දුහුළු මලක් සිංහල සිනමාවේ තවත් පීලි පැනීමක්

0
264

දුහුළු මලක් සිංහල සිනමාවේ තවත් පීලි පැනීමක් ( Duhulu Malak Another Railway Crossing of Sinhala Cinema)

ස්තී‍්‍ර – පුරුෂ ප්‍රේමයේ දෘෂ්‍යමාන ඒක රූපී ස්වරූපය නිරන්තරයෙන් ම විවිධ නිර්මාණ කාර්යයන් සඳහා උපයෝගී කර ගැනේ. ඒ හරහා ජනිත කෙරෙන ශුද්ධ වූ අර්ථ කථන යථාර්ථය හා හැම විටම ගැටෙන සුළුය. එහෙත් මුනිවත රකින්නට ග‍්‍රාහකයන් ද අකමැති නොවන බව පෙනේ. අනුචිත ප‍්‍රතිවිරෝධතා උත්සන්න කර ගැනීමට ඔවුන් තුළ අකමැත්තක් පැවතීම එක් අතකට ස්වාභාවිකය. කෙසේ වුවද යට කී ශුද්ධ වූ අර්ථ කථනයට යම් එරෙහි වීමක් හෝ සංශෝධනයක් හෝ වෙනත් ආකාරයක අදහසක් සම්පාදනය කරන මගක් වෙත් නම් ඒ ගැන විමසිලිමත් වීමට ඔවුහු නොපැකිලෙති. එබඳු කලා නිර්මාණ කාර්යයන් අරභයා විචාර පාර්ශ්වය ද උනන්දුවෙන් නැගී සිටින්නට තීන්දු කරන බව ඇතැම් අත්දැකීම් අපට ප‍්‍රකාශ කොට තිබේ.පවුල, විවාහය, දූ දරු සබඳතා, ඥාති සබඳතා අරබයා පවතින සම්ප‍්‍රදායයන් අපේ සමාජයේ මුහුණුවර තීරණය කිරීමේ දී වැඩි වගකීමක් දරයි. ස්තී‍්‍ර – පුරුෂ ප්‍රේමයේ ශුද්ධ වූ අර්ථ කථන ද මේ සම්ප‍්‍රදායයන් තුළ සැරි සරන්නේ නව අර්ථ කථන සඳහා ඇති ඉඩ අහුරා තබමිනි. ස්තී‍්‍ර – පුරුෂ ප්‍රේමය විවාහ සබඳතාවක් ඉලක්ක කර ගත් ඒක පුරුෂ – ඒක ස්තී‍්‍ර පවුල් ඒකකයක් තුළ රැඳී තිබිය යුත්තකැයි කියා පෑම තුළ උද්ගත කෙරෙන සීමා ආදිය ඇතැම් කලා නිර්මාණ කාර්යයන් හිදී ඍජු විමර්ශනයට ලක් වේ.අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ සිනමාකරු විජය ධර්ම ශ‍්‍රී ස්වකීය පළමු චිත‍්‍රපටය – දුහුළු මලක් සඳහා තෝරා ගත්තේ ස්තී‍්‍ර – පුරුෂ ප්‍රේමයේ සම්ප‍්‍රදායට ඔබ්බෙන් පවතින අවස්ථාවකි. කිසියම් නිර්මාණකරුවකු සිය ප‍්‍රාරම්භක කර්තව්‍යය සඳහා මෙබඳු සම්ප‍්‍රදායයන් ව්‍යවච්ඡේදනය කරන්නා වූ මගකට ඒම බහුලව දැකිය නොහැක්කකි. බොහෝ විට පවතින්නේ යම් සමාජ පදනමක් සකසා ගැනීම සඳහා සම්ප‍්‍රදායයන් නොඉක්මවමින් එතුළ යම් නිර්මාණාත්මක මැදිහත්වීමක් ප‍්‍රකාශයට පත් කරන්නට උත්සුක වීමය. විජය ධර්ම ශ‍්‍රී ගේ සිනමා ආගමනය සිදුවන්නේ ද එක්තරා ආකාරයකට නව මං විමසු ‘හන්තානේ කතාව‘ චිත‍්‍රපටයත් සමගිනි. ‘හන්තානේ කතාවට’ නවකයන් සේ එක් වූ බොහෝ දෙනෙක් පසුකාලීනව ලාංකික සිනමාවට හරවත් අවස්ථා උදා කර දෙන්නට සමත් වූහ.

‘දුහුළු මලක්’ ට පාදක වන්නේ එක් දරු මවක හා සෙල්ලක්කාර තරුණයෙක් අතර ඇති වන සමීප සබඳතාවකි. එතුළ ප්‍රේමය ද රාගය ද හරි ඛ්රියට තිබේ. මෙබඳු ස්තී‍්‍ර – පුරුෂ සබඳතා ජන සමාජය තුළ අමුතු දේවල් නොවේ. ඒවායේ පුපුරා යාම් ද නිරතුරුවම සිදු වන්නකි. මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය මෙබඳු සිදුවීම් අතිශයෝක්තියෙන් ප‍්‍රකාශ කරන්නට වුවද පෙළඹේ. ස්ථාපිත පුරුෂාර්ථ හා ඒ ඔස්සේ එන ස්ථාපිත සදාචාරය මෙවැනි ස්තී‍්‍ර – පුරුෂ එකඟතා අනුමත කරන්නට අවකාශ සලසා නොදෙයි. එහෙත් ඒකාකාරී හා නීරස අත්දැකීම් විසින් අකර්මණ්‍ය කෙරෙන ස්තී‍්‍ර – පුරුෂ සබඳතා, ‘දුහුළු මලක්’ හි මෙන් නව සබඳතා හේතු කොට ගෙන ප‍්‍රබෝධමත්ව නැගී සිටින බව වසං කළ නොහැකි සත්‍යයකි.ඉදින් මෙබඳු අර්බූදකාරී වීමට ඕනෑ තරම් ඉඩ ඇති කාරණයක් විෂය කර ගනිමින් විජය ධර්ම ශ‍්‍රී ප‍්‍රකට කළ එඩිතර බව දශක තුනකට පමණ පසුව වුවද අපගේ අවධානයට ලක් කිරීම වැදගත්ය. ‘දුහුළු මලක්’ හි ආ පුවතත්, එය රූප රාමු හරහා නිරූපිත ස්වභාවයත් අද ද සිනමා රසිකයා තුළ මහත් වූ චමත්කාරයක් ඇති කරයි. රූපවාහිනී නාලිකා දෙක තුනක් ඔස්සේ අවස්ථා ගණනාවකදීම ‘දුහුළු මලක්’ විකාශය කෙරිණි. සිනමා තිරයට උචිතව තැනු නිර්මාණයක් රූපවාහිනී තිරය මත දකිද්දී යම් අපහසුතාවක් උද්පාදනය වන බව සත්‍යයකි. එහෙත් ‘දුහුළු මලක්’ හි වූ තියුණු කළු – සුදු වර්ණ ගැළපීම ඒ අපහසුව මදකට හෝ පළවා හරින්නට සමත් වූ බව පෙනේ.මේ චමත්කාර ජනක රූප පෙළ මධ්‍යයේ අධ්‍යක්ෂ විජය ධර්ම ශ‍්‍රී අනියමින් කියා පාන්නේ සම්ප‍්‍රදායන් ඉක් ම වූ ස්තී‍්‍ර – පුරුෂ සබඳතාවක ඇති ආශ්වාදනීය බවයි. චිත‍්‍රපටයේ සමස්තය තුළ ඔහු ඊට පක්ෂ ස්ථාවරයක් එහෙමටම නොගනී. එහෙත් ඊට ප‍්‍රතිපක්ෂ ස්ථාවරයක් ගෙන තමන්ගේ ඉදිරි සිනමා නිර්මාණ අවකාශය ව්‍යාකූල කර ගන්නට ඔහු කල්පනා කොට නැත.

චිත‍්‍රපටයේ එන මූලික කාරණයටත්, එය සකසා ලන සිදුවීම් පෙළටත් ප්‍රේක්ෂකයා ද හවුල් කර ගන්නට විජය ධර්ම ශ‍්‍රී උනන්දු වී තිබේ. මේ නව ස්තී‍්‍ර – පුරුෂ සබඳතාව හා එකඟ වන්නටත්, ඒ වෙනුවෙන් පෙනී සිටින්නටත් ප්‍රේක්ෂකයාට ලබා දෙන ඉඩ කඩ සැලකිය යුතු මට්ටමක පවතී. ප්‍රේක්ෂක පාර්ශ්වයෙන් මෙය අත්තරාදායක පිළිවෙතක් වීමට ඉඩ තිබිණි. චිත‍්‍රපටය නිමා වන්නේ මේ ස්ථාපිත පවුල් ඒකකය සුරක්ෂිත කිරීමේ පසුබිමක් නිර්මාණය කරමිනි.‘දුහුළු මලක්’ අභියෝගාත්මක චිත‍්‍රපටයක් වුවද, එය ලාංකික සිනමාවේ විශිෂ්ට නිර්මාණයක් ලෙස පිළි නොගැනේ. සැබැවින්ම එය උසස් කලාත්මක ගුණාංග අන්තර්ගත සිනමා ධාරාවටත්, සරල විනෝදස්වාදය සපයන සිනමා ධාරාවටත් අතර පවතින්නේ යැයි නිර්වචනය කෙරෙන ඒ සිනමා ධාරා ද්වයේ ම ඇතැම් ලක්ෂණ අන්තර්ගත කොට ගත් සිනමා ධාරාවේ කැපී පෙනෙන අවස්ථාවක් බව කියැවේ.‘දුහුළු මලක්’ සමකාලීනව සිනමා විචාරකයන් ගේ තියුණු අවධානයට යාමු වීමෙන් ම එහි එන අභියෝගාත්මක ස්වරූපය ගැන තව දුරටත් කරුණු විමසන්නට පෙළඹවීමක් ඇති කෙරේ. රෙජී සිරිවර්ධන , තිස්ස අබේසේකර, වැන්නන් ‘දුහුළු මලක්’ අරබයා ප‍්‍රශංසාත්මකව අදහස් පළ කළ අතර පියල් සෝමරත්න, ගාමිණී හත්තොටුවේ ගම වැන්නන් ඊට එරෙහි ස්ථාවරයක් ගෙන තිබූ බව සඳහන් සඳහන් කළ යුතුය. පියල් සෝමරත්න පවසන්නේ ‘දුහුළු මලක්’ නොගැඹුරු යථාර්ථවාදයත්, විලාසවාදයත් මුසු කළ චිත‍්‍රපටයක් බවය.(සිංහල සිනමාවේ තවත් පීලි පැනීමක්, සුරතුර, 1976. 12. 03)කෙසේ වුව ද ‘දුහුළු මලක්’ හි එන ගීත කිහිපය අදටත් ජනප‍්‍රියව පවතී. සරත් දසනායක ගේ සංගීතයට නන්දා මාලිනී ගායනා කළ ‘රන් කෙන්දෙන් බැඳ’ ගීතය ඊයේ පෙරේදා ස්තී‍්‍ර කටහඬකින් ගීත ගයන ‘පුරුෂ ගායකයකු විසින් ගැයූ අවස්ථාවක් ද විය. එසේ ම එම ගීය නිසරු කැසට් පට සඳහා ද යොදා ගත් අවස්ථා පවතී. මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ‘රෝමය ලෙසේ නැමැති ගීයත්, ඊට පසුබිම් වූ තරුණයන් අතර තවමත් රැඳී සිටින බොබ් මාලේ ට සමාන රූප කායක් හිමි නිරූපණ ශිල්පියකුගේ සහභාගිත්වයත් මතකයේ රැඳෙන සුළුය. අබේවර්ධන බාලසූූරිය හා නිරංජලා සරෝජනී ගැයූ ‘බොඳ මීදුම් කඳුරැල්ලේ’ ගීතය අද ද ප්‍රේමය පිළිබඳ සොඳුරු හැඟීම් ජනිත කරන අවස්ථාවක් වේ. අද නිතර ඇසෙන බොල් පෙම් ගී මැද මෙබඳු ගී වඩාත් කැපී පෙනේ.‘දුහුළු මලක්’ එහෙම පිටින් ම වාගේ අනුකරණය කළ බව හැඟෙන චිත‍්‍රපටයක් වර්ෂ 1998 දී ‘මොහොතින් මොහොත’ මැයෙන් ප‍්‍රදර්ශනය කෙරිණි. එහි කතා පුවත පමණක් නොව සිදුවීම් පවා පෙළ ගස්වා තිබුණේ ‘දුහුළු මලක්’ ට සමාන වන පරිදිය. ‘දුහුළු මලක්’ හි ආ සෞන්දර්යාත්මක හැඩ රුවට කෙසේවත් සමීප නොවූ ‘මොහොතින් මොහොත’ ප්‍රේක්ෂකයන් තුළ කිසියම් ලිංගික උත්තේජනයක් ග‍්‍රාම්‍ය ලෙස ඇවිස්සීමට උත්සුක වූ අවස්ථාවක් බව පෙනේ. කෙසේ වුවද ‘දුහුළු මලක්’ හා ‘මොහොතින් මොහොත’ අතරැති මූලික සබඳතාව සිනමා විචාරයේ නිසි අවධානයට ලක් නොවීම කනගාටුදායකය. එය මෙරට සිනමා විචාරය තුළ තවමත් පවත්නා තෝරා බේරා ගෙන චිත‍්‍රපට විචාරය කිරීමේ නැඹුරුව විසින් නොසිතාම කළ වරදකැයි හැඟේ. මෙබඳු දෑ ඉදිරියේ දී වුව සිදුවිය හැකිය. එක් අතකට ලාංකික සිනමාවට අදාළව මේ ආකාරයේ සිදුවීම් තව දුරටත් හඳුනා ගැනීමට ද පුළුවන.

http://baiscope.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here