ගුටිකෑමට නියමිතයි ගෙන එන තිලක් නන්දන හෙට්ටිආරච්චි

0
110

ගුටිකෑමට නියමිතයි ගෙන එන තිලක් නන්දන හෙට්ටිආරච්චි (Guti Kaamata Niyamithayi brings Thilak Nandana Hettiaarachchi)

ඔහු ගබ්සාවක් කළේ ය. ඒ සතුටට හෝ වේදනාවට දා හත් වසරක් ම නිහඩ ව විසීය. දා හත් වසරකට පසු ඔහුට මතක් වූයේ තමන් මෙන් ම තමන් ජීවත් වන සමාජය ද ගුටි කෑමට නියමිත ව සිටින බව ය. මීට නව මසකට පෙර ඔහු යළි ඇසිපිය හැර බැලූවේ ය. ඔහුගේ දෙනෙතට හසු වූයේ සරත් කොතලාවල, ධර්මප‍්‍රිය ඩයස් සමග ඩබ්ලියු. ජයසිරි ය. අනතුරු ව ඔහුට ඉස්පාසුවක් නොතිබුණු තරම ය. විචාරකයන් ලියූ බොහෝ සටහන්වල තිබුණේ සාධනීය ගුණාංගයන් ය. රසිකයෝ ඒ බව ඔප්පු කළෝ ය. මේ වන විට ගුටි කෑමට නියමිත ව සිටියෝ සිය පනස් වැනි දර්ශනය සම්පූර්ණ කළෝ ය. ‘නොසිතමි එබැවින් ම පවතිමි’ තේමාව කර ගනිමින් ‘ගුටි කෑමට නියමිතයි’ වේදිකා නිර්මාණයේ පිටපත සහ අධ්‍යක්ෂණය ඔහුගේ ය. ගබ්සාව නිර්මාණයට පසු වේදිකාවට පිවිසි ඔහු නමින් තිලක් නන්දන හෙට්ටිආරච්චි ය.

කොහොමද ගුටි කෑමට නියමිතයි සඳහා ලැබෙන ප‍්‍රතිචාර…?
පසුගිය මාර්තුවේ තමයි නාට්‍ය පෙන්වන්න පටන් ගත්තේ. ඊයේ පනස් වැනි දර්ශනය පෙන්වන්න පුළුවන් වුණා. කෙටි කාලයක් තුළ දර්ශන වාර සෑහෙන ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනය කරන්න පුළුවන් වුණා. ප‍්‍රමාණාත්මක ව ඒ ප‍්‍රතිචාරය ඉහළ යි. ගුණාත්මක අතින් බැලූවොත් විචාරය. මේ සම්බන්ධයෙන් ලියැවුනු සහ ඇතිවුණු කතාබහ ධනාත්මකයි. ඒකෙන් මේ හරහා අපි කරන්න හදපු දේට යම් වටිනාකමක් ලැබී තියෙන බවත්, සමාජයට මෙයින් හොඳ බලපෑමක් වෙලා තියෙන බවත් පැහැදිළි යි. දර්ශන වාර පනහක් පෙන්වීම කියන කාරණයට අමතර ව පේ‍්‍රක්ෂකයන්ට දැනවීමක් කරන්න පුළුවන් වුණු එක ගැන සතුටුයි.

අද දවසේ දුවන නාට්‍යයක් නිර්මාණය කිරීම ම අභියෝගයක්. කොහොමද ඒ අභියෝගය ජය ගත්තේ…?
කොහොමත් දුවන නාට්‍යක් කරන්න නෙවෙයි මට වුවමනාව තිබුණේ. නාට්‍ය ලියද්දී මේක කොහොමද පෙන්වන්නේ කියලා කිසිම අදහසක් ඔළුවේ තිබුණේ නෑ. ලියන කාලේ කල්පනා කළේ අවශ්‍ය විදියට නාට්‍ය හදා ගන්නේ කොහොමද කියන එක විතරයි. හැබැයි නාට්‍ය හදලා ගතවුණු කෙටි කාලය තුළ මේක දුවන නාට්‍යයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි එහෙම වුණේ මේක දුවන්න හදපු නාට්‍යක් නිසා නෙවෙයි.

එහෙම නම් කොහොමද මේ නාට්‍ය දුවන්නේ…?
ඒකට යම් යම් කරුණු කිහිපයක් බලපාන්න ඇති. විශේෂයෙන් ම නාට්‍ය නරඹපු රසිකයන්ගේ ප‍්‍රතිචාරය මේ සඳහා ඉමහත් බලපෑමක් වෙන්න ඇති. බීඩි කොටයක්, දාඩිය බින්දුවක් එක්ක ගුල්ලෙක්ගේ කතාවක් වුණු මේක තුළ ඇති ආකෘතිමය නැවුම් වෙනස පේ‍්‍රක්ෂකයාට අලූත් අත්දැකීමක් තිළිණ කරන්න ඇති. ඒ වගේ නාට්‍යක් බලන්න බොහෝ දෙනෙක් කැමැතියි. ඒ වගේ ම තමයි සංවිධායක වරයා වන ජූඞ් ශ‍්‍රීමාල්ගේ සංවිධානය සහ ප‍්‍රචාරණයත් මේකට බලපාලා තියෙනවා.
ඔබ ගබ්සාව වේදිකාවට ගේන්නේ මීට දා හත් වසරකට පෙර. කොහොමද එදා සහ අද නාට්‍ය කලාව…?
කලා කෘති මෙහි එක් කොටසක්. පේ‍්‍රක්ෂකයන් තව කොටසක්. මේවා රඟදැක්වෙන රංග ශාලා තවත් අංශයක්. මේ සමස්ත පරිසරය මේකට වැදගත් වෙනවා. ඉතිං මීට අවුරුදු දා හතකට කලින් කලාව සම්බන්ධයෙන් අප කතා කරමින් සිටි ඒ ගැටලූ ඒ විදියට ම අදටත් කතා කරමින් ඉන්නවා. කිසි ම වෙනසක් වෙලා නෑ.
ඈත පළාතක නාට්‍ය දර්ශනයකට ගියා ම අදටත් ඒ ශාලාවල වැසිකිළියක් නෑ. ඇඟපත සෝදා ගන්න තැනක් නෑ. මේකප් රූම් එකක්, වාඩි වෙන්න හරියට පුටුවක් නෑ. රංගශාලාව ඇතුලේ දාඩියයි. දාඩිය නිසා ෆෑන් දාන්න කියලා රසිකයන් කෑ ගහනවා. එතකොට රංගන ශිල්පීන්ට තමන්ගේ කාර්යය හරියට කරගන්න බෑ. මේ කිසිම ප‍්‍රශ්නයක කිසි ම වෙනසක් නොවී අදටත් තියෙනවා.
එහෙම නම් පේ‍්‍රක්ෂක රසවින්දනය…?
පේ‍්‍රක්ෂක රසවින්දනය ගත්තොත් ඒ සම්බන්ධයෙනුත් එදා තිබුණු අර්බුදය ඒ විදියට ම අදටත් තියෙනවා. කොළඹ හෝ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව ඉන්න පේ‍්‍රක්ෂකයයි එතැනින් ඇතුළට ගියා ම ඉන්න පේ‍්‍රක්ෂකයයි අතර එදා තිබුණු වෙනස ඊටත් වැඩිවෙලා තමයි අද දකින්න තියෙන්නේ. හැබැයි පේ‍්‍රක්ෂකයාට එකවර මේ චෝදනාව කරන්නේ කොහොමද කියන ගැටලූවත් තියෙනවා. මොකද අපේ ගියවර දර්ශනය පෙන්නුවේ මහියංගනයේ. එහාට අවුරුදු පහකට පස්සේ තමයි නාට්‍යයක් ගිහින් තිබුණේ. එවන් තත්ත්වයක් තුළ ගමේ රසිකයා තමන්ගේ රසාස්වාදනය හදාගන්නේ කොහොමද කියන ගැටලූව තියෙන්නේ ඒක යි.

එහෙම නම් මෙපමණ කාලයක් තිස්සේ ම මේ ප‍්‍රශ්න නොවිසඳී තියෙන්නේ ඇයි…?
මම හිතන්නේ ඒක නාට්‍ය කලාවේ විතරක් තියෙන වරදක් නෙවෙයි. සමාජයේ අනෙකුත් විෂයයන් සම්බන්ධයෙනුත් එදා අහපු ප‍්‍රශ්න ම තමයි අදටත් අහන්න වෙලා තියෙන්නේ. ජීවිතය සහ නිදහස ගැන එදා සොක‍්‍රටීස්ලා ඇහුව ප‍්‍රශ්න අදටත් අපි අහමින් ඉන්නවානේ. සමාජයේ ඇතුළෙත් මොනතරම් ප‍්‍රශ්න තියෙනවද..? ආගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, විශ්වවිද්‍යාලය, කාන්තාව, සංස්කෘතිය, නිදහස මේ ආදී දේවල් ගැන එදා ඇහුව ප‍්‍රශ්න ඒ විදියට ම සමහර විට ඊටත් වැඩියෙන් අද අපි අහමින් ඉන්නවා. එදා ඉඳං අපි මේ වෙනුවෙන් කතාබහක් සංවාදයක් ඕනෑ කියලා කිව්වා. එහෙම කතාබහක් ඇතිවුණත් මිනිස්සු වෙනස් නොවෙන්නේ ඇයි කියන එක ඇත්තට ම ප‍්‍රශ්නයක්. මේ වෙනස්වීමේ තියෙන නොහැකියාව හැම තැනක ම තියෙනවා.
වේදිකාව තුළ අපි දකින්නේ තහවුරු වුණු ජ්‍යෙෂ්ඨ චරිත කිහිපයක් පමණයි. ඇයි තවමත් අලූත් පරම්පරාවට මේක අත්පත් කර ගන්න බැරිවෙලා තියෙන්නේ…?
වේදිකාව අත්පත්කරගැනීම කියන කාරණය කෙසේ වෙතත් අනූවෙන් දෙදාහෙන් පස්සේ නවක නිර්මාණකරුවන් බොහොමයක් ඉතා අපූර්ව නිර්මාණ කරමින් ඉන්නවා. වෙනස් ආකාරයේ ආකෘති, අත්හදා බැලීම්, රංග ක‍්‍රම ආදිය තුළ ඉන්නවා. ගැටලූව තියෙන්නේ ඔවුන් කොහොමද මේක තුළ ස්ථාපිත වෙන්නේ කියන එක ඇතුළේ. පැරණි පිරිසට සාපේක්ෂව ඇයි මේ නවක පිරිස ඒ තැනට ඇවිල්ලා නැත්තේ කියන ප‍්‍රශ්නේ එනවා. ඒක වෙන්නෙත් මේ සමාජයේ තියෙන බරපතල ගැටලූවක් නිසා.

මොකද්ද මේ සමාජයේ තියෙන ඔබ දකින ඒ බරපතල ගැටලූව…?
පරමාදර්ශ විදියට යම් යම් චරිත ගොඩනැගුනාට පස්සේ ඒ පරමාදර්ශී චරිත මෑතක් වෙද්දී දැවැන්ත අර්බුදයකට ලක්වෙලා තියෙනවා. ඔවුන්ට ඔවුන් වෙනුවෙන්මත්, ඔවුන් එදා පෙනී සිටි දර්ශනයන්, මතවාදයන් සහ දෘෂ්ඨිවාදයන් තුළ දැන් කොහොමද සිය පැවැත්ම සුරක්ෂිත කරගන්නේ කියන අර්බුදය මතුවෙලා තියෙනවා. මේ නාට්‍ය තුළත් අපි ඒක කතා කරනවා. මහා පෞරුෂයන් දැවැන්ත අර්බුදයකට ගිය කාලයක් මේක. ඒකත් මේ අලූත් පෞරුෂයන් ගොඩ නොනැගීමේ ගැටලූවට බලපාලා තියෙනවා. හැබැයි එහෙම වුණත් මේ මොහොත වෙද්දීත් ඉතා ම බරපතල විදියට අත්හදා බැලීම් කරමින් ඉන්න තරුණ පිරිසකුත් අපට ඉන්නවා කියන එක අමතක කරන්න නරකයි.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here