නැවත නොදකින විශිෂ්ට සලරු- “බිනරමලී”

0
344

නැවත නොදකින විශිෂ්ට සලරු- “බිනරමලී” ( Binaramali old sinhala films never can see again)

මේ 1960 දශකයේ අවසන් භාගයේය . එකල තිබු එකම ගෘහස්ත විනෝද මෙවලම වූයේ ගුවන් විදුලි යන්ත්‍රයය. සියලුම ලාංකීය ජනතාව එක් රොක් වන්නේ මෙය වටාය. ගීත මෙන්ම ගුවන් විදුලි නාට්‍යන්ද ඉතාමත්ම ජනප්‍රිය වූ, වැඩ සටහන්ය. එයිනුත් මුදලිනායක සෝමරත්න ලියු “මුවන් පැලැස්ස”නම් ගුවන් විදුලි නාට්‍යය අතීශයෙන් ජනප්‍රියය. එය කොතෙක් ජනප්‍රියද කිවහොත් අවුරුදු ගණනාවක්ම මුල් තැන හිමිවී තිබුනේ මෙම ගුවන්විදුලි නාට්‍යය වූ “මුවන් පැලැස්සය”.

වෙඩික්කාරයා , බිනරමලී, සිංඤා, සුදු බන්ඩා ,ආරච්චිල, කිරි අම්මා, ගුරු හාමි,රංහාමි, ගොළු බන්ඩා ,සොබනි,ලොකු අප්පුහාමි,දන්දෙනියේ රාළ, හීං බණ්ඩා, වැනි චරිත රැසක් එකල සෑම සතියකට වරක් ශ්‍රාවකයාට හමුවෙයි. පසුකලෙක එම චරිත ඔවුනට තම නිවැසියන් මෙන් කිට්ටු විය. ලාංකීය ජන සමාජය තුල මෙතරම් ජනප්‍රිය වූ චරිත රැසක්, පෙර හෝ පසු හමුවූයේ නැත.

මෙහි මුඛ්‍ය චරිතය වෙඩික්කාරයාය. ඇගට තදින්ම දැනෙන චරිතයද එය විය. වෙඩික්කාරයා යනු කැලෑව තුල වැඩිකාලයක් ගත කරන ,සතුන් මරණ , කළු යැයි සම්මත වූ චරිතයකි. මුවන් පැලැස්සේ දුෂ්ටයා ඔහුය. ශ්‍රාවකයාට පෙන්නන්නට බැරි චරිතයත් ඔහුය. එහෙත් ඔහු තුලද යම් මානුෂීක ගුණාංග නොතිබුනාම නොවේ. ඔහුගේ හදවතටද ආදරය දැනේ. කරුණාව දැනේ. නමුත් ඔහුගේ ජීවන රටාව හා පරිසරය තුලින් ඔහු රළු මිනිසෙකු කෙරිය.

මුවන්පැලැස්සේ අවිහිංසක සුන්දරිය බිනරමලීය.

” මල් මල් වන මල් මැද පිපි බිනරමලී-
පුර හද මෙන් සොමි ගුණ පිරි කුමුදු මලී
මල් මල් වන මල් මැද පිපි බිනරමලී
පුර හද මෙන් සොමි ගුණ පිරි නයනනිළි
මල් මල් වන මල් මැද පිපි බිනරමලී
මල් මල් වන මල් පියලිය තඹර මලී

මිණි කිංකිනි නද නංවන මන නන්දන මුදු වදනයි
නාඹර සියො ගත ලෙල දෙන නාලිය බඳු ලැසි ගමනයි
නාලිය බඳු ලැසි ගමනයි. ”

මේ සොබනි ඇතුළු ඇගේ යෙහෙලියන් ඇයව වර්ණා කල ආකාරයි.

ඇය තුන්කොන් ආදරයක පැටලී සිටියාය. සිංඤා ඇගේ සිත ගත් තරුණයාය.ඔහු අහිංසක ,පුද්ගලයෙකි. වෙඩික්කාරයාද ඇයට ආදරය කළේය. ඔහු, ඇයව හොදින් හෝ නරකින් ලබා ගැන්මටය අධිෂ්ඨාන කර සිටියේ. තුන්වැන්නා සුදු බන්ඩාය. ඔහු බිනරමලී ට ඔහුගේ සිත තුල තිබු ආදරය සිත තුලම සිර කරගෙන නිහඩව සිටියේය. ආරච්චිල කපටියෙකි. ඔහු වෙඩික්කාරයාට බයය. නමුත් අන් අය ඉදිරියේදී ඔහු පෙන්වන්නේ වෙඩික්කාරයා යටත් වන්නේ ඔහුගේ අණසකට පමණක් බවය. එහෙත් වෙඩික්කාරයා දුටු තැන ඔහු ගේ සියොලග වෙව්ලා යයි . මේ සියල්ලන්ගෙන්ම පීඩා විදින්නේ බිනරමලීය. අවසානයේදී බිනරමලී සිංඤා සමග විවාහ වෙයි. එයින් සුදු බණ්ඩා අපේක්ෂාභංග වි, තම විරහා දුක තම හද තුලම තද කර තබා ගති. එහෙත් වෙඩික්කාරයා යක්ෂාවේශ විය. ඔහු කෙතරම් දරුණු වුවාද කිව හොත් සිංඤාව මරුමුවට පත් කර හෝ බිනරමලීව තමා සතු කරගැන්මට සිතා ගති.

මේ අතර අලුත විවාහ වූ යුවල පොකුණට ගොස් දිය නා එමින් සිටියෝය

“රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ-
මල් මද බිසවුනි කොහේදෝ යන්නේ

නීල වරල පිට මැදට හෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේදෝ යන්නේ

මල් මද බිසවුන් සැතපෙන අද ඇගේ ආදර මල් යහනේ
රකුසෙකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන නුරා රැගුම් පෑවේ
නුරා රැගුම් පෑවේ …..”

සතුටින් සාමයෙන් බිනරමලී හා සිංඤා අවිහිංසක ලෙස ජීවීතය ගත කරන්නට පටන් ගත්තද වෙඩික්කාරයාගෙන් ඔවුනට විසුමක් වූයේ නැත. ඔහු කෙසේ හෝ තම අභිලාශය මුදුන් පත් කර ගැන්මට මාන බැලීය. ඔහු නිතොරම සිංඤාට තාඩන පීඩන කිරීමට සැරසීය. මේ ගැන ඔවුන් ආරච්චිලට දන්වා සහනයක් බලාපොරොත්තු වූවද, ආරච්චිල වෙඩික්කාරයාට ඇති බිය නිසා නිහඩව සිටියේය. එහෙත් සුදුබන්ඩා බිනරමලීව ආරක්ෂා කිරීමට නිතරම හැදී පැහැදී සිටියේය.

වෙඩික්කාරයාගෙන් එන කරදර ඉවසා ගැන්මට නොහැකි තැන බිනරමලී හා සිංඤා ගම හැරදා කැලෑ පාරෙන් සිංඤා ගේ ගමට යන්නට සැරසීය.

“රටකින් රටකට පාර අසාගෙන – බර පොදී උසුලා ගෙන එනවා
බර පොදී උසුලා ගෙන එනවා

පඳුරු පුරා මල් කිණිති පිපී – පොකුරු සුවද මී ගලා බසී
අදුරු ගැබෙහි ඒ තුලින් එඹී – ගොදුරු සොයන ඇස් බලා සිටී ”

 

එහෙත් ඔවුන්ට යන්නට ලැබෙන්නේ නැත. වෙඩික්කාරයා කැලෑවේ මග රැක සිට සිංඤාට වෙඩි තබන්නට විය. .

එතන වූයේ විශාල ඛේදවාචකයකි . සිංඤා මිය යයි . වෙඩික්කාරයා බිනරමලීව බලෙන් පැහැර ගෙන යන්නේ ඇයගේ විලාපය මැදය. කෙසේ හෝ
සුදු බන්ඩා පොලිසියේ සහය ඇතිව බිනරමලීව වෙඩික්කාරයාගෙන් බේරා ගනියි. වෙඩික්කාරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනී.සිංඤා නොමැතිව බිනරමලී තනිවෙ . සුදු බණ්ඩා ඇයගේ ආරක්ෂාවට පැමිණේ.

බිනරමලී ගේ කථා ශාරය චිත්‍රපටයට ගෙතුනේ ඒ ආකාරයටය. මෙහි තිර නාටකය ලියුවේ තිස්ස අබේසේකරය . ඔහු මුවන් පැලැස්ස කථාවේ හරය හදුනා ගෙන විශිෂ්ට ලෙස තිර නාටකය ලිවීය. කැමරාව,සංස්කරණය හා කාර්මීක අධ්‍යක්ෂණයට ඩී .බී.නිහාල්සිංහ එක්විය. සෝමදාස ඇල්විටිගල සංගීත අධ්‍යක්ෂක විය ඩබ්ලියු ඩී අමරදේව ( රටකින් රටකට පාර අසාගෙන) , ජේ.ඒ.මිල්ටන් පෙරේරා( රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ), සුජාතා අත්තනායක (මල් මල් වන මල් මැද), නන්දා මාලනී (වනන්තරේ කඳුවලියේ) යන ගීත ගායනා කලෝය. මහගමසේකර, ධර්මසිරි ගමගේ ,මුදලිනායක සෝමරත්න මෙහි එන ගීත පදවැල් රචනා කරහ.

වෙඩික්කාරයාගේ චරිතයට තෝරා ගත්තේ එකල එයට උචිතම රංගධාරියෙකි. ඒ පියදාස ගුණසේකරවය. ඔහු ඉතාමත් විශිෂ්ට ලෙස එම චරිතයට පන පෙවිය. ඔහු හැර වෙන රංගන ශිල්පියෙක් ගැන සිතන්නට වත් නොහැකිය. එතරම්ම ඔහුගේ රගපෑම් අද්විතීයය. බිනරමලී ට නවක නිලියක් හදුන්වාදුනි. ඇය ස්වර්ණා කහවිටය. ගුවන්විදුලියේ මුවන්පැලැස්ස නාට්‍යයේ බිනරමලී ගේ චරිතයට හඩ දුන් නෙතලි නානායක්කාර විසින් ස්වර්ණා කහවිටට හඩ කැවීය. වික්‍රම බෝගොඩ සිංඤා විය. සට කපට ආරච්චිගේ චරිතයට ඩී.ආර්.නානායක්කාර ව තෝරා ගති. සුදු බණ්ඩා වුයේ මුදලිනායක සොමරත්නය.

සෙසු චරිත ධර්ම ශ්‍රී මුණසිංහ (ගුරු හාමි), ශාන්ති ලේඛා (කිරි අම්මා) කිංස්ලි දිසානායක (ගොළු බංඩා), ගැමුණු විජේසූරිය (රංහාමි), සුමනා අමරසිංහ (සොබනි), සිරිල් වික්‍රමගේ (ගායකයා), විජේරත්න වරකාගොඩ (හීං බණ්ඩා), ඒ. පී. ගුණරත්න (දංදෙනියේ රාළ), ඇනස්ලි ඩයස් (ලොකු අප්පුහාමි), බර්ටි ගුණතිලක (මුදලාලි) ලෙස රගපෑහ.

අතුරු චරිත වලට ඇග්නස් සිරිවර්ධන, සී. ධර්මසේන, ගුණවතී මද්දුමගේ, ශ්‍රීමා සිරිවර්ධන, ලිලියට් එදිරිසූරිය, සුභද්‍රා සිල්වා, ඒ. පී. ගුණරත්න, සී. බී. රත්නායක, සුසිලා පද්මිණි, සැමුවෙල් රුද්‍රිගු, සෝමරත්න රාජපක්ෂ, මොහොමඩ් රාෆි, සිරිසේන එල්ලාවල, ඒ. එම්. සිරිසේන, ඒ. ජී. මෙන්ඩිස්, අශෝක ආබෲ, ඩී. ඊ. මාන්නප්පෙරුම, ජයසේන එල්ලාවල, දේවිකා කරුණාරත්න, නන්දා විලේගොඩ, රංජනී සේනාරත්න, ලීලා බියට්‍රිස්, අයිරාංගනී සෙනෙහෙලතා, ඇසිලින් පතිරත්න, මියුලින් සිල්වා, චන්ද්‍රා පෙරේරා, ලතා ඇඹුල්දෙනිය, මල්ලිකා පීරිස්, ආර්. ඒ. ජයලත්, විජයකෝන් බංඩා, තනුජා එල්ලාවල. පන පෙවිය.

බිනරමලී අතී සාර්ථක චිත්‍රපටයක් විය. එය ඉතාමත් ජනප්‍රිය වූවාක් මෙන් විචාරකයන්ගේ පැසසුම් ලද චිත්‍රපටයක් විය. ආදායම් අතින්ද අධි සාර්ථක වූ චිත්‍රපටයකි. ගුවන්විදුලි නාටකයක් චිත්‍රපට ගත කෙරු ප්‍රථම වතාව මෙය විය. තමන්ගේ සවනට හුරු චරිත රැස ජීවමානව දැක බලා ගැන්මට ජනයා අතුරු සිදුරු නොමැතිව චිත්‍රපට ශාලාවල පිරුණි. ඔවුනගේ බලාපොරොත්තුන් කඩ වූයේ නැත. ” බිනරමලී” චිත්‍රපටය, සිනමාත්මක ආරෝවක් ඇති විශිෂ්ට චිත්‍රපටයක් විය.

“බිනරමලී ” චිත්‍රපටය 1970 “සරසවි” සම්මාන උළෙලේ හොදම චිත්‍රපට 3 අතරින් මුල් තැනට පත් විය. එලෙසම එම උළෙලේ හොදම චිත්‍රපටය ලෙස සම්මාන දිනුවේ “බිනරමලී” චිත්‍රපටයයි. තම ප්‍රථම චිත්‍රපටයෙන්ම “හොදම නිළිය” සරසවි සම්මානය දිනා ගැන්මට බිනරමලී ලෙස රගපෑ ස්වර්ණා කහවිටට හැකි විය .’ වෙඩික්කාරයා’ ලෙස අද්වීතීය රංගනයක යෙදුනු විශිෂ්ඨ නළු ‘පියදාස ගුණසේකර’ හොදම සහාය නළුවා විය. ශාන්ති ලේඛා කිරි අම්මා ලෙස ” බිනරමලී” හී රගපා, එම සරසවි සම්මාන උළෙලේ හොදම සහය නිළිය විය. බිනරමලී හී ” රටකින් රටකට පාර අසාගෙන” ගීතය ලියු මහගමසේකරට හොදම ගීත රචක සම්මානය හිමි වූ විට, එම ගීතය ගායනා කල ඩබ්ලියු ඩී අමරදේව වසරේ හොදම ගායකයා ලෙස බිනරමලී වෙනුවෙන් සරසවි සම්මානය ලබා ගති.

බිනරමලී නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය මුදලිනායක සෝමරත්නගෙනි. එය සිරිකත චිත්‍රපට සමගම විසින් ඉදිරිපත් කලේ 1969 අගෝස්තු 10 වන දිනයේදීය. ඒ මරදානේ එල්ෆින්ස්ටන් ඇතුළු සිලෝන් තියටර්ස් සිනමා ශාලාවලය .

ශෝන් මැක්ස්මස් දිසානායක

http://baiscope.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here