ගාමිණී ෆොන්සේකා සිනමා ප්‍රකාශනය 7 -“අන්තිම රැය”

0
257

ගාමිණී ෆොන්සේකා සිනමා ප්‍රකාශනය 7 -“අන්තිම රැය”(Gamini Fonsekas Direction Anthima Raya)

1966 සැප්තැම්බර් 26 වන දින තිරගත කල ගාමිණී ෆොන්සේකාගේ ප්‍රථම චිත්‍රපටය වූ “පරසතු මල්” සිට 1998 ජුලි මාසයේ 31 වෙනිදින තිරගත කල ” අන්තිම රැය ” දක්වා ගාමිණි ෆොන්සේකා විසින් ඔහුගේ සිනමා ප්‍රකාශනය විවිධ අන්දමින් එකිනෙකට වෙනස් තේමාවන් හා අධ්‍යක්ෂණ රටාවන් හරහා ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කලේය. “පරසතු මල්” “උතුමාණෙනි “,”මයුරිගේ කථාව”,, “බාදුරා මල්” “සාගරයක් මැද” “රෑ මනමාලි ” “සක්විති සුවය” “කොටි වලිගය” “නොමියෙන මිනිසුන්” “අන්තිම රැය”යන චිත්‍රපට 10 යලි ආවර්ජනය කර, ඔහුගේ අධ්‍යක්ෂණ රටාව අද යුගයට මොනතරම් ගැලපේද, එය කෙලෙස මෙම යුගයට බලපෑම් කලේද යන්න කල විමර්ශනයකි මෙම ගාමිණි ෆොන්සේකා සිනමා ප්‍රකාශනය ලිපි පෙලේ හරය.

ඩේවිඩ් ලීන්,ගියේ එක් මාර්ගයකය. අකිරා කුරසාවෝ,සත්‍යජිත් රායි,ස්ටීවන් ස්පීල්බර්ග් ,ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ සියල්ලම ගියේ එක් එක් මාර්ග වලය. ගාමිණී ෆොන්සේකාද තෝරා ගත්තේ වෙනස් මාර්ගයකය. නමුත් මේ සියල්ලෝම එක හංදියකදී මුණගැසුණි. එවිට ඔවුනොවුන්ගේ අනන්‍යතාවය ගැන කථා කිරීමට බොහෝ දේ තිබුණි. ඒ වන විට ගාමිණි ඔහුගේ අන්තිම චිත්‍රපටයද නිර්මාණය කර තිබුණි. ඒ “අන්තිම රැය”ය .

“අන්තිම රැය” කීප අතකින්ම විශේෂත්වයක් විය. 1977 පසු ගාමිණී- මාලනී නැවත එක්වුණු චිත්‍රපටය, මෙය විය. ඒ අවුරුදු 21ට පසුවය. එලෙසම ගාමිණී ෆොන්සේකාගේ අවසන් අධ්‍යක්ෂණය මෙන්ම ගාමිණි දුෂ්ඨ චරිතයකට පන පොවන චිත්‍රපටයද මෙය විය. ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කල චිත්‍රපට 10 අතුරින් වෙනස්වූ තේමාවක ගිය චිත්‍රපටයකි,මේ “අන්තිම රැය”.

මා දන්නා පරිදි ගාමිණි අන්තිම රැය චිත්‍රපටය නිර්මාණය කලේ දේශපලනීකව දැඩි අවිවෙකිව සිටින විටය . එහෙයින් ඔහුගේ පුර්ණ සිනමාත්මක දැනුම හා අත්දැකීම් මෙයට මුසු කළාදැයි සැක සහිතය.මෙය දයා අල්විස්ගේ තිරරචනයකට අධ්‍යක්ෂණය කල චිත්‍රපටයකි.තිර රචනය උඩ අතපත ගෑමක් සිදු වූවාදැයි විටෙක සිතේ.

“අන්තිම රැය “තුලින් එහි නිෂ්පාදක ලකී ඩයස්ට මුඛ්‍ය පරමාර්ථ 3ක් තිබුණි. එක, ගාමිණි ෆොන්සේකා ලවා චිත්‍රපටයක් කරගැන්මය.දෙක,ගාමිණී ෆොන්සේකාව හා මාලනී ෆොන්සේකාව යලි එකතු කර චිත්‍රපටය තැනීමය. තුන , එහි ලකී ඩයස් ගාමිණි ෆොන්සේකා හා සම සමව ප්‍රධාන චරිතයක් රගපෑමය. ලකී ඩයස් නම් මෙම කරුණු තුනම “අන්තිම රැය “චිත්‍රපටයෙන් එය ඉටුකරගති. නමුත් චිත්‍රපටය ප්‍රේක්ෂකයාට මොන තරම් ගෝචර වුවාද? විමර්ශනය කල යුත්තේ එයය.

ලින්ටන් කුරේ යනු තනිකරම කළු චරිතයක් විය. කිසිවකට වටහා ගැන්මට නොහැකි අභූත චරිතයකි. ඔහු ප්‍රසිද්ධ වී සිටියේ ප්‍රබල ව්‍යපාරකයෙකු ලෙසය. නමුත් ඔහුගේ අභ්‍යන්තර ක්‍රියා කාරකම් පාතලයටත් වඩා දරුණුය. මිනී මරනවා යනු ඔහුට සුළු දෙයකි. ඔහුට වෙනම මැර කල්ලියක් සිටි. සමාජයට පෙන්වන වැදගත් ස්වරූපය යටින් ජීවත්වූයේ යක්ෂයෙකුටත් වඩා දරුණු මිනිසෙකි. ඔහුගේ වධකාගාරය තිබුනේ ඔහුගේම නිවෙස තුලය. මිනිසුන් මරන්නේද තම නිවස තුල තිබෙන වධකාගාරයේය. ඔහුගේ බිරිද දමිළ කාන්තාවකි. ඇය ලක්ශ්මීය. ඉතාමත් අහිංසක, පිළිවෙලකට ජීවත් වන ඇය බොහෝ කාලයක් යන තෙක් සැමියාගේ කෘරතර ක්‍රියාකාරකම් දැන සිටියේ නැත. එහෙත් අවස්ථා කීපයකදී එය ඇයට ඒත්තු ගැන්වුණිද, එක් වරම තම සැමියාව සැක කිරීමට ඇය මැලිවිය. මෙම ඒත්තු ගැන්වීම සිදුවුනේද, තම සැමියාගේ පෞද්ගලීක කාමරය තුලින් එන කෙදිරිලි හඩ ,මරබිය හඩ නිසාය. හැමදාම හැමදේම සගවා සිටිය නොහේ. එක දිනෙක ලින්ටන් පැලද සිටින වෙස්මූණ කුමක්දැයි ලක්ෂ්මී දැනගති. එතැන් පටන් ලක්ෂ්මී ද එම නිවස තුල සිරකාරියක් විය. දේවින්ද්‍ර සිල්වා ට තිබුනේ වෙනස් අරමුණකි. දේශපාලනයට පිවිස එහි කෙලවර දකින්නය.එය හොදින් හෝ නරකින් සිදුවූවද කම් නැත. ඔහු ඔහුගේ ඉලක්කයට යන විට ඔහුට උපකාර කල ඔහුව මෙම තත්වයට ගෙන ආ අයව විනාශ කිරීමට හෝ ඔහු මැලි වූයේ නැත . දේවින්ද්‍ර ට අවශ්‍යව තිබුනේ බලයය. එලෙසම ඔහුට ලින්ටන්ව අභිබවා යෑමට ද අවශ්‍ය වී තිබුණි. . ලින්ටන් ගෙන්ම දේශපාලනයට එන මාර්ගයට අවශ්‍ය අත් පොත ඉගෙන ගෙන,ලින්ටන් ටම වල කපන දේවින්ද්‍ර ට ලින්ටන් ව අභිබවා යෑමට හැකි වුනිද?. චරිතයන් තුලදී නම් දේවින්ද්‍ර මොන වලි කෑවත් ලින්ටන්ව අභිබවා යෑමට නොහැකි විය. දුෂිත, සට කපට, වංචා, බලලෝභී වන හැම මිනිසුන්ටම අයත් වන භයංකාර ඉරණමට අවසානයේදී ලින්ටන්ටත් ,දේවින්ද්‍ර ටත් මුහුණ දීමට සිදු වුනිද , මේ කිසිවකට සම්බන්ධ නැති ලක්ෂ්මී මේ උගුලට අසුවෙන්නේ ඇයි ? කථා රචකයා, තම කථාව සංවේදී කරවන්නේ ලක්ෂ්මී හරහාය.

මෙම ප්‍රබල වූ චරිත තුන වටාය, “අන්තිම රැය ” චිත්‍රපටය දෝලනය වූයේ. එකිනෙකට වෙනස් අධි වේග රිද්ම රටාවකට අනුගත වූ චරිත තුන ලින්ටන් කුරේ-ලක්ෂ්මී හා දේවින්ද්‍ර එකිනෙකා හා හැප්පෙන්නේ සද්ධන්ත යෝධයන් මෙනි. මෙම චරිත තුන අතර එකිනෙකා පරයෑමට නොදී සමතුලිතාවයක් ඇති කර තිබු අතර, තිර නාටක රචක දයා අල්විස් ලින්ටන්- ලක්ෂ්මි-හා දෙවින්ද්‍ර අතරින් කිසිවකට මතු වන්නට ඉඩ නොදී චරිත තුන පාලනය කල තිබුණි. එහෙයින් මෙම චරිත තුන එක තීරුවක රදවා, තිදෙනාව හැප්පෙන්නට අවශ්‍ය හේතු සාධකයන් මනා ලෙස තිරනාටකයේ ගැබ් වී තිබු අතර දේශපාලනය- පාතාලය නිසි තැන්වලට රිංගවා එයින් කථාශාරයට ජීවයක් දෙන්නට තිර කථා රචක දයා අල්විස් සමත් විය.

“අන්තිම රැය” චිත්‍රපටයේ නිෂ්පාදකයා ලකී ඩයස් ය. මා ඉහත කී පරිදී ඔහුට තිබු මුඛ්‍ය පරමාර්ථ තුන තුල අධ්‍යක්ෂක වරයා හිරවී තිබු බවක් පෙනුනි. ගාමිණි- මාලිනි ගේ එකතුවීම චිත්‍රපටයට ප්‍රබල ගැම්මක් ලැබූ බවක් ඇත්තය. කලෙක “හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා ” නොඑසේනම් “අමර පෙම් ලතාවේ ,රන් මලක් උදාවේ ” එසේත් නැත්තම් ” වසන්තයේ මේ ආදරයේ දේදුනු පායා” එලෙසම “පාට පොදක් තිලක ලා නලල් තලාවේ” යන ගීතවලට ආදර බර රැගුම් රගපෑ ගාමිණි- මාලනී යුවල අවුරුදු 21 කට පසු එකතු වීම තුල නැවතත් “ආවා සොයා, ආවා සොයා,ආව සොයා ආදරේ” කියමින් රගන ජවනිකා අපට මතක් වූවද ,එය එසේ වන්නේ නම් කෙතරම් හොදදැයි සිතුවද අවුරුදු 21 ක් වැනි දීර්ඝ කාලයකට පසු මැදිවියද පසු කෙරූ ගාමිණි- මාලනී ගෙන් බලාපොරොත්තු විය හැක්කේ ප්‍රබල රගපෑමක් පමණි. එමෙන්ම එහි නිෂ්පාදක වූ ලකී ඩයස්,ටද ගාමිණි හා සම සමව රගපෑමට අවස්ථාවක් ලබා දිය යුතුවේ. අධ්‍යක්ෂක මෙම හේතුන් තුල හිරවුණු බවක් මා කීවේ ඒ නිසාය.

ගාමිණීගේ අවසන් අධ්‍යක්ෂණය වූ “අන්තිම රැය ” තුල ගාමිණි පූර්ණව අධ්‍යක්ෂණය කෙරූ බවක් දැනුනේ නැත. ඇතැම් දර්ශන වල තිබු උසස් ප්‍රමිතිය, හැම දර්ශනයක් තුලම රදවා ගත නොහැකි විය. මා දන්නා පරිදි ගාමිණි ෆොන්සේකාගේ දේශපාලන දිවියේ තිබු අවිවේකත්වය මත මෙහි බොහෝ දර්ශන එහි සහාය අධ්‍යක්ෂක වූ නිලේන්ද්‍ර දේශප්‍රිය විසින් අධ්‍යක්ෂණය කර ඇත. ගාමිණි ෆොන්සේකාගේ අධ්‍යක්ෂණ රටාව,හා නිලේන්ද්‍ර දේශප්‍රියගේ අධ්‍යක්ෂණ රටාව තුල තිබු පරස්පර වෙනෙස සිනමා පටය නරඹන විට දැනේනට විය. ගාමිණි “අන්තිම රැය ” ට බටහිර සිනමා ශෛලය භාවිතා කර තිබුණි. මුල් දර්ශනයේදී කෙනෙකුව මැරීමට සොයා ඒම තුල ත්‍රාසය, කුතුහලය, ගාමිණි බටහිර චිත්‍රපට වලින් අභාෂය ගත් බව පෙනේ. එම ආභාෂය චිත්‍රපටයේ තැනින් තැන අපට හමුවේ. අන්තිම රැය තුල තිබු මෙම කුතුහලය දනවන ගැටුම් සියල්ලම ඛේදවාචකයන්ය . මා මීට පෙර ලිපි වලින් කීවාක් මෙන් ගාමිණි අධ්‍යක්ෂණය කල හැම චිත්‍රපටයකම තිබු ඛේදවාචකයන් වලට වඩා දරුණු ලෙස අන්තිම රැය තුල ඛේදවාචකය ඇතිකර තිබුණි.

කැමරා කෝණ වල පවා ගාමිණීගේ අන් චිත්‍රපට වලට වඩා වෙනසක් තිබුණි. බොහෝ විට සමීප රූප භාවිතා කිරීමත්, එතුලින් චරිත වල එන ,එකිනෙකට වෙනස් ඉරියව් හරහා, තමනට අවශ්‍ය දේ ප්‍රේක්ෂකයාට මතු කර දී එකී චරිත ප්‍රේක්ෂකයා හා සමීප කරවන්නට ගත් උත්සාහය සාර්ථක විය . නමුත් චිත්‍රපටයේ සමතුලිතබව උන් හිටි ගමන් කඩා වැටේ .ඉන් පසු ටික වෙලාවක් චිත්‍රපටය ඉබාගාතේ යයි. යලිත් එක්වරම හරි “ට්‍රැක් ” එකට වැටේ. මෙලෙස කීප වතාවක්ම සිදුවේ.

ගාමිණි ෆොන්සේකා ලින්ටන් කුරේ ලෙස, විශිෂ්ඨ රංගනයක යෙදේ . ඔහු , ඔහුගේ ප්‍රථාපවත් බව, මෙම චරිතය හරහා නැවත ස්ථාපිත කරයි. එලෙසම මාලනී ෆොන්සේකාද ලින්ටන් කුරේ ගේ බිරිද වූ ලක්ෂ්මී ලෙස අග්‍රගණයේ රංගනයක නිරත වේ. අවුරුදු 21කට පසු ගාමිණී- මාලනී එකතුවේදී ඔවුන් රංගනයේත්,අධ්‍යක්ෂනයේත් රැස් කර ගත් අත්දැකීම් මෙම චිත්‍රපටය තුලින් ඉදිරිපත් කලේ විශිෂ්ඨ ලෙසය. දේවින්ද්‍ර සිල්වා වූ ලකී ඩයස් ද ගාමිණි- මාලනී හා කරට කර රංගනයේදී හැප්පෙයි. එහෙත් ගාමිණී ගේ රංගනය හමුවේ ලකී ඩයස් වැටෙන අවස්ථා තිබුනද, තම චරිතයේ අභ්‍යන්තරයත් , දේවින්ද්‍ර සිල්වා තුල තිබු කපටි, අවස්ථාවාදී, පරාර්ථකාමී චරිත ලක්ෂණයන් ලකී ඩයස් අවබෝධ කර තිබෙන බව නම් කිව යුතුමය.

අන්තිම රැය චිත්‍රපටයේ ප්‍රධාන නළු නිලි තිදෙනාට අමතරව චරිත ගණනාවක් සම්බන්ධ වේ. දයා අල්විස්, ලින්ටන් හේමගේ, ආනන්ද තිස්ස ඩි අල්විස්, අරුන් ඩයස්, රාධා ඩී මෙල් , බුද්ධි වික්‍රම, ශාන්ත සපරමාදු, ක්ලීටස් මෙන්ඩිස්,මහේන්ද්‍ර පෙරේරා, ලාල් කුලරත්න,මියුරි සමරසිංහ,එඩ්වඩ් ගුණසේකර,දමයන්ති ෆොන්සේකා, තලතා ගුණසේකර,හැරල්ඩ් පීරිස් එම අමතර චරිත සදහා රංගනයෙන් දායක වූ පිරිසය.

සෝමපාල රත්නායක සංගීතයෙන්ද, රොබ් නෙවිස් කලා අධ්‍යක්ෂනයෙන්ද , සුමින්ද වීරසිංහ කැමරා අධ්‍යක්ෂනයෙන්ද ,වසන්ත විට්ටෙච්චි අංග රචනයෙන්ද “අන්තිම රැය ” ට දායක විය .

ගාමිණි ෆොන්සේකාගේ අන් චිත්‍රපට අධ්‍යක්ෂණයන් හා සසදන කල, “අන්තිම රැය ” සාර්ථකත්වයත්, අසාර්ථකත්වයත් අතර දෝලනය වූ චිත්‍රපටයකි. ඒ නිසාය මා කීවේ මෙහි ඇතැම් තැන් උඩින් පල්ලෙන් කෙරුවා යන හැගීම ඇතිවන බව, එලෙසම ගාමිණී තම පූර්ණ සිනමාත්මක දැනීම හා අත්දැකීම් මෙයට මුසු කලාද යන්න සැක සහිත වග බව.තව අතකින් ගාමිණීට මෙහි නිෂ්පාදකගේ මුඛ්‍ය පරමාර්ථ 3 අතර හිර වෙන්නටද සිදු වූ බව මෙන්ම, දේශපලනීක කාර්යන් නිසා චිත්‍රපටයට කාලය වෙන්කිරීමේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඇතැම් තැන් එහි සහය අධ්‍යක්ෂක නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කිරීම වැනි සියලු කාරණා ගණනයට ගත් විට අර මා කී සාර්ථකත්වයත් -අසාර්ථකත්වයත් අතර “අන්තිම රැය ” චිත්‍රපටය දෝලනය වූ බව කීම සාධාරණයැයි හැගේ.

කෙසේ හෝ ගාමිණි ෆොන්සේකාගේ සිනමා ප්‍රකාශනය තුලින් ඔහු විසින් ඉදිරිපත් කල විවිධ ශෛලානුගත සිනමා පට දහය අතරින් , ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය වූ ” පරසතු මල්” චිත්‍රපටය අභිබවන්නට අනෙක් ඒවාට හැකි වුවාදැයි නම් ප්‍රශ්නයක්ම විය.

-ශෝන් මැක්ස්මස් දිසානායක –

http://baiscope.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here