ලාංකේය සිනමා ශාලා අර්බුදය

0
264

ලාංකේය සිනමා ශාලා අර්බුදය (Sri Lankan Film Halls Crisis)

එකම චිත්‍රපට ශාලාවක එකම දිනයක චිත්‍රපට 4ක් පෙන්වීම තුල, ඇතිවන වාසී අවාසි තත්වයන් එකිනෙකාට බලපාන අන්දම විවිධය. එහෙත් මෙයින් ලාංකේය චිත්‍රපටවලට වදින්නෙ මරු පහරකි. නමුත් ශාලා හිමියන්ට හා ප්‍රේක්ෂකයන්ට ලැබෙන්නෙ කිසියම් වාසියකි. ප්‍රේක්ෂකයන්ට තමන් කැමති චිත්‍රපටය තෝරා ගත හැක. ශාලා හිමියන්ට, එක් දර්ශනයකට ප්‍රේක්ෂක සහභාගිත්වය අඩුවුව හොත් අනෙක් දර්ශනයේ චිත්‍රපටය ගැන බලාපොරොත්තු තබා ගත හැක. එහෙත් ලාංකේය නිශ්පාදකයාට එකම දිනයේ චිත්‍රපට කීපයක් සමග තරග කිරීමට සිදු වනු ඇත.

නිදසුනක් ලෙස මෑතකදී සිදුවූ අපූරු සිදුවීමක් ගෙන හැර පා හැක. සති කීපයකට පෙර වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාවේ, පෙන්වු චිත්‍රපට හතරවූයේ ඉංග්‍රිසි චිත්‍රපට දෙකක්, හින්දි චිත්‍රපටයක් හා සිංහල චිත්‍රපටයකි. ඉංග්‍රිසි චිත්‍රපට දෙක වූයේ “ෆිෆ්ටි ෂේඩ්ස් ප්‍රී” සහ “ජුමන්ජී”ය . හින්දි චිත්‍රපටය වූයේ “පත්මාවත්”ය. සිංහල චිත්‍රපටය වූයේ රොහාන් පෙරේරා අධ්‍යක්ෂනය කල “ඒ ලෙවල්ය”. මේ චිත්‍රපට හතරම හැම දිනයේම දර්ශන හතරකට පෙන්විය. සිංහල චිත්‍රපටයට ලැබුනේ සවස 4.15 දර්ශනයයි. අනෙක් චිත්‍රපට තුනට සාර්ථක ප්‍රේක්ෂක සහභාගිත්වයක් ලැබුනු අතර, සිංහල චිත්‍රපටය වූ “ඒ ලෙවල්” සදහා ලැබුනේ අඩු ප්‍රේක්ෂකාගාරයක්ය. එහෙයින් අනෙක් චිත්‍රපට තුන තිබියදී, “ඒ ලෙවල්”ශාලාවෙන් ගලවා දමා ඒ හිඩසට තවත් ඉංග්‍රීසි ඇනිමේෂන් චිත්‍රපටයක් එකතු කලේය.

අප සොයා බැලිය යුත්තේ සිනමා ශාලා හිමියන්ගේ දුක් මැවිසිලිද, නිශ්පාදකයා⁣ගේ අදෝනාද, නැත්නම් ප්‍රේක්ෂකයාගේ විවිධත්වයද?. මොනදේ කීවද, නිශ්පාදකයා නැත්නම් චිත්‍රපට නැත. එසේ නම් රැක ගත යුත්තේ නිශ්පාදකයාවය. එහෙත් නිශ්පාදකයාටද විශාල කාර්යභාර්යක් ඇත. ඒ, දෙකයි පනහේ චිත්‍රපට නිශ්පාදනය නොකර ලෝකය හා තරගකිරීමට හැකි චිත්‍රපට නිශ්පාදනය කිරීමය. එසේ කිරීමට ශක්තියක් නොමැති නම් චිත්‍රපටකරණයට අත් නොතබා වෙන කුමක් හෝ ව්‍යාපාරයකට සිත යොමු කිරීම වඩාත් පලදායිකය.

එකල චිත්‍රපට සදහා කාලය වෙන්කර තිබුනේ උදේ 10.30, දහවල් මැටිනි දර්ශනය 2.30 ට හෝ ඉංග්‍රිසි චිත්‍රපට 3.30ටද සවස 6.30හා රාත්‍රිය 9.30 දර්ශනයන් ලෙසය. පෙන්වූයේ එකම චිත්‍රපටයයි. කොළඹ,රීගල්,ලිබර්ටි,සැවෝයි,මැජෙස්ටික්,රියෝ,එම්පයර්, නිව් ඔලිම්පියා, වෙන්වී තිබුනේ ඉංග්‍රිසි චිත්‍රපට සදහා පමණි. ඉදහිට විශේෂිත හේතුවක් මත සිිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කලද, ඔවුන් කිසිසේත් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න කැමති වූයේම නැත. අන් අතකට ඒවා සුපිරි ගනයේ ශාලාවන් ලෙස නම් කෙරී තිබුනි. නිතරම පෙන්වූයේ ඇමරිකන් හා බ්‍රිතාන්‍ය චිත්‍රපටයි. ඉතාමත් හොද දැවැන්ත මෙන්ම හැම වින්දනයකට සරිලන චිත්‍රපට එහී ප්‍රදර්ශනය විය. ආදර, ශෘංගාර, රහස්පරික්ෂක,ඉතිහාස, බටහිර ගොපලු, විකට, ත්‍රාසජනක, හොල්මන්, ලමා වැඩිහිටි කථා එකී නොකී හැම වර්ගයකින්ම චිත්‍රපට ප්‍රදර්ශනය විය. ඒවා වෙන්වී තිබුනේ එකී ශාලාවන් වලට පමණී.රියෝ,ලිබර්ටි,මැජෙස්ටික් සිනමා ශාලා එකල මිමි 70ප්‍රමානයේ දැවැන්ත චිත්‍රපට පෙන්වීමේ හැකියාව තිබුනි. “සවුන්ඩ් ඔෆ් මියුසික්”, “මයි ෆෙයාර් ලේඩී”, “මැකෙනාස් ගෝල්ඩ්””ක්ලියෝපැට්රා”වැනි චිත්‍රපට එලෙස මිමි 70ප්‍රමාණයේ පෙන්වූ චිත්‍රපටයි. ඒවා බැලීමට පාසැල් වලින් පවා රැගෙන යයි.

රිටස්,ලිඩෝ,ක්‍රවුන්, වැනි ශාලා නිත්‍යවශයෙන්ම වෙන්වී තිබුනේ හින්දි චිත්‍රපට සදහාය .පසු කලෙක සෙයිස්තාන්,සමන්තා,නවා,ඉම්පාලා වැනි ශාලාවන් හින්දි චිත්‍රපට පෙන්වීමට එකතු විය. “ගීත්””ආරාධනා” “සංගම්” “ආයි මිලන් කී බේලා”,”හාති මෙරේ සාති” “ඇන් ඉවිනින් ඉන් පැරිස්, “සච්චා ජූටා” “අභිමාන්”, “ජන්වර්”වැනි චිත්‍රපට දින සීය දෙසීය පෙන්වා ආදායම් වාර්ථා තැබුවේ මෙම ශාලාවලය. දමිල චිත්‍රපට වලට නිත්‍ය ශාලාවන් තිබුනි. කැපිටෝල්, සෙල්ලමහල් ,ප්ලාසා, කිංග්ස්ලි, වැනි ශාලාවන් වෙන් කර තිබුනේ ඒවාටය. ඒවාට දමිල චිත්‍රපටයක් දැමූවිට ආයෙත් ගැලවෙන්නෙ මාස තුන හතරකට පසුවය. හැම දමිල චිත්‍රපටයක්ම නවතින්නෙ විශාල ආදායම් වාර්ථා තබමිනි.

සිංහල චිත්‍රපට වලට ගාමිණි, සැපයාර්, එල්පින්ස්ටන්, අසෝකා, යන ශාලාවන් නිත්‍ය වශයෙන්ම වෙන් කර තිබුනි. බොහෝ සිංහල චිත්‍රපට මෙම ශාලාවන් වල බොක්ස් ඔෆිස් වර්ථා තබයි. සිංහල චිත්‍රපට විශාල දැන්වීම් පුවරු මරදාන හන්දියෙ තොරන් මෙන් හැමදාම බැබලෙ. ගාමිණී,ජීවරානී,සන්ධ්‍යා,ටෝනි,විජය,මාලනී, රවින්ද්‍රල, නිතරම වැජඹුනේ ඒ තොරන් වලය. ඔවුන්ව රසිකයන් හමුවේ ඔසවා තබා ඉමහත් ජනප්‍රියත්වයක් ලබා දුන්නෙ ඒ චිත්‍රපට දැන්වීම් තොරන්ය. ඉංග්‍රිසි චිත්‍රපට වේවා, හින්දි චිත්‍රපට වේවා,දමිල චිත්‍රපට වේවා, සිංහල චිත්‍රපට වේවා, මේ හැම භාෂීත චිත්‍රපට ආදායම් වාර්ථා තබයි. එකල ඉංග්‍රීසි චිත්‍රපට ගෙන්වන්නේ එක රීල් එකකි. නිදසුනක් ලෙස “ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝ” චිත්‍රපටය නිව් ඔලිම්පියා සිනමා හලේ ප්‍රදර්ශනය වන විට, අනෙක් නගරවලටද එය ජනප්‍රිය විය. එහෙත් එම නගරවල ශාලා මෙය නිව් ඔලිම්පියා ශාලාවෙන් ගැලවෙන තෙක් සිටිය යුතුය. ඉන්පසු බොහෝ අවස්ථා වල එම රීල් පටය යන්නේ මීගමුවේ ශාලාවකටය. එහී දින කීපයක් පෙන්වන්නෙ බටහිර චිත්‍රපට ලෝලයන්ගෙන් අතුරු සිදුරු නැතිවය. මෙම චිත්‍රපට ශාලාවල තිරගත කරන විට එම ශාලාවල එකම කාල ගෝට්ටියකි.ඇතැම් විට ඒවා බේරීමට පොලිසියෙන් පවා ගෙන ඒමට සිදුවිය. සෙනග කෙතරම් සිටියද මෙම චිත්‍රපටය මීගමුවෙ ප්‍රදර්ශනය කරන්නට දෙන්නෙ දවස් 3ක් හෝ 4 කි. තවත් නගර එම චිත්‍රපටය එන තෙක් බලා සිටී. එකල එකම රීල් එක කැරකුනේ එසේය. මෙය හින්දි චිත්‍රපට හා දමිල චිත්‍රපටවලටද එලෙස බලපා තිබුනි. ඒවා වලද ගෙන්වූයේ එකම රීල් පටයකි. ශාලාවෙන්, ශාලාවට මෙම රීල් පටය අව්රුද්දක් විතර යයි. කෑලි හැලෙන කල් යයි. අන්තිම කාලය මෙය බලන්න වන්නෙ කෑලි ටිකය. ප්‍රේක්ෂකයෝ ඒවාත් නරඹයි .එතරම් ඉල්ලුමකි තිබුනේ. සිංහල චිත්‍රපට නම් එක්වර රීල් 20ක් 25ක් මුදා හරියි.

ඉන් පසු චිත්‍රපට සංස්ථාව පස්වන මන්ඩලයක් හදුන්වා දී සම්භාව්‍ය ගනයේ චිත්‍රපට යයි වර්ග කර රීගල් සිනමාහල සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට පමනක් සීමා කල අතර, රිට්ස්, ලිඩෝ,හා ක්‍රවුන් සිනමා ශාලා එතෙක් ආදායම් වාර්ථා තබමින් පෙන්වූ හින්දි චිත්‍රපට අයින් කර සිංහල චිත්‍රපට පෙන්වීමට වෙන් කලේය. මා අදත් කියන්නෙ එය ශාලා හිමියන්ගෙ පැත්තෙන් කල අනුවනම ක්‍රියාවකි. අද රිට්ස් සිනමා හල අර එදා තිබූ විරාජමානශ්‍රීය නැත. අද එය බැල්කනි අසුන් වලට පමනක් සීමා වී බැරි බැරි ගාතේ ඇදගෙනු යනු ඇත. ලීඩෝ ආදායම් ලැබුවේ එදා හින්දි චිත්‍රපට පෙන්වමිනි “ආරාධනා” වැනි චිත්‍රපට දින 200ට ආසන්න කාලයක් පෙන්වීය. ⁣සිංහල චිත්‍රපට පෙන්වමින් නම් එතරම් ආදායමක් ලිඩෝ ශාලාව සෙව්වෙ නැත. එලෙසම “ගීත්” චිත්‍රපටය ක්‍රවුන් සිනමා ශාලා⁣වෙදී එක දිගට දින 200ට අධික කාලයක් පෙන්වා ඉමහත් ආදයමක් ඉපයූවේය.සිංහල චිත්‍රපට පෙන්වන්නට ගිය පසු ක්‍රවුන් සිනමාහල පාඩු විදින්නට විය. අවසානයේ් එය ගරා වැටී ගියේය. දැං ක්‍රවුන් සිනමා හල බිමටම ඩෝසර් කර ඇත.

අප මොන තර්ක ගෙන ආවත් ලංකාවෙ හින්දි සිනමා මානසිකත්වයෙන් මුදවා ගැන්මට නොහැකිය. යුගයෙන් යුගයට හින්දි සිනමා රසිකයෝ බිහිවනු ඇත.එදා රාජ් කපූර් නාර්ගිස්ලට සිංහල රසිකයෝ ප්‍රිය කලා සේ අද රන්වීර් සිං ,දීපිකා පදෝකන්ලට ප්‍රිය කෙරෙනු ඇත. මේවා නැවැත්වීමට කිසිසේත් නොහැක. එහෙයින් එදා රිට්ස් -ලිඩෝ-ක්‍රවුන් වැනි සිනමා ශාලාවන් එක දිගට හින්දි චිත්‍රපට පෙන්වීමට ඉඩ හැරියා නම්, අද එම චිත්‍රපට ශාලා නවීකරණය වී හමාරය. කැපිටෝල් ,කිංස්ලි ,රූබී ,සමන්තා ,කොන්කෝඩ් අදත් චිත්‍රපට පෙන්වන්නේ එක දිගට දමිල චිත්‍රපට පෙන්වූ නිසාය. එල්පින්ස්ටන් ප්‍රේමදාස ජනාධිපති විසින් නවීකරණය කෙරුවද, එහි විපුල පල නෙලා ගැන්මට නොහැකි වූයේ, එල්ෆින්ස්ටන් මුල්කල නෘත්‍ය ශාලාවක් වුවද,පසුව ජනප්‍රිය වූයේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයේ මුල් සිනමා ශාලාව ලෙසය.එය නවීකරණය වූ පසු අර බලාපොරොත්තු වූ ජනප්‍රියත්වය ලැබුනේ නැත. එය නෘත්‍ය ශාලාවක් නොකර, චිත්‍රපට ශාලාවක් ලෙසම නවීකරණය කෙරුවේ නම්, අදත් එල්පින්ස්ටන් ජනප්‍රියත්වයට පත්වන්නට ඉඩ තිබුණි. දැන් එය යලිත් අලුත්වැඩියා කරන්නට විය. අවුරුදු ගණනාවක් ගියද,එය තවමත් අලුත් වැඩියා කෙරෙමින් යනු ඇත. දැන් එය නෘත්‍ය ශාලාවකුත් නොව, චිත්‍රපට ප්‍රදර්ශන ශාලාවකුත් නොව. එය කිසිදිනෙක අවසන් නොවන අළුත්වැඩියා කරන ගොඩනැගිල්ලක් පමණක් විය.

83 ජුලි කලබලය, ලාංකේය සිනමාව, නැත්තටම නැති කළේය. සිංහල චිත්‍රපට පෙන්වන ශාලාවන් ගණනාවක් ගිනිබත් විය. එයට ප්‍රධාන පෙලේ චිත්‍රපට ශාලා වන් වූ,ගාමිණී චිත්‍රපට ශාලාවත්, මීගමුවේ රාජ් සිනමා ශාලාවත් අයත් විය. රාත්‍රී 9.30 දර්ශන අහෝසිවිය. මිනිසුන් චිත්‍රපට නොබලන්නට විය. ඒ අව් අස්සෙම ලංකාවට රූපවාහිනිය හදුන්වා දී තිබුණි. තිරය පුංචි වූවද මිනිසුන් නිවසේ සිට චිත්‍රපට බලන්නට හුරු විය.ඉන්පසු වීඩියෝ පැමිණියේය .මිනිසුන් ඒවාට හුරු විය. මිනි වීඩියෝ තියටර් බිහිවිය. සිනමා ශාලා අමතක කර, මිනිසුන් ඒවා, ඉමහත් සතුටින් භාර ගති. ලංකාවේ සිනමා කර්මාන්තය උඩු කුරු යටි කුරු විය . මෙයට එරෙහිව ඇමරිකාව,බ්‍රිතාන්‍යය,යුරෝපය,සහා ඉන්දියාව විකල්ප සොයා ගති. දැවැන්ත ආකෘති සහිත චිත්‍රපට, ඉහල තාක්ෂනය, ඇනිමේෂන් චිත්‍රපට,එච්.ඩී ප්‍රමිති,ඩී,ටී.එස්.ශබ්ද, 2ඩී 3ඩී තාක්ෂනයන් හරහා ඔවුන් රූපවාහිනී,වීඩියෝ ප්‍රහාරයන්ට සාර්ථකව මුහුණ දුන් අතර ලංකාවේ සිනමාව එතනම අතපත ගගා සිටියේය.

අද වන විට ලෝක සිනමාව ගොස් තිබෙන දුරට ලංවෙන්නට වත් ලාංකේය සිනමාවට නොහැකි විය. එයට කදිම නිදසුනකි මා ඉහත සැවෝයි සිනමා ශාලාවේ පෙන්වන චිත්‍රපට 4 ගෙන පෙන්වූයේ. ලාංකේය චිත්‍රපටය ගැලවුනිද බටහිර චිත්‍රපට දෙක හා හින්දි චිත්‍රපටය අතී සාර්ථක වීම තුලින් අපට ග්‍රම්‍ය වනුයේ අප සිනමාවේ විශාල පසුබැස්මක් ඇති බවය. දවසක් තුල චිත්‍රපට හතරක් දර්ශන වාර හතරකට පෙන්වන එකම රට ලංකාව බවට පත් වී ඇත. මෙම තත්වය තව කාලයක් යන තෙක් පවතීවි. නමුත් මෙයින් මිදෙන්නට කල යුතු ක්‍රමයක් ඇත. ඒ චිත්‍රපට ප්‍රචාරණයයි. ලංකාවට අලුත් එහෙත් අන් හැම රටකම පාහේ චිත්‍රපට ප්‍රචාරණ ආයතන ඇත. චිත්‍රපටය තිරගත කරන්නට මාස 4 කට හෝ පෙර සිට මෙම ප්‍රචාරණය විධිමත්ව කල යුතුය. චිත්‍රපට බලන අයට වඩා චිත්‍රපට නොබලන අය අතරේ මෙම ප්‍රචාරණය යා යුතුය. චිත්‍රපටය මිනිසුන්ගේ ඇගට සිතට කාවැද්දිය යුතුය. .හරියට “පත්මාවත් ” කා වැද්දුවක් මෙනි. යලිත් එකම චිත්‍රපටයක් එකම ශාලාවක දවසේ චිත්‍රපට පෙන්වන වේලාවන් හතරේම පෙන්වන්නට හැකි වන සේ පරිවර්තන කර ගත යුතුය. රජයත්,රාජ්‍ය චිත්‍රපට සංස්ථාවත් මේ ගැන තම අවධානය යොමු කිරීමට කාලය දැන් පැමිණ ඇත. නැතිනම් සිනමා ශාලා හිමියන්ට සිද්ධ වනුයේ, සිංහල චිත්‍රපට අමතක කර,
දවසකට විදේශීය,චිත්‍රපට තුන හතරක් පෙන්වා හෝ තම ශාලාව රැක ගැනීමය.

-ශෝන් මැක්ස්මස් දිසානායක –

http://baiscope.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here