කූඹියෝ කන ලාංකේය සිනමාව

0
104

කූඹියෝ කන ලාංකේය සිනමාව (Kumbiyo beat Srilankan Cinema)

2017 වර්ෂයද නිම විය. ලාංකේය සිනමාව එම වර්ෂය තුල තිබුනේ වසන්තයේද,ගිම්හානයේද, නැත්නම් සරත්ද එසේත් නැත්නම් හේමන්තයේද කියා නම් තෝරා ගැන්මට නොහැක. එහෙත් ලාංකේය සිංහල භාෂිත චිත්‍රපට 26ක් එම වසරේ තිරගත විය. ඇතැම් ඒවා තිරගත වූවද කියා දන්නෙත් මෙම ලැයිස්තුව අධ්‍යනය කරන විටය.තිරගත වූ සැනින්ම ඒවා ගැලවී ගොස්ය. චිත්‍රපට 26 ක් තිර ගත වුනිද ඒවා තුලින් චිත්‍රපටයයි කියා හැදින් විය හැක්කේ කීයෙන් කීයද?

චත්‍ර වීරමන් ගේ “ආලෝකෝ උදපාදී” වසරේ මුලින්ම තිරගත කල චිත්‍රපටයය. නවක අධ්‍යක්ෂකවරයෙක් ලෙස දොරට වැඩී චත්‍ර වීරමන් තම චිත්‍රපටය දැවැන්ත ව, එපික් මොඩලයෙන් ඉදිරිපත් කළේය. එය ප්‍රේක්ෂකයාට නැවුම් අත් දැකීමක් වූ අතර “ආලෝකෝ උදපාදී” තුල විචාරකයාට, ප්‍රේක්ෂකයාට කථා කිරීමට යමක් තිබුණි. මෙම චිත්‍රපටය මිනිසුන්ට දැනුනි. ලාංකේය සිනමාව තුල විශාල පිරිවැයක් යොදා ඒ පිරිවැය නිසියාකාරව කලමනා කර දක්ෂ නළු නිලි හා කාර්මීක ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් නිර්මාණය වූ “ආලෝකෝ උදපාදී” චිත්‍රපටය ලාංකේය සිනමාව තුල සුවිශේෂිතව සනිටහන් විය.

එලෙසම කල්පන හා වින්දන ආරියවංශ දෙසොයුරන්ගේ කාව්‍යක් බදු “ප්‍රේමය නම්” වූ අමුතුම තේමාවක් රැගත් චිත්‍රපටයද ප්‍රේක්ෂකයන් දයාබරව වැලද ගති.
කිසිදිනෙක සිනමාව තුලින් කථා නොකෙරු විෂයක් ප්‍රේක්ෂකයාගේ හදවත තුලට කිදා බැසීමට ආරියවංශ දෙසොහොයුරන් ගත් තැත සිනමාත්මක මෙන්ම වානිජ්‍යමවද සාර්ථක වී තිබුණි.

උදය කාන්ත වර්ණසූරියගේ “බන්ධනය” චිත්‍රපටයද කළු සුදු වර්ණයෙන් තිරගත කලේ මෙම වසර තුලය. ලාංකේය ප්‍රේක්ෂකයන්ට “හොරර්” ගනයේ, චිත්‍රපටයක් ඉදිරිපත් කරමින් උදය කාන්ත ප්‍රේක්ෂක විචාරක අවධානය “බන්ධනය” වෙත යොමු කර ගති. අද්භූත මෙන්ම ත්‍රාසජනක දර්ශන රැගත් මෙය බටහිර “හොරර්” ගනයේ චිත්‍රපට ශෛලයට ලාංකේය මුහුණු වරක් ලබා දෙන්නට ගත් ප්‍රයත්තයකි . එලෙසම “බන්ධනය ” ඇතැම් සිනමා ශාලාවල 3ඩී තාක්ෂණයෙන් ප්‍රදර්ශනය කරන්නට විය. උදයකාන්ත ගත් උත්සාහයද සාර්ථක වී තිබුණි. විමුක්ති ජයසුන්දරගේ චිත්‍රපටයක්ද එම වසර තුල තිරගත කෙරිය. ඒ “සුළග ගිනි අරන් ” ය. වකුගඩු විකුණන දොස්තර කෙනෙකුගේ අද්භූත ජීවන රටාව වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ප්‍රදර්ශනය කළේය . සිනමාත්මකව වටිනාකමක් තිබුනද,”සුළග ගිනි අරන්” ප්‍රේක්ෂකයන් අතරට ගියේ නැත. ඉසුරු වීරසිංහ අධ්‍යක්ෂණය කල අපූරු චිත්‍රපටයක් “පැණි මකුළුවෝ” නමින් තිරගත විය. නවීන තාක්‍ෂණය වැරදි අතට භාවිතා කල හොත් සිදුවන විපාකය නැවුම් කාලෝචිත තේමාවක් හරහා පෙන්වූ “පැණි මකුළුවෝ” ඉතාමත් හොද චිත්‍රපටයක් වූවද , නිසි ප්‍රචාරණයක් නොමැති කමින් ප්‍රේක්ෂකයන් අතරට ගියේ නැත. සුනිල් ආරියරත්න ගේ “අලි කථාව ” ඊ ඒ පී ප්‍රචාරණය නිසා තරමක කාලයක් තිරගත වුනිද, සිනමා පටයක් ලෙස ප්‍රේක්ෂකයන් වැලද ගත්තේ නැත.

විශ්වනාත් බුඩී කීර්තිසේනගේ පරියේෂණාත්මක චිත්‍රපටය වූ “නිම්නයක හුදකලාව” තිරගත කලේ මෙම වසරේය.සිනමා පටයක් යනු හුදු විනෝදාස්වාදයක් පමණක් නොව ගැඹුරින් විශ්ලේෂණය කල යුතු දෙයක් බව ඒත්තු ගන්වමින් තිරගත කල නිම්නයක හුදකලාව විශිෂ්ට චිත්‍රපටයක් වූවද එය ප්‍රේක්ෂක ග්‍රහණයට අසුවීමට තරම් ගෝචර නොවීය. එහෙයින් එය අඩු දිනගනකින් ශාලාතුලින් ඉවත් කෙරිණි. තිසර ඉඹුලාන ගේ දක්ෂ අධ්‍යක්ෂණයක් වූ “නිනෝ ලයිව් “චිත්‍රපටය නොදැනීම පැමිණ එසැනින් නොදන්වාම ගියේය. හේතුව අදවත් සොයා ගත නොහැකි විය. ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපට වලටද දැඩි ප්‍රේක්ෂකාගාරයක් හැදෙන්නේ නැත. එහෙයින් ඔහුගේ “28” චිත්‍රපටයට ද සිටියේ සීමිත ප්‍රේක්ෂක පිරිසකි. “28” අර්ථ පූර්ණ සිනමා පටයක් වූවද ප්‍රසන්න ජයකොඩි ගේ සිනමා පට වල තිබෙන මන්දගාමීත්වය මෙහිද නොඅඩුව තිබුණි. එහෙයින් වැඩි ප්‍රේක්ෂක පිරිසකගේ ග්‍රහණයට මෙය අසුවූයේ නැත.

2017 තුල දැවැන්ත ආදායම් වාර්ථාවක් තිබ්බේ ඉන්දීය ජාතික චෙයියාර් රවී අධ්‍යක්ෂණය කල “ධර්ම යුද්ධය ” චිත්‍රපටයයි. මහරජා සමාගම නිෂ්පාදන දායකත්වය දුන් එයට ප්‍රචාරණය පටන් ගත්තේ චිත්‍රපටය තිරගත කිරීමට මාස කීපයකට ප්‍රථමය. එයට පහසු වූයේ ඔවුන් සතු ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය තිබු නිසාය.කෙසේ හෝ “ධර්ම යුද්ධය” නැරඹීමට ප්‍රේක්ෂකයන් සෑදී පැහැදී සිටියේ අර දුන් ප්‍රබල ප්‍රචාරනයටය. චිත්‍රපටයක් නිර්මාණය කිරීම පමණක් නොසැහේ. ඒ හා සමානව එයට ප්‍රචාරණයද දිය යුතුය. “ධර්ම යුද්ධය ” තුල කිසිදු සිනමාත්මක ලක්ෂණයක් තිබුනේ නැත. එය තෝස මසාල චිත්‍රපටයකි. එහෙත් එහි තුල ප්‍රේක්ෂකයන්ඇද ගැනීමේ ත්‍රාසය,කුතුහලය,හැම මොහොතකම රැදී තිබුණි. ඕනෑම රටක් වෙන රටක චිත්‍රපට කථාවක් රැගෙන තම රටට අනුචිතව එය නිර්මාණය කරයි. එය සාමාන්‍ය සිරිතකි. එහෙත් “ධර්ම යුද්ධය “නිර්මාණය කලේ චෙයාර් රවී නම් දමිළ අධ්‍යක්ෂක වරයාය. එහෙයින් ඔහු දමිළ චිත්‍රපට වල තිබෙන ත්‍රාසය, දැවැන්ත බව වේගය,රිද්මය, හා ප්‍රේක්ෂකයා ඇද ගන්නා ක්‍රම සහ විදි මෙම නිර්මාණයට එකතු කරගති. එහෙයින් “ධර්ම යුද්ධය ” නැරඹීමට විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයක් තිබුණි.

රොහාන් පෙරේරා ගේ “හීන සොයන සමනල්ලු”තරමක ජනප්‍රියත්වයක් ලැබුවද, එය මින් පෙර වසරක තිරගත කල “හෝ ගාන පොකුණ ” චිත්‍රපටය අසලටවත් ඒමට නොහැකි විය. ධර්මසේන පතිරාජා ගේ “ස්වරූප” චිත්‍රපටයට සිදුවූ දෙය නම් කිසිවෙක් දැන සිටියේ නැත. මුලින්ම එය එනවා එනවා කියා කීවද, නියමිත දිනයේදී එය තිරගත නොවීය. ඉන්පසු කාටත් නොදන්වා සීමිත චිත්‍රපට ශාලාවල පමණක් සවස 4.15 දර්ශනවාරය තුල පෙන්වීය. එහෙත් එය නැරඹු කෙනෙක් නොවීය. මා හිත මිතුරෙක් ගල්කිස්සේ ප්‍රධාන සිනමා ශාලාවකට මෙය නැරඹීමට ගියද මුළු ප්‍රේක්ෂක සංඛ්‍යාව 2 දෙනෙක් පමණක් වූ හෙයින් චිත්‍රපටය පෙන්වා නැත.”ස්වරූප” කිසිවෙකුට නොකියා යන්නම ගියේය.

ස්වර්ණවාහිනී හා ඊ ඒ පී චිත්‍රපට සමාගම එක්ව නිපදවූ “දේදුණු ආකාසේ” චිත්‍රපටය,ප්‍රේක්ෂකයන් එකවර ග්‍රහණය කර නොගත්තද, තම විද්‍යුත් මාධ්‍ය වූ ස්වර්ණවාහිනිය හරහා දුන් ප්‍රචාරය උඩ ටික කලක් අල්ලා සිටියේය. එහෙත් චිත්‍රපටයට ආ ප්‍රතිචාර නම් එතරම් ඉහළ නොවීය.

ඒ අතර වානිජ්‍ය හා විනෝදාස්වාදය පරමාර්ථ කර ගත් සිනමා පට ගණනාවක් එම චිත්‍රපට 26 තුල තිබුණි . සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කල “රන් සයුර” ඒ.ඒ.ජුනයිදීන්ගේ “කොට උඩ එක්ස්ප්‍රස්”, රොඩ්නි විදාන පතිරණගේ “හිම තාරකා” ජී.නන්දසේනගේ “දෙවැනි වරම”, ප්‍රියන්ත පතිරගේගේ “පුංචි අපිත් බය නැහැ දැන් “, තිස්ස ඩයස් ගේ “සෙල්ලම් නැත්නම් ලෙල්ලම්”, ලාල් ප්‍රියදේවගේ “අප්පට සිරි” සුජීව ගුණරත්නගේ “කාල”, නිහාල් බණ්ඩාරගේ “සීමා නැහැ ආකාසේ” සහ ජය ප්‍රකාශ සිවගුරුනාදන් ගේ “පහ සමත්”, යන චිත්‍රපටයි. මේ චිත්‍රපට ද ආවා මතකත් නැත, ගියා මතකත් නැත. ඒමට වඩා වේගයෙන් ඒවා ගියේය. ” අයියෝ සල්ලි” කියා සිතෙන්නේ මේ වෙලාවටය .රන්ජන් රාමනායකගේ “ඩොක්ටර් නවරියන් ” හා රොහාන් පෙරේරාගේ “ඒ -ලෙවල්” ගැන කියන්නට කාලය තවම පැමිණ නැත.ඒ ඒවා තිරගත වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ නිසාය. එහෙත් ඒවාද ඇදී ඇදී යන අන්දමට මහා ලොකු විශ්වාසයක් තබා ගැන්මට නම් නොහැක .

2017 ලාංකේය සිනමාව යලිත් ආපස්සට සීඝ්‍රයෙන් හැරී යනවිට ඒ තුලට කූඹියෝ රිංගන්නට විය. සාමාන්‍යයෙන් රූපවාහිනී ටෙලි නාට්‍ය වලට සිනමාවට අභියෝග කිරීමට නොහැකි වූවද, එක්වරම සිනමාව අමතක කර සියලු ප්‍රේක්ෂකයන් කූඹියෝ පසු පස යන්නට වුයේ ලාංකේය ටෙලි නාට්‍ය ඉතිහාසය තුල නොවූ විශ්මයක් සිදු වූ ලෙසය.. අද ප්‍රේක්ෂකයන් සතුව ඇති තාක්ෂණ මෙවලම් අනුව ඔවුන් සිනමා පටයක් හෝ ටෙලි නාට්‍යයක් නැරඹීමට කාලය වෙන් කරන්නේ නැත. නමුත් මේ සියල්ලම එක වරම කූඹියෝ වටා රොක් විය. ඒ රොක් වූ ප්‍රේක්ෂක සියල්ලම සිනමා ප්‍රේක්ෂකයන්ය.මහා අලි සිටින කැලෑ වල කූඹියන්ට කල හැකි දේ මොනවාද? හිටි ගමන් මේ කුඩා කූඹියන්ව මහා අලි බවට පත් කලේ කව්ද ? මේ කුඹියෝ ලංකේය සිනමාවට බලපෑම් කලේ කෙසේද. ?

ලක්මාල් ධර්මරත්න සහ දමිත් චන්ද්‍රසිරි විසින් කූඹියෝ ලියු අතර අධ්‍යක්ෂකයා වූයේද ලක්මාල් ධර්මරත්නය. කූඹියෝ ප්‍රසංගීක නාට්‍යය, ටෙලි නාට්‍ය කලාව උඩු කුරු යටිකුරු කර සිනමාවත් අභිබවා යන්නට විය. ලාංකේය සිනමාවට අවශ්‍ය මෙවන් තේමාවන්ය . මෙවැනි කුතුහලයන්ය . මෙවැනි ත්‍රාසයන්ය මායානුරූපිත කථාවක් වූවද ඒ තුල කලාත්මක බවත්, යථාර්තවාදී බවත් එකී චරිත තුල සත්‍යවාදී බවකුත් ප්‍රේක්ෂකයන්ගේ හදවත තුලට කිදා බැසීමේ හැකියාවකුත් කූඹියෝ තුල තිබුණි. තුමිදු දොඩන්තැන්න අප දක්ෂ සිනමා නළුවෙකි. ඔහුගේ ඒ දක්‍ෂතාවය ටෙලි නාට්‍ය වලට දියවී යෑමට ඉඩ දිය යුතු නැත. නමුත් සිනමා පටයකට සැලසුම් කල ටෙලි නාට්‍යක් එය ප්‍රචාරණය වීමේදී යලි සිනමාපටයකට පරිවර්තනය කිරීමේ විශ්වකර්මය තුමිදු ඇතුළු එහි රචකයන්, අධ්‍යක්ෂක හා අන් චරිත රගපාන අය අතර තිබුණි. කූඹියෝ තුල තිබු සුවිශේෂිත්වය එය ප්‍රේක්ෂකයා රූපවාහිනී තිරයට හිර නොකර සිනමා තිරයට රැගෙන ඒමය.අවසානයේදී නරඹා ඇත්තේ ටෙලි නාට්‍යක් නොව, චිත්‍රපටයක් බව හැගෙන තරමටම ඔවුන් එය නිර්මාණය කර තිබුණි..

එක දිගට” චිත්‍රපට නොවන චිත්‍රපට”, ප්‍රතික්ෂේප වීම ප්‍රසංසනාත්මක කරුණකි. ඒ ඔවුන් ප්‍රතික්ෂේප කලේ චිත්‍රපට නොවන චිත්‍රපට නිසාය. 2017 තුල වැඩි වශයෙන් තිරගත වූයේ එවැනි යලටත් නැති, මහටත් නැති චිත්‍රපටය. කූඹියන්ට ඉතාමත් පහසුවෙන් ලාංකේය සිනමාව තුලින් රිංගා යෑමට හැකිවුණේ ඒ නිසාය . ආලෝකෝ උදපාදී හා ධර්ම යුද්ධය හැරෙන්නට සමහර චිත්‍රපට වලට ශාලාවලට ප්‍රේක්ෂකයන් ගෙන්න ගැනීමට විශාල යුද්ධයක් කිරීමට සිදු විය. බොහෝ චිත්‍රපට ඒ යුද්ධයෙන් පැරදුණි. එහෙත් කූඹියන්ට කිසිදු යුද්ධයක් කිරීමට අවශ්‍ය නොවීය බස් වහරින් කිවහොත් කූඹියන්ට ටෙලි නාට්‍ය පැත්තෙන් වත් සිනමාව පැත්තෙන් වත් කිසිදු “ගේම්” එකක් තිබුනේ නැත.ඔවුන් එය ටෙලිවිෂනයක් තුල පෙන්වමින් මුළු ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන්ව ආකර්ෂණය කර ගති .

එහෙයින් ලාංකේය සිනමා කරුවනට ඔවුනගේ නිර්මාණ එළිදැක්වීමට ප්‍රථම යලි යලිත් බොහෝ දේ සිතිය යුතුය. අනෙක් හැම රටකම සිනමාව රජ ගමනින් යන අතර ලාංකේය සිනමාව පමණක් යන්නේ ඉබ්බෙකුටත් අන්ත ගමනකි. ප්‍රථමයෙන් ප්‍රේක්ෂකයන්ව ග්‍රහණය කර ගත හැකි නිර්මාණ කල යුතුය. එය කලාත්මක වේවා, විනෝදාත්මක වේවා ප්‍රේක්ෂකයන් අතරට යා යුතුය. ප්‍රේක්ෂකයන් අතරට නොයන චිත්‍රපට කිරීමෙන් නැතිවෙන්නේ ප්‍රේක්ෂකයන් පමණක් නොව එයට කෙලින්ම හෝ වක්‍රව සම්භන්ධ වන සියලු දෙනාම ඇතුළු මුළු කර්මාන්තයමය. ඉන්පසු සිදු වන්නේත් ලාංකේය සිනමා කර්මාන්තයම කුඹින්ට බාර කිරීමය.

ලාංකේය ටෙලිනාට්‍ය කලාවද සිනමාවටත් වඩා පිරිහී තිබුණි. ඔලුවක් තිබෙන කෙනෙක් නම් ලංකාවේ ටෙලි නාට්‍ය බලන්නේ නැත. එහෙත් දැන් ඒ තුලට කුඹියෝ රිංගා ගෙන ටෙලිනාට්‍ය කලාව තුල කිසියම් ප්‍රමිතියක් ඇති කළා සේම ප්‍රේක්ෂකයා තුල ප්‍රබෝදයක් ඇතිකළේය. සිනමාවට අවශ්‍යද එයමය. ඒගැන ලාංකේය සිනමාව අවධානය යොමු නොකළහොත් ඒ තුලට කුඹි රිංගා ගනු ඇත. එවිට කුඹි කනවෝ කනවෝ කියා නගන කෑ ගැහීමේ හඩ වැළැක්වීම පහසු කරුණක් නොවෙනු ඇත .

ශෝන් මැක්ස්මස් දිසානායක

 

http://baiscope.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here