මට ඕනෑ වුණේ සිනමාවෙන් ඇත්ත පෙන්වන්න – විමුක්ති ජයසුන්දර සමග සුහද කථා බහක්

0
244
Foto Virginia Farneti / LaPresse 07-09-2009 Venezia Spettacolo 66ma Mostra del Cinema di Venezia Presentazione del Film Ahasin Wetei (Between Two Worlds) Nella foto il regista Vimukthi Jayasundara Photo Virginia Farneti/Lapresse 07-09-2009 Venice Entertainment 66th Venice Film festival Presentation of the movie Ahasin Wetei (Between Two Worlds) In the photo director Vimukthi Jayasundara

මට ඕනෑ වුණේ සිනමාවෙන් ඇත්ත පෙන්වන්න විමුක්ති ජයසුන්දර සමග සුහද කථා බහක් -(World Recoganized Sri Lankan Film Director Vimukthi Jayasundara and Me friendly talk)

ලංකේය සිනමා භාවිතාවේ කලාත්මක පාර්ශ්වය නියෝජනය කරමින් හේ මෙරට සිනමාවට අත්පොත් තැබීය. එහෙත් එය ආධුනික සිනමා කරුවකුගේ ආගමනයකට වඩා බෙහෙවින් පරිණත සිනමාකරුවකුගේ ආගමනයකි. ඒ ‘සුළඟ එනු පිණිස’ චිත්‍රපටය දියතුරාව නංවමින් මෙරට සිනමාවේ ද ආන්දොලනාත්මක කථිකාවක් උත්පන්න කළ නිසාය. තම ප්‍රථම චිත්‍රපටයෙන්ම මෙවැනි අවස්ථාවක් උදාවනු ඇතැයි, ඔහු සිහනයකුදු නොදකින්නට ඇත. එමෙන්ම ‘සුළඟ එනු පිණිස’, ‘අහසින් වැටෙයි’, ‘සුළඟ ගිනි අරන්’ හා ‘චත්‍රක්’ යන ඔහු විසින් කළ සිනමා කෘති සියල්ලම ජාත්‍යන්තර සිනමාව තුළ ඇගයීමට ලක්විය. එය ලෙහෙසියෙන් සිනමාකරුවකුට පසු කළ නොහැකි කඩ ඉමකි. මේ අපූර්ව සිනමාකරුවා අනෙකෙකු නොව විමුක්ති ජයසුන්දරය. හේ වසර දහයකට ප්‍රථම නිර්මාණය කළ ‘සුළඟ ගිනි අරන්’ සිනමා සිත්තම රැගෙන අප අභිමුවට පැමිණ ඇත. මේ කෙටි පිළිසඳර ඒ වෙනුවෙනි.

l සාමාන්‍යයෙන් සුළඟ නිසයි ගින්න ඇවිලෙන්නේ. එතකොට සුළඟ ගිනි අරන් කියන්නේ මොකක්ද ?

සුළඟ කියන්නේ චලනයක් නම්, ඒතුළින් තියෙන පරිසරය හෝ තත්ත්වය වෙනස් කළ හැකියි. ඒ අර්ථයෙන් සුළඟක් නැති භූමියකට සුළඟක් පැමිණිය යුතුයි කියන අදහසින් ‘සුළඟ එනු පිණිස’ කියන නම යොදා ගන්නවා. ‘සුළඟ ගිනි අරන්’ කියන්නේ; මේ සිදුවන චලනයන් ඇතුළෙ අපි හොඳයි, ලස්සනයි, සැපයි කියලා හිතන් ඉන්න දේවල් ගිනි ගත්තොත් මොනව වේවිද? අනෙක් අතට සූළඟ නිසා මේ ගින්න පැතිරි යා හැකියි. ඒ කියන්නේ ලෝක විනාශය. මනුෂ්‍යත්වය පිරිහුණු තැනක කිසිවක් ඉතිරි වන්නේ හෝ පවතින්නේ නැහැ. සිනමාව කියන්නේ සිහිනමය කාව්‍යාත්මක සිතුවමක් නම්, ‘සුළඟ ගිනි අරන්’ කියන්නේ සිනමා සාහිත්‍යමය නිර්වචනයක්. එය සාමාන්‍ය වාච්‍යර්ථයට වඩා වෙනස් වෙන්නේ ඒ නිසා.

l බොහෝ සිනමාකරුවන් අතීතයේ, අනාගතයේ සහ අද්භූත ලෝකවල සැරිසරද්දි, විමුක්ති මේ කරමින් ඉන්නේ මොකක්ද ?

වර්තමානයේ අපි සිනමාව කියලා නරඹන හුඟක් චිත්‍රපට අස්වාභාවිකයි. අපිව අතීතයට හෝ අනාගතයට රැගෙන යමින් අපේ සත්‍ය ස්වරූපය අපට අමතක කරවන, අපට ළංවිය නොහැකි, අපව අතරමං කරන සිනමාවක්. තවත් විදියකින් කිවුවොත්, අතීතයේ තිබුණා යැයි කියන හෝ අනාගතයේ පිටසක්වල ජීවීන් නිසා ඇති වේයැයි සිතන ඇත්ත ජිවිතය වසන් කරන සිනමා නිර්මාණ. ඇත්තටම එදිනෙදා ජීවිතය තුළ දකින දේවල්, කියන දේවල්, ඇහෙන දේවල්, ජීවත්වෙන විදිය සිනමා නිර්මාණ ලෙස යොදා නොගන්නේ ඇයි. අපි ඒක අමතක කරන්න උත්සාහ කරන්නේ ඇයි. සත්‍ය නම් අපි විශාල බයකින් ඉන්නවා අපේ ඇත්ත ජීවිතය අපේ ඇස් ඉදිරිපිට පේන එක ගැන. ඒ නිසා බොහෝදෙනා උත්සාහ කරනවා එක අමතක කරලා ජීවත් වෙන්න. අපි කාලය විදියට අරන් බැලුවොත් අපිට අතීතයක්වත් අනාගතයක්වත් නැහැ. අපි ඉන්නෙ වර්තමානයේ. අතීතය හෝ අනාගතය කියන්නේ හීනයක් විතරයි. අපි මේ දැන් ගතකරන මොහොත තමයි ඇත්තම තත්ත්වය. මේ ඇත්ත මොහොත මගහරින්න, ඒකෙන් පලායන්න අපි උත්සාහ කරන්නේ ඇයි. මෙන්න මේ මොහොත සිනමාත්මකව කියැවීමටයි මම උත්සාහ ගන්නේ.

l මේ චිත්‍රපටය සඳහා සිනමා ප්‍රයෝග යොදා නොගෙන ස්වභාවික ආලෝකය යොදා ගන්න හිතුවේ ඒ නිසාද?

ඔව්, මේ මොහොත තුළ ඇත්තටම අපේ ජීවිතවලට මොකක්ද වෙන්නෙ කියන කාරණය හොඳින්ම ප්‍රකාශ වෙන්නේ සිනමා ප්‍රයෝග ග්‍රැෆික් දර්ශන පාවිච්චි නොකර පුළුවන් තරම් සාමාන්‍ය ආලෝකය යොදා ගැනීමෙන්ය කියන ස්ථාවරයේ මම හිටියා. මේ මොහොතේ අපි ගතකරන ඇත්ත ජීවිතය තුළ මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ, නැත්නම් මොකක්ද ඇත්තටම සිදුවෙමින් තිබෙන්නේ කියන කාරණාව ගත්තොත්, අපිට සිද්ධවෙනවා ඊට උචිත වූ පරිසරයක් ගොඩනගන්න. මොකද සිනමා ප්‍රයෝග හරි ග්‍රැෆික් දර්ශන හරි පාවිච්චි කළා නම් මට ඕන දේ කරන්න බැරිවෙනවා. ඒ නිසා මුළු සිනමා පටය සඳහාම මම යොදා ගත්තේ සාමාන්‍ය ආලෝකය. ඒ සඳහා මට සෑහෙන කාලයක් කැප කරන්න සිද්ද වුණා. මටත් පුළුවන් ලෙහෙසියෙන්ම මිනිස්සුන්ව රවට්ටල ඈතට ඈතට අරන් යන්න. අතීත ලෝකයක හෝ අනාගත ලෝකයක සිහින දකින්නෙක් බවට පත් කරන්න. මට ඕන වුණේ ඒ සිහිනයෙන් ඇහැරවලා ඇත්ත දැකීමේ සිහිනයට ඔවුන්ව රැගෙන එන්නයි.

l විමුක්තිගේ සිනමාවේ දර්ශනය බොහෝදුරට කිට්ටුවෙන්නේ බෞද්ධ දර්ශනයට මිසක් දේශපාලන දර්ශනයකට නොවෙයි කියන අදසට ඔබ එකඟද?

කෙනෙක්ට එහෙම අදහසක් දරන්න අයිතියක් තියෙනවා. මං දන්න විදියට ඔබ ඔය කියන අදහස ප්‍රකාශ කරලා තිබුණේ අසෝක හඳගම. ඇතැම් විට ඔහුගේ නිර්මාණ සමග සාපේක්ෂ වශයෙන් බලා ඔහු එවැනි දෙයක් කියන්න ඇති. මොකද ඔහු දේශපාලනික සිනමාව කියලා අදහස් කරන්නේ ඉතාම බරපතළ මැදිහත් වීමකට. මොකද ඔහු කළු ගලේ ඔළුව ගහගන්නව වගේ රැඩිකල් දේශපාලන මැදිහත් වීමකට පෙළඹී සිටින සිනමා කරුවෙක්. එනිසා ඊට සාපේක්ෂවයි මේ අදහස තේරුම් ගන්න වෙන්නේ. නමුත් මගේ පුද්ගලික අදහස නම්, පවතින ඇත්ත දැකීමේ සිනමාව කියන්නෙම දේශපාලනික කාරණාවක් බවයි. මොකද අපේ රටේ බහුතරයක් දෙනාට මේ මොහොත වන විට කියන දෙයක් ඇහෙන්නේ නැහැ. දකින දේ පේන්නේ නැහැ. අපි අන්ද මන්ද තත්ත්වයට පත්වෙලා ඉන්නේ. එක හෙළිදරව් කරන්න පුළුවන් එකම විදිය මේ ඇත්ත ඔවුන්ගේ ඇස් ඉදිරිපිටටම ගෙනැවිත් පෙන්වීම. මේක මගේ කලින් චිත්‍රපටය තරම් ඍජු දේශපාලනික මැදිහත් වීමක් නොකරනවා වෙන්න පුළුවන්. එහෙත් මේ දැන් අපි අත්විඳින ඇත්ත එලෙසින්ම ඔවුන්ට අභිමුඛ කළ යුතුයි. එහෙම නොවුණොත් මොන දේශපාලනය කතා කළත් ඒ අයට ඇහෙන්නේ නැහැ, පෙන්නේ නැහැ.

l සිනමාපටය තුළ අපට අපිවම අභිමුඛ වීම නිසා ජීවිතය තුළ තිබෙන හිස්කම අවබෝධ වෙන්න පටන් ගන්නවා.මේ නිසා එක්තරා අන්දමකින් අපේ මමත්වය දියවෙන්න පටන් ගන්නවා. ඒ තුළින් එක්රා ආකාරයක පිරුණු බවක් ඇති වෙනවා.

ඔව්, ඔබ කියනදේ නිවැරදියි. එයයි නිර්මාණ කරුවා ලෙස මගේ අපේක්ෂාව වුණේ. මේ චිත්‍රපටය තුළ එක් ප්‍රධාන භූමිකාවක් නියෝජනය කරන වෛද්‍යවරයා විසින් අපි බොහෝදෙනා රැකිය යුතුයැයි විශ්වාස කරන, ඒවගේම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එසේ කිරීමට පෙළඹී සිටින සදාචාරාත්මක හා සංස්කෘතිකමය කොන්දේසි සියල්ල බිඳ දමනවා. ඔහු උපරිමයෙන් දේවල් විඳින පුද්ගලයෙක්. ඔහු එහි අන්තයටම ගමන් කරනවා. අනෙක් පසින් තවත් එක් ප්‍රධාන චරිතයක් වන භික්ෂුව කිසියම් ආරම්භයක් නැත්නම් ප්‍රවේෂයක් කරා ගමන් කරනවා. ජීවිතය තුළ ඇති නිස්සාරත්වය, අස්ථීරත්වයත් හා ස්ථිර මරණය දකිමින් එයින් මිදීමේ මර්ගය සොයා ගමන් කරනවා. එයත් එක්තරා අන්තයක්. මේ මාර්ග දෙකෙන් කොයි මාර්ගයද අප තෝරා ගත යුත්තේ කියන නිගමනය ප්‍රේක්ෂකයාට ඉතිරි කරමින් චිත්‍රපටය අවසන් වෙනවා. මෙය එක්තරා අන්දමක භාව විරේකයක්. තවත් සරලව කිව්වොත් ඇතුළතින් සිදුවන පිරිපහදුවක්. අධ්‍යක්ෂවරයා විදියට මගේ බලා පොරොත්තුව එයයි. මේ නිසා වෙන්න ඕන හඳගම මෙය බෞද්ධ දාර්නික පදනමක පිහිටුවන්නේ. නමුත් මම පණිවිඩ දෙන්න හෝ යම් මතයක් සුජාත කරන්න හෝ සිනමාව යොදා ගන්නේ නැහැ. මම ජීවිතයේ මුහුණ දෙන සත්‍ය මම සිනමාකෘතියක් ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියේ තබා තිබෙනවා. මෙය නරඹා තමන් කැමති මතකට පිවිසීමට ප්‍රේක්ෂකයාට නිදහස තිබෙනවා.

l ඇතැම් චරිත වෙනත් සිනමා කෘතියක මෙන් දිගටම යාවජීවව පවත්වා ගැනීමට ඔබ උත්සාහ නොකිරීම තුළින් බලා පොරොත්තු වුණේ කුමක් ද?

ඇත්තටම අපේ ජීවිතය දිහා වඩා සිහියෙන් බැලුවොත් අපට පේනවා ඇතැම් වෙලාවට අපේ ජීවිතයට බලපෑම් කරන බොහෝ චරිත අපත් සමග දිගටම රැඳී නොසිටින බව. එහෙම රැඳෙනව නම් ඒ අම්මා තාත්තා වගේ ඥාතීන් වගේ කිහිප දෙනෙක් පමණයි. අනෙක් බොහෝදෙනා එහෙම රැඳෙන්නේ ඉතාමත් කලාතුරකින්. මෙහෙම හමුවන අය අපේ ජීවිත ඉතාම බැරෑරුම් විදියට ප්‍රශ්න කරලා අවුල් කරලා දාල අතුරුදහන් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට වැදගත් කියලා අපට හමුවෙන චරිත කාලයත් එක්ක ඉබේටම අහෝසි වෙලා. මේ නිසා තමයි මගේ සිනමා කෘතිය ඇතුළෙත් ඒ දේ සිද්ධ වෙන්නේ. අනෙක් අතට මුලසිට අගට රේඛීයව ගලාගෙන යන චිත්‍රපටයක් මට කරන්න අවශ්‍ය නැහැ. අපේ ජීවිතය ගත්තත් එහෙම රේඛීයව ක්‍රමක්‍රමයෙන් ගලාගෙන යන්නේ නැහැ. මෙන්න මේ සත්‍ය මම පෙන්වන්න උත්සාහ කළා.

l ‘සුළඟ ගිනි අරන්’ සිනමා කෘතිය තුළ, බෞද්ධ දාර්ශනික පදනමක් මතුවන ගමන්ම වත්මන් අර්ථීක ක්‍රමය තුළ වෙළෙන්ඳාගේ හා ගේ වෛද්‍යවරයාගේ භූමිකාව දේශපාලන අර්ථයකින් එළියට එනවා.

ඔව්, වකුගඩු වෙළෙන්ඳා තමන් කරන වෙළඳාම සුජාත භාවයට පත්කරන්න යොදාගන්නේ ආගම. එක පැත්තකින් ඔහුත් අනුන්ව රවටනවා වගේම තමාවත් රවටා ගන්නවා. අපි දන්නවා, ආගමික මතවාදය මත තමන් කරන හරි වැරැද්ද තේරුම් ගන්න මිනිස්සු උත්සාහ කරනවා. ඒ වගේම අපිට සමාජය තුළ අනන්තවත් ව්‍යාපාරිකයින් හම්බවෙනවා තමන් කරනදේ මේ ආකාරයට යුක්ති සහගත කර ගැනීමට උත්සාහ කරනවා. අප වඩා මානුෂිය යැයි මෙතෙක් විශ්වාස කළ වෛද්‍යවරයා අද කොතැනටද ගමන් කර ඇත්තේ, ඔහු වර්තමානයේ නියොජනය කරන භූමිකාව කුමක්ද යන්නත් මේ හරහා එක් පැත්තකින් සාකච්ඡා වෙනවා. නමුත් සමස්තයක් ලෙස මේ සමාජ ක්‍රමයේ වෙසෙන ඔබ මම අපි හැමෝම අඩු වැඩි වශයෙන් මේ චරිත තුළ නියෝජනය වෙනවා.

l වසර දහයකට පෙර මේ චිත්‍රපටය නිපදවා තිබුණත් මේ මොහොතේ මේ චිත්‍රපටය පෙන්වන්න ලැබීම වඩා වැදගත් කියලයි මට නම් හිතෙන්නේ. ඔබ ඊට එකඟ වෙනවද?

ගොඩක් සිනමාශාලා නොලැබී හරි මේ මොහොතේ චිත්‍රපටය පෙන්වන්න ලැබීම ඇත්තට සතුටට කාරණයක්. ඔබ කිව්වා වගේ මේ මොහොතේ ඇති වී තිබෙන ඇතැම් සාකච්ඡා විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිය පැත්තෙන් ලොකු සංවාදයක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. වෛද්‍යවරයාගෙ ප්‍රමිතිය මොකක්ද, වෛද්‍යවරයා කියන්නේ කවුද, ඔවුන්ට ලබාදෙන අධ්‍යාපන ක්‍රමය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන ඇයි? කියන කාරණා සමාජය තුළ සාකච්ඡා කෙරෙනවා. ඇතැම් විට ඒ ව්‍යාපාර හරහා කතා කළ නොහැකි බොහෝ කාරණා විශේෂයෙන්ම මනුෂ්‍යත්වය පිළිබඳ කාරණය ඉතාම දැඩි ලෙස ‘සුළඟ ගිනි අරන්’ චිත්‍රපටය තුළ සාකච්ඡා කෙරෙනවා. ඒ නිසා මම විවෘත්ත ආරාධනාවක් කරනවා ඔබත් පැමිණ මෙය නරඹන්න. ඒ තුළ ඔබ සිටින දේශපාලන ස්ථාවරය මතය කුමක් වුවත්, ශිෂ්ට සම්පන්න මිනිසෙකු වශයෙන් ඔබ නැවතී සිටින්නේ නිවැරදි තැනද යන්න නැවත සිතන්න අවස්ථාවක් උදාවේවි.

Home

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here