“මට හැමෝගෙන්ම ලොකු ආදරයක් ලැබෙනවා”

0
274
sanka dineth news paper article 2017 baiscope cinema gossip

sanka dineth news paper article 2017 baiscope cinema gossip

සංඛ දැන් ඉන්දියානු ගායකයෙක් එක්ක වැඩ කියලා ආරංචියි..?

ඔව්. ඔය කියන්නේ උදිත් නාරායන්ගේ පුත්‍රයා ආදිත්‍ය නාරායන් ලංකාවට පැමිණීම ගැනනේ. ඇත්තටම ඔහු මූලික වශයෙන්ම ලංකාවට ආවේ ඉදිරියේදී ලංකාව තුළ ඔහුගේ සහභාගිත්වයෙන් පවත්වන ප්‍රසංගයක් පිළිබඳ මාධ්‍ය හමුවකට. ඉතින් ඒ අතරේ ඔහුත් එක්ක එකට එකතු වෙලා වැඩ කිහිපයක්ම කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.

ඒ වැඩ කටයුතු මොනවද කියලත් කියමු..?

මේ වෙද්දි මම ආදිත්‍ය නාරායන් එක්ක එකතුවෙලා සිංහල, හින්දි Mash up එකක් කරලා තියෙනවා. ඉතින් ලංකාවේ ප්‍රථම වතාවට Mash up Video එකක් සිදුවෙලා තියෙන්නේ. ඒ වෙනසත් ළඟදීම දැකගන්න ලැබේවි. ඒ වගේම ආදිත්‍ය විසින් මගේ ගීතයක් සිංහලෙන් ගායනා කරන හැටිත් ඉදිරියේදී දැකගන්න අවස්ථාව උදාවේවි. ප්‍රධාන වශයෙන් මේ වැඩවලට අමතරව තවත් ඉදිරි වැඩකටයුතු කීපයක් ගැනම සැලසුම් ඇති කරගෙන තියෙනවා.

ඊට අමතරව ඔබ සහ ආදිත්‍ය අතරෙ සංගීතය ගැන ඇතිවුණේ මොන වගේ සාකච්ඡාවක්ද..?

අපි ගොඩාක් දේවල් සාකච්ඡා කළා. ලංකාවෙ සහ ඉන්දියාවේ සංගීත ක්ෂේත්‍ර දෙක ඇතුළෙ දකින්න ලැබෙන වෙනස්කම් ගැන එහිදී වැඩි වශයෙන් කතා වුණා. උදාහරණයක් විදියට සංගීතයේ ඩිජිටල් තාක්ෂණික පැත්තේ දියුණුව අද ලෝකය පුරා වගේම ඉන්දියාව තුළත් දකින්න පුළුවන්. එතකොට ඒ දියුණුව ලංකාව තුළ ඇති කරගන්න හැටි වගේ දේවල් අපි කතාබහ කළා. ඒ වගේම ඉන්දියානු කලාකරුවන්ට ලැබෙන සාධාරණත්වය ලංකාවේ කලාකරුවන්ට නොලැබෙන හැටි සහ ඒ සාධාරණත්වය ලංකාවේ කලාකරුවන්ට ලබාදෙන්න මොනවගේ වැඩපිළිවෙළක් අවශ්‍යද වගේ කරුණුත් එතැනදි කතා කෙරුණා. ඉතින් ඉදිරියෙදි කර්තෘභාග නොගෙවීම් වගේ ප්‍රශ්න වෙනුවෙන් උත්තර සොයන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

ආදිත්‍ය ඇත්තටම කොයි වගේ පුද්ගලයෙක්ද..?

ඇත්තටම ආදිත්‍ය කියන්නේ බොහොම නිහතමානී කෙනෙක්. උදිත් නාරායන් වගේ ලෝකෙම ප්‍රසිද්ධ සංගීතඥයෙක්ගේ පුතෙක් විදියට ඔහු කොයිම වෙලාවකවත් ඔළුව උදුම්මවා ගත්ත කෙනෙක් නෙවෙයි. ඉතාම නිහතමානී පුද්ගලයෙක්. හැම තිස්සෙම මිනිස්සුත් එක්ක ඉන්න කැමැති කෙනෙක්. ඒ නිසා ඔහු එක්ක වැඩ කරන එකත් හරිම පහසුවක්.

ඉන්දියාවේ ජනකාන්ත ගායකයොත් එක්ක දැන් වැඩ කටයුතු කරන නිසා සංඛ දිනෙත් දැන් ගණන් උස්සල කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්..?

අනේ නැහැ. මම බොහොම සාමාන්‍ය පවුලකින් ආපු කෙනෙක්. ඉස්සර මම සින්දුවක් කරගන්න කාගෙ හරි ළඟට යනකොට මගෙ පපුවෙ ලේ වතුර වෙවී මම යන්නේ. ඒකට හේතුව එයා කීයක් ඉල්ලයිද..? කියන එක. ඉතින් එහෙම මේ තත්ත්වෙට ආපු කෙනෙක් විදියට මට සල්ලිවලට වඩා කොහොමටත් මිනිසුන්ව වටිනවා. මට හැමෝගෙන්ම ලොකු ආදරයක් ලැබෙනවා. ඉතින් ඒ හැමෝටම මම පෙරළා ආදරය කරනවා. ඒත් එක්ක මම හිතන්නේ නැහැ මං ගැන දන්න කිසිකෙනෙක් එහෙම හිතයි කියලා.

ඉන්දියාව වගේ විශාල රටක අතිශය දක්ෂ ජනප්‍රිය ගායකයන් එක්ක එකට වැඩ කරන එක ලංකාව වගේ පුංචි රටක ගායකයෙක්, සංගීතඥයෙක් වූ ඔබට අභියෝගයක් ලෙස දැනුණද..?

නැහැ. මම නම් හිතන්නේ නැහැ අපි රටක් විදියට පුංචියි කියලා, මේ දේවල් අභියෝගයක් විදියට ගන්න හොඳ නැහැ. අපි ඉන්දියාව එක්ක ක්‍රිකට් මැච් එකක් ගහන්න ගියත් ඒක අනවශ්‍ය අභියෝගයක් විදියට අරන් මානසිකව වැටිලනේ යන්නේ. මම කියන්නේ අපි එහෙම වෙන්න ඕන නැහැ. මම නම් හැම තිස්සෙම අපිත් ඒ මට්ටමේ ඉන්නවා කියන තැනට හිත හදාගෙන තමයි වැඩ කරන්නේ. මොකද එහෙම මානසිකත්වය හදා ගන්න එක හරි වටිනවා. එතකොට තමයි ලංකාව පුංචි රටක් කියන හීනමානය නැති වෙලා ලෝකෙ ඕන මනුස්සයෙක් එක්ක එකට වැඩ කරන්න හොඳ මනසක් ගොඩනැඟෙන්නේ.

සංඛ ඉඳලා හිටලා තමයි තමන්ගේම ගීතයක් එළියට දාන්නේ. හැබැයි ඒ හැම ගීතයක්ම ජනප්‍රිය වෙනවා. මොකක්ද මේකෙ රහස..?

ඔව්. මම මගේ හිතට වැදුණොත් විතරයි ගීතයක් කරන්නේ. අවුරුද්දකට මෙච්චර ගීත ගාණක් හදන්න ඕනෙ වගේ අදහසක් මට නැහැ. කොටින්ම මම අනිත් අයට සින්දුවක් කළත් ඒ දේ මම කරන්නේ ඒක මගේ හිතට දැනුණොත් විතරයි. ඉතින් යූ ටියුබ් එකේ මෙච්චර Views මට තියෙන්න ඕනේ වගේ හීන මට නැහැ. මම මෙච්චර කල් කිසිම රේඩියෝ චැනල් එකකට හෝ රූපවාහිනි නාළිකාවකට සල්ලි දිලා සින්දු දාගෙනත් නැහැ. නමුත් ඔය හැම නාළිකාවකම මගෙ සින්දු කිසි ප්‍රශ්නයක් නැතුව Play වෙනවා. සමහරු මගෙ ගීත මුමුණ මුමුණ ඉන්න හැටි මම දැකලා තියෙනවා. ඉතින් මට හිතෙනවා ඒ අතින් මම හරි වාසනාවන්තයි කියලා.

ඔබ වැනි කිහිපදෙනෙක් රියැලිටියකින් ආපු තරු විදියට සාර්ථකත්වයට පැමිණ තිබුණත් පසුගිය කාලේ බිහිවුණු සමහර තරුවලට මොකද වුණේ කියන එක ප්‍රශ්නාර්ථයක් නේද..?

ඕන දෙයක් විකුණගන්න ඕන වෙලාවට විකුණගෙන අර විකුණපු බඩුවලට මොකද වුණේ කියලා අහනවා නම් ඒක මුලින්ම විකුණපු කෙනාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මාධ්‍ය මේවට මූලිකවම වගකියන්න ඕනෙ කියලයි මම නම් හිතන්නේ. උදාහරණයක් විදියට ළමයෙක්ව ලෝකෙට බිහි කරනවා වගේම ඒ ළමයව ඇති දැඩි කිරීමේ වගකීමත් ඒ මවුපියන්ට තියෙනවනේ. තමන්ගේ ආශාවට ළමයෙක්ව හදලා ඒ ආශාව ඉෂ්ට කරගත්තට පස්සේ අර ළමයව වළපල්ලට වැටෙනකල් බලන් ඉන්නවා නම් මම හිතන්නේ ඒ අය හොඳ මවුපියෝ නෙවෙයි කියලයි.

මීට අවුරුදු දහයකට විතර කලින් සංගීතයට ආධුනිකයෙක් වෙච්ච ඔබ මේ වෙනකොට ඇවිත් තියෙන ගමන ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නේ..?

ඇත්තටම මම නිහතමානීව ආඩම්බර වෙනවා තරුණයෙක් විදියට මම මේ ඇවිත් තියෙන ගමන ගැන. මොකද වෙනත් කෙනෙක්ගේ ගීත කියලා ගී තරු තරගයක් හරහා මම සංගීත ගමන ආධුනිකයෙක් විදියටයි ආරම්භ කරන්නේ. ඉතින් එහෙම තනි පුද්ගලයෙක් විදියට රටේ මිනිසුන්ගේ ආශීර්වාදයෙන් මේ ගමන අරඹපු මම අද තනි පුද්ගලයෙක්ට එහා ගිහින් මුළු රටක් නියෝජනය කරමින් සංගීත කටයුතු කිරීමට හැකි මට්ටමේ පුද්ගලයෙක් බවට පත්වෙලා තියෙනවා. ඒ ගැන නම් තියෙන්නේ ඇත්තටම ලොකු සතුටක්. මොකද මගෙ හත්මුතු පරම්පරාවෙ කවුරුවත් සංගීතයට සම්බන්ධකම් තිබුණු අය නෙවෙයි.

රියැලිටි තරු සංකල්පයෙන් කරළියට එන ඔබ මේ දක්වා මෙතරම් සාර්ථක ගමනක් පැමිණීමේ රහස තියෙන්නේ කොතැනද..?

මෙහෙමයි, මම ඉබාගාතේ යන්නන් වාලේ රියැලිටියකට සහභාගි වුණ කෙනෙක් නෙවෙයි. මම ඒ වෙනුවෙන් ගොඩක් සැලසුම් කරලා කැපකිරීම් රැසකුත් එක්ක සහභාගි වුණ කෙනෙක්. ඒ නිසා ඒ කැපකිරීම් තුළින් ගොඩනැඟුණු අවදානමත් එක්ක මට මුල ඉඳලම වුවමනා වුණා සංගීතයට අදාළ වෘත්තිය පසුබිමක් ගොඩනඟා ගන්න. මම කිසිම හව් හරණක් නැතුව නමුත්, විනයක් ඇතුව මේ ගමන ආවේ.

උපුටා ගැනීමක්…

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here