඒ සමගම අර සන්ධ්‍යා රාණිට ලැබුණු මුදල් වලින් කීයක් හෝ ලැබේවි යන බලාපොරොත්තුවෙන් තම නිවසේ අය වැය ශීර්ෂය සන්ධ්‍යා රාණි ඉදිරියේ දිග හරියි. සන්ධ්‍යා රාණි ගේ පැටිස් මිශ්‍රණය දුටු විට කටට කෙල උනයි . එය බැදෙන ආකාරය හා බැදුනාට පසු කූඩේ අතුරන විට, හොරෙන් හෝ කන්නට හිතෙයි. එලසෙම විස්කි වැටිය යුතු වීදුරු ඩික්ටෙටරයට ගල් අරක්කු දමා ගෙන සන්ධ්‍යා රාණි අඩි පුඩි ගහන විට අපේ පිස්සු ඩබල් වෙයි.

ප්‍රසන්න ගේ හයවන චිත්‍රපටය වූ “ආකාස කුසුම්” ආරම්භ කලේ එසේය. මාලනී ෆොන්සේකාව යොදා චිත්‍රපටයක් කළයුතුයැයි ප්‍රසන්න සිතා සිටියාය කියා මා නම් විශ්වාස කරන්නේ නැත. ඒ, මාලනී ෆොන්සේකා ප්‍රසන්නගේ තෝරා ගැනීම් නොවන බවය. මාලනී පමණක් නොව, සිසිල ගිනි ගනී චිත්‍රපටයට සබීතාව ගැනීම, එහී නිෂ්පාදක සනත් ගුණතිලකගේ උවමනාවටත් , පව්රු වළලු නිෂ්පාදිකා නීටා ප්‍රනාන්දු, ගේ උවමනා වට, ඇගේ චිත්‍රපටයේ ඇය රගපෑමත් සිදුවූවා, මිස, මේ වාණිජ දහරාවේ අරුමෝසම් ප්‍රසන්නගේ “චෝයිසස් “නොවන බව නම් ප්‍රසන්නගේ ප්‍රේක්ෂකයෝ දනිති. . නමුත් ඇතැම් විට ප්‍රසන්නගේ ප්‍රිය භාර්යාව දමයන්ති ෆොන්සේකා “අක්කාව”දමා චිත්‍රපටයක් නොකිරීම ගැන දැමු “බර බරයට ” ප්‍රසන්නට යටත් වන්නට ඇත . අකාස කුසුම් බිහිවෙන්නට ඇත්තේ එසේ විය යුතුය. නමුත් මෙය ප්‍රසන්නගේ “බ්‍රෑන්ඩ්”එකට අයිති වූ චිත්‍රපටයක් නොව. මාලනී ෆොන්සේකා අග්‍රගණයේ නිළියක් වුවද,ප්‍රසන්නගේ ඉව ඇය නොව. මාලනී කෙතරම් ප්‍රබල රංගධාරිනියක් වුවද ප්‍රසන්නගේ වපසරිය තුල, මාලනී යනුද එක්තරා නිළියක් පමණි. “ආකාස කුසුම්” කථා ශාරය වූයේ කල් ඉකුත් වූ ජනප්‍රිය නිළියකගේ ජීවන අරගලයය. එවිට බොහෝ “ෆැන්ටැසි” දර්ශන පෙන්වීමට ප්‍රසන්නට සිදුවිය.එයට හේතුවූයේ , චිත්‍රපටය කියවුනේ සිනමා කර්මාන්තය ගැන නිසාය. එහෙයින් ප්‍රසන්නට චිත්‍රපටය “ග්ලැමර්” කිරීමට සිදුවිය. “ග්ලැමර්” චිත්‍රපට ප්‍රසන්නගේ සංස්කෘතිය නම් නොව. ප්‍රසන්න අතරමං වූයේ එතැනදීය.

ප්‍රියා ගුණරත්න ගේ ලේ වලට ඒඩ්ස් වෛරසය ඇතුලත් වී තිබු බව දැනගත් පසු ප්‍රියා කලබල වුවද, එයට වඩා තැති ගත්තේ ඇය මාස දෙකක ගැඹනියක් බව දැනගත් පසුය. ඇගේ ජීවිතය දැන් විනාස මුඛයේ තිබුනද, නූපන් දරුවෙකුගේ ජීවිතයට වග කිව යුත්තේ කව්රුද යන වගට ඇය බියවූවාය.
කැරෝකේ සමාජශාලාවක, මිනිසුන්ව සතුටු කරන රාජකාරියක් කෙරු ඇයට, මත් පැන් ,මත් ද්‍රව්‍ය ,දුම් වැටී, මෙන්ම,මිනිසුන් ව ලිංගීකව තෘප්තිමත් කිරීම ඇගේ දින චාරියන්ගේ අංගයන්ය. දරුගැඹ විනාශ කර දැමීමට මුලින් අදහස් කර, ඒවා විනාශ කරන වෙදදුරෙකු ලගට ගියද, අවසානයේ ඇය දරුගැඹ විනාශ කිරීමට අකමැති විය. දරුවා බිහිවිය යුතුයි තීරණය කලාය .ඒ පසු පස විශාල හේතුවක් තිබුණි.”මං එයා වගේ වෙන්නේ නැහැ “කියා ඇය කීවේ ඒ නිසාය.

ප්‍රසන්න යලි කථාන්තාර කීමට සැරසුණි. “ඔන්න එකමත් එක රටක ලස්සන ගැහැණු ළමයෙක් සිටියා. එයාගේ තාත්තා ,චිත්‍රපට චිත්‍රාගාරයක, ලයිට් අල්ලන කෙනෙක්. දවසක් මේ ගෑනු ළමයා, තාත්තත් එක්ක චිත්‍රාගාරය බලන්න ගියා. ඒ ගෑනු ළමයව චිත්‍රපට නිෂ්පාදකයෙක් දැකලා චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට තෝර ගත්තා. …… ඔය වගේ විශාල හෑල්ලක්ය ප්‍රසන්න කියන්න පටන් ගත්තේ. යලිත් ප්‍රසන්න කථාන්තර කාරයෙක් වුවද, ඔහු එය ඉදිරිපත් කලේ තැනින් තැනය. 50-60-70 දශකයේ එක දිගට ගලා ගිය චිත්‍රපට කථා, තුලට, තැනින් තැනින් සිදුවීම් එකතු කර අවසානයේ කුමක් හෝ විසදුමක් දීම හෝ, විසදුමක් නොදී සිටීමේ ක්‍රමය ධර්මසේන පතිරාජා ,වසන්ත ඔබේසේකර ,ධර්මසිරි බණ්ඩාරනායක විසින් හදුන්වා දුනි. ප්‍රසන්න කථාන්තරය කීවේද එළෙසය.මුල ,අවසන ,මැද,අග.පැටලුවද එය අප ලිහා ගත යුතුය. “ආකස කුසුම්” තුලින් ප්‍රසන්න බලාපොරොතු වූයේ, සන්ධ්‍යා රාණි පැරණි නිළියගේ කථාව වුවද, ප්‍රියා ගුණරත්නගේ කථාවත් එයට සමාන්තරව ගෙනගොස්,අවසානයේදී එය බද්ධ කළේය. එසේ බද්ධ කරන විට ප්‍රියා ගුණරත්න මිය ගොසිනි. කථාන්තරය තුල සන්ධ්‍යා රාණිත් – ප්‍රියා ගුණරත්නත්,කිසි දිනයක එක් නොවෙන මවක හා දියණියෙකු විය. අවස්ථා කීපයකදී ඔවුන් මුණ ගැසුනද,වචන හුවමාරුවක් යෑමට අවස්ථාවක් ඇතිකරගත්තේ නැත. එසේ ඇති කර ගැන්මට සන්ධ්‍යා රාණිට දැඩි උවමනාවක් තිබුනද, ඒ සා දැඩි උවමනාකමක් ප්‍රියා ගුණරත්නට තිබුනේ සන්ධ්‍යා රාණි සමග කථා නොකිරීමටය. සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටවල ,එලෙස මුණනොගැහී තිබුණු මව හා දියණිය,අව්රුදු ගණනාවකට පසු මුණගැහුණ හොත් සම්ප්‍රදාය නම් ” අම්මා මගේ සුදු අම්මා” මෙන් ම “දුව අනේ මගේ රත්තරන් දුව” කියමින් බෙරිහන්දෙමින් හොටු පෙරාගෙන හඩමින් වැලපෙමින් බදා ගැනීමයි. ඉන් පසු පසුබිමෙන් මව හා දුවගේ ධාරක ප්‍රේමය හුවා දැක්වීමට මොහිදීන් බෙග් හෝ ඔහු නැත්නම් ඔහුගේ පුතා හෝ දමා, උස් ස්වරයෙන් දුක්බර තනුවකට ගීතයක් ගැයීමය. සන්ධ්‍යා රාණි හා ප්‍රියා කැරෝකේ සමාජශාලාවේ මුණගැහෙන විට, එසේ සිදුවේවිදෝ යන හැගීමක් නිකමට මෙන් මට සිතුනි .කෙසේ හෝ මවත් දුවත් මුණගැසෙන ප්‍රථම අවස්ථාව වූ, පිංතූර ඇල්බමය පුටුව උඩ තබා ප්‍රියා ගිය අවස්ථාව ප්‍රසන්න ඉදිරිපත් කලේ මනා සංයමකිනි.

සන්ධ්‍යා රාණි “බීච්” කියා අසා ගත්තේ ටෙලි නාට්‍ය නිළි ශාලිකාට තමාගේ හොර පෙම්වතා සමග සිටීමට කාමර දී එය ශාලිකා ගේ සැමියාට අතටම අසුවූ නිසාය. “බීච්”කියා කියන්නේ “බැල්ලිටය “. එකල අග්‍රගනයේ මෙන්ම ජනප්‍රියම නිළියක් වූ සන්ධ්‍යා රාණි දැන් බැල්ලියක් ගානට පත් වී ඇත්තේ, ආර්ථීක වශයෙන් හොට බිම ඇනගෙන සිටින හෙයිනි. පැටිස් හදමින් ජීවිතය කරගහ ගැන්මට නොහැකි වූ නිසා ඇය තම නිවසේ කාමරයක් තරුණ නළු නිළියන්ට රාත්‍රිය ගත කරන්නට දීමෙන් තරමක ආදායමක් උපයා ගනී. පැටිස් විකුණා ලබන ආදායමෙන් හා තරුණ නළු නිළියන්ට පෙම් කෙළින්නට තම නිවසේ කාමරය දීමෙන් උපයන මුදලින්, ඇයට ඇයගේ පැටිස් හදන සේවිකාවට ගෙවා, දින තුන හතරකට සැරයක්, ආර්ථීක අහේනිය කියා ගෙන එන තම නැගෙණිය වූ මල්ලිකා ට ද කොටසක් දී , සන්ධ්‍යා රාණි ගේ කෑම බීම වලටත් ,ඇය හැමදාම සප්පායම් වන “ගල් අරක්කු”වලටත් වියදම් කරන්නට යාන්තම් සෑහේ. කැනඩාවේ සිටින සන්ධ්‍යා රාණි ගේ සොහොයුරිය නිතරම ඇයට කියන්නේ ගෙවල් දොරවල් විකුණා දමා කැනඩාවට පැමිණ ඇය සමග ජීවිත කාලයටම විසින්නට කියාය. එක් කලෙක විරාජමාන ශ්‍රීයෙන් සිටි නිලි රැජිනක්, දැන් කකුල් කැඩුණු වෙළඹක් වී, ඇති සේම, මල්ලිකා කීලෙස වල් ගැහැනුන්ට කාමර දී සිටීන තත්වයකට පත් වී, අපහස විදිනවාට වඩා කැනඩාවට යන එක හොදයැයි අවසානයේ සන්ධ්‍යා රාණි තීරණය කලාය.

ප්‍රසන්නට ගැහැණු චරිත සමග ඇත්තේ පුදුම තරහවකි. ඔහු ගෙනා හැම ගැහැනියක්ම කිසියම් දරුණු ඛේදවාචකයකට අසුවී තිබුණි. සිසිල ගිනි ගනී හි ඇනට්, අනන්ත රාත්‍රියේ හී, පියුමි,පව්රු වළලු හී වයලට්, ඉර මැදියම හී චමරි, ඔය සියල්ලම අනේක දුක් දොම්නස් විද,ජීවිතය ගෙවූ ගැහැනුන්ය. දැන් ආකාස කුසුම් හී සන්ධ්‍යා රාණි හා ප්‍රියා ගුණරත්න ද එම දුක් දොම්නස් පිරී ඛේදවාචකයන්ට අසුවී ඇත. ප්‍රසන්නට අසුවෙන ගැහැණු කිසිම දිනයක සැපතක් සතුටක් ලැබෙන අය නොවේ. අන් අතකට මේ හැම ගැහැනියක්ම ගත කරනුයේ,අවිවාහක එසේත් නොමැතිනම් හුදකලා ජීවිතයි . ඇනට්,පියුමි,චමරි,ප්‍රියා ගුණරත්න, මේ කිසිවෙක් විවාහ වූ අය නොව. වයලට් විවහා වී සිටියද, ඒ විවාහයද හුටස් පටස් ය. එය කැඩී අවරුදු ගනනාවක් ගොස් ඇත. එවිට වයලට් වැටෙන්නේද අර තනි වුනු ගැහැණු ගොඩටමය.සන්ධ්‍යා රාණි විවාහ වී සිටියද ,ඇය ලොවට පෙන්වන්නේ විවාහ නොවූ ලෙසය. ආකාස කුසුම් හී සන්ධ්‍යා රාණි ගේ චරිතය ප්‍රසන්න විසින් ඔසවා පොලවේ ගසා ඇති බවක් පෙනේ. විරාජමානවූ, නිලි රැජිණක්, පීචං තත්වයකට ප්‍රසන්න ඇද දමන්නේ, කිසිදු හිතක් පපුවක් නැත්තෙක් සේය. බොහෝ අවස්ථාවල සන්ධ්‍යා රාණිගේ චරිතයේ විශ්වාසනීයත්වය,ප්‍රසන්න විසින් අකා මකා දමයි. ඇගේ චරිතය හරහා යන අනෙක් චරිත අතරින්, ප්‍රියා,සහ, ශාලිකාත්, ප්‍රියා හරහා යන බන්ටිත්, පුරුක් සේ ඇමිනුණුද , අවසානයේ සන්ධ්‍යා රාණි ට ඉතුරුවන්නේ ප්‍රියා වෙනුවට ඇගේ දියණියය. පියෙක් නැති ඒ දියණිය වුවද, සන්ධ්‍යා රාණි ගේ සියළු ප්‍රශ්න සුළගේ යන්නේ, තම මිනිපිරියව අතට ගත් පසුවය.

මාලනී ෆොන්සේකා සන්ධ්‍යා රාණි ගේ චරිතය හරහා,ප්‍රසන්නව ලිලී පුට්ටෙක් කරයි. ආකාස කුසුම් තුල මා ප්‍රසන්නව දුටුවේ නැත. සිටියේ මාලනියම පමණි. මුළු චිත්‍රපටයම තිබුනේ මාලනිගේ මුහුනේය. එතැන ප්‍රසන්නට ඒමට අවකාශයක් තිබුනේ නැත. ප්‍රියා හරහාද අප ප්‍රසන්නව දුටුවේ නැත. එතැන තිබුනේ,කැරෝකේ නැටුම්,මත් පැන් ,දුම් වැටී වැනි දේය.ප්‍රසන්නගේ සිනමා පෙළහර තුල ප්‍රසන්නව සැගවුණු එකම චිත්‍රපටය,”ආකාස කුසුම්” ය. ඒ මාලනී ෆොන්සේකා නිසාය. ඇගේ අද්විතීය ඉරියව් මුළු චිත්‍රපටය පුරාම විහිදී තිබුණි. ආකාස කුසුම් අන්තර්ගතනය රැදී තිබුනේ ඇයගේ දෑස් තුලය.ජීවිතයේ එක් කලෙක ලද ජයග්‍රහණයන්, ඉන් පසු ඇතිවුණු පරාජයන්, තප්පරයෙන් තප්පරය අප වෙත ගෙන හැර පැයේ ඇගේ දෑස්ය.

මා ප්‍රසන්නගේ අකමැතිම චිත්‍රපටය කුමක්දැයි කව්රු හෝ ඇසුවොත්, මා කියන්නේ කිසිවක් නැත කියාය. එහෙත් “අකාස කුසුම්” කොහොමද කියා ඇසුවොත් “හොදයි” කියනෙමි. නමුත් “හොදආආයි” කීමට නම් නොහැක.

-ශෝන් මැක්ස්මස් දිසානායක –
(ලබන සතියේ තව කොටසක්)

 

http://baiscope.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here