“පරසතු මලින් -අන්තිම රැයට” 2 (ගාමිණී ෆොන්සේකාගේ සිනමාත්මක ප්‍රකාශන )

0
108
Parasathu Malin Anthima Rayata2 Gamini Fonsekas Film Directions

“පරසතු මලින් -අන්තිම රැයට” 2 ගාමිණී ෆොන්සේකාගේ සිනමාත්මක ප්‍රකාශන (Parasathu Malin Anthima Rayata2 Gamini Fonsekas Film Directions)

ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කල 4 වෙනි සිනමා පටය “බාදුරා මල්” ය. මා දන්නා පරිදි මෙම චිත්‍රපටය ගාමිණී නිර්මාණය කලේ, ආරියරත්න පෙරේරා ගේ උවමනාවටය. දයා රාජපක්ෂ ගේ චිත්‍ර කථාවක් පාදක කරගත් මෙයද, ගාමිණී ෆොන්සේකා, විසින් තම අධ්‍යක්ෂණ ප්‍රතිරූපය පහතට හෙලු අවස්ථාවක් ලෙස සැලකිය හැක. අන් අතකට ගාමිණී දයා රාජපක්ෂගේ චිත්‍ර කථා වලට “ඇඩික්ට්” වී තිබුණි. එය ඔහු පටන් ගත්තේ මේ ” බාදුරා මල්” සමගිනි. පසුව “තවලම” “හුලාවාලි” රගපෑමෙන්ද , “සක්විති සුවය” අධ්‍යක්ෂනයෙන්ද, නිම කරගැනීමට නොහැකි වූ “වෙද හාමුදුරුවෝද ” උපුටා ගත්තේ දයා රාජපක්ෂගේ චිත්‍ර කථා තුලින්ය..

බාදුරා මල් චිත්‍ර කථාවක් වශයෙන් අතීශයෙන්ම ජනප්‍රිය විය. දයා රාජපක්ෂ මැවූ එකී චරිත වල තිබුනේ, හරිම ප්‍රාණවත් බවකි. තෙලි තුඩින් මැවුණු එම චරිත පාඨකයන්ගේ හදවත් තුලට කිදා බැස තිබුණි. ඇතැම් විට ගාමිණීගේ හදවත තුලටද මෙම චරිත කිදා බැස තිබෙන්නට ඇත. ඔහු දයාගේ චිත්‍රකථා වලට “ඇඩික්ට්” වන්නට ඇත්තේ ඒ නිසා විය හැක. නමුත් එය තිරයට එන විට නම් බොහෝ විට දියාරු වන්නේය. “හුලවාලි” හැරෙන්නට, වෙන කිසිදු චිත්‍රකථාවක් සිනමාවට නැගුනු විට සාර්ථක නොවීය.”බාදුරා මල්” වලට සිද්ධ වූයේද එයමය. එය චිත්‍ර කථාවක් ලෙස මිනිසුන්ට දැඩිව දැනුනද ,චිත්‍රපටයක් ලෙස නම් දැනුනෙත් නැත, රැදුනෙත් නැත. මෙය ගාමිණි ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කෙරු චිත්‍රපටයක් ලෙස පිළිගැනීමට නොහැකි වන පරිදීය, එම නිර්මාණය කර තිබුයේ. නමුත් නාමාවලියේ අධ්‍යක්ෂණය යටතේ ගාමිණි ෆොන්සේකා ලෙස සදහන් වන්නේ නම්, එය ඔහුගේ අධ්‍යක්ෂණයක් ලෙස අපට පිලිගන්නටම සිදුවුනි.. ගාමිණි ෆොන්සේකා සමග වීණා ජයකොඩි,ටෝනි රණසිංහ ,සොමි රත්නායක,ජයසේකර අපොන්සු, විමල් කුමාර ද කොස්තා,
ජී .ගුණවර්ධන,ශාන්ති ලේඛා,ධර්මශ්‍රි මුණසිංහ ,බී.එස්.පෙරේරා,අකුෂල්යා සෙල්ලෛයියා ,සමග විජේරත්න වරකාගොඩ ” බාදුරා මල්” හී රංගනයට එකතු විය. එහෙත් ඒ කිසිදු රගපෑමක්,සිත තුල ධාරණය වුයේ නැත. “බාදුරා මල්”ගාමිණී ෆොන්සේකාගේ, තවත් අසාර්ථක අධ්‍යක්ෂණයක් විය.

“බාදුරා මල්” තුලින් දියාරු වී ගිය ගාමිණි ෆොන්සේකාගේ අධ්‍යක්ෂණය, යලි දැවැන්ත වුයේ එම වසරේම(1981) තිරගත කල “සාගරයක් මැද ” චිත්‍රපටය තුලිනි. ගාමිණී ගේම තේමාවක් තුල ධර්මශ්‍රී මුණසිංහ ලියු තිර රචනය මුලින් හැදින්වූයේ “සිතම්බ්බර පට” කියාය. වී.වාමදේවන් කැමරා කරනයටද, ඩී.බී.නිහාල්සිංහ සංස්කරනයටද ,එරල් කෙලි කලා අධ්‍යක්ෂනයටද, ශේෂා පලිහක්කාර, අංග රචනයටද,සෝමපාල රත්නායක සංගීතයටද,
තෝරා ගත් ගාමිණි , එහි තිබු විවිධ වූ චරිත සමුහයට දක්ෂ නළු නිලි පිරිසකට ඉව ඇල්ලුවේය.

සාධාරණව තම වෘත්තියේ නිරත වූ දොස්තර මොලදන්ඩ, ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු බෙහෙත් ගැන්මට ආ පසු ඔහුට විශේෂත්වයක් නොකර ඔහුවද පෝලිමේ තැබීමේ සිදුවීමකට, පෙරලා එම පොලිස් නිලධාරියා රෝහලේ සෙනවිරත්න හෙදිය සමග එක්වී දොස්තර ගෙන් පළිගත්තේ ඔහුව අල්ලස් ගැනීමකට සම්බන්ධ කර සිරගත කිරීමෙනි. මේ අතර දොස්තර ගේ රැඩිකල් පුත්‍රයා වූ, රණභා මොලදන්ඩ ශිෂ්‍ය ව්‍යාපාරයකට සම්බන්ධ වී අවසානයේදී පොලිස් වෙඩිපහරකින් මිය යන්නට විය. තම සැමියාව බේරා ගැන්මට, දොස්තර ගේ බිරිදට ඇමති පස්සේ යාමටද සිදුවිය. එහෙත් බලය ඇති තැන ඔවුන් බලය තමනට වාසි අන්දමට හසුරන, ජඩ දේශපාලනයද, බලය නැතිවූ පසු තමන් වැටෙන අන්තීම පහත් තත්වයද, ඇති නැති බලය එකිනෙකා හරහා සංකලනය වන අයුරු මනා ලෙස තිර රචනයට හසුකරගත් ධර්මශ්‍රි මුණසිංහ, “සීතාම්බර පට”ලෙස තිර රචනය කර එය නිර්මාණය සදහා ගාමිණි ෆොන්සේකාට භාර කලේය. ගාමිණි, ආනන්ද අබේනායක ගේ බර පැනින් “සීතාම්බර පට” “සාගරයක් මැද” ට හරවා සිනමා පටය නිර්මාණය කරන්නට විය.

මෙහි ප්‍රබලම චරිත යුගල වූ දොස්තර සෙනරත් බණ්ඩාර මොලදන්ඩ හා ඇමති ෆෙඩ්රික් රාමණායක ගාමිණී ෆොන්සේකා විසින් රගපෑමට තීරණය කලේ, එයට තමා තරම් සුදුසු කෙනෙක් තමාට සිතා ගැන්මට නොහැකි නිසා වන්නට ඇත. ඇතැම් විට ටෝනි රණසිංහ වැනි නළුවෙකුට දොස්තර මොලදන්ඩගේ චරිතය භාර දී ඇමති ෆෙඩ්රික් රාමනායකගේ චරිතය පමණක් ගාමිණි විසින් රගපෑවා නම් මෙයටත් වඩා සාර්ථක වන්නට පිළිවන් යනු මගේ සිත කීවද., ගාමිණි විසින් එම චරිත යුගල නම් අතී විශිෂ්ඨ ලෙස රගපෑ තිබුණි.

වීණා ජයකොඩි, දීපා මොලදන්ඩ විය. කමල් අද්දරආරච්චි ,රණභා මොලදන්ඩ වූ අතර සෙසු චරිත ටෝනි රණසිංහ, අනුෂ්කා මැදිවක,අයිරාංගනී සේරසිංහ, ඉයන් වික්‍රමනායක, සෝමසිරි දෙහිපිටිය, අමරසිරි කලංසූරිය, මර්වින් ජයතුංග,ශාන්ති ලේඛා, කරුණාරත්න හගවත්ත,ෂෙල්ටන් කැකුනාවෙල ,ධර්මශ්‍රි මුණසිංහ,ශ්‍රියන්ත මෙන්ඩිස්,සෝමසිරි දෙහිපිටිය,සොමි රත්නායක, මහේන්ද්‍ර පෙරේරා , ඇතුළු නලුනිලි පිරිසක් ගාමිණී විසින් ඒ ඒ චරිත සදහා යොදවා තිබුණි..

“සාගරයක් මැද” ගාමිණී ෆොන්සේකා ද්විත්ව චරිතයක් රගපාමින්, එලෙසම අධ්‍යක්ෂණය කරමින් කල නිර්මානයක්ය. එක් අතකට එය දැවැන්ත නිර්මාණයකි. නමුත් ගාමිණි එම අභියෝගය සාර්ථකව ජය ගෙන තිබුණි. දේශපාලනය අඩු වැඩි නැතිව රිංගා තිබු එහි කතාව තුල තිබුයේ,විශාල වූ ආකෘතියකි. ඇමති ෆෙඩ්රික් රාමනායකගේ චරිතය වෙස්ගැන්වීමේදී එවකට සිටි ප්‍රබල ඇමතිකෙනෙකුගේ ස්වරූපයට සමාන බවක් අංග රචනය තුලදී සිදුවී තිබුණි.එහෙයින් එම ඇමති තුමෝ චිත්‍රපටය නොපෙන්වීමට වාරණ නියෝගයක් ගැනීමේදී ගාමිණීට සිදුවූ විශාල වූ වාසිය චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට කුතුහලයක් ඇතිවීමය. චිත්‍රපටය ශාලාවලට නිකුත් කරන විට, අමුතු ප්‍රසිද්ධයක් දීමට අවශ්‍ය වූයේ නැත. මුළු ලංකාවම “සාගරයක් මැද” ගැන දැනගෙන සිටියෝය.

“සාගරයක් මැද ” විශිෂ්ඨ සිනමා පටයක් විය. එලෙසම එහි එකිනෙකාට පරයන රගපෑමක් තිබුණි. ගාමිණි ෆොන්සේකා තම ද්විත්ව චරිතයෙන් මුළු සිනමා පටයම තම අනසකට ගත්තද, එහි හිඩැස් අතරින් රණභා මොලදන්ඩගේ චරිතය රගපෑ තිරයට හදුන්වා දුන් කමල් අද්දරආරච්චිව මතුවන්නට වීම වැලැක්විය නොහැකි විය. දොස්තර මොලදන්ඩගේ චරිතය ගාමිණී ගේ සුපුරුදු වීර චරිතයෙන් මෑත් වුනිද ඔහු සිරගෙදර සිටින විට , මර්වින් ජයතුංග සමග ඇතිවන ආරවුල තුලින් අර “චන්ඩියා” “සූර චෞරයා” චරිත ඉස්මතු වන්නට විය.එහෙත් මොලදන්ඩගේත්, රාමනයක්ගේත් චරිත යුගලේ ඇති පරස්පර විරෝධතාවය ගාමිණී විසින් ඉදිරිපත් කලේ වෙන් වෙන් දෙදෙනෙකු වශයෙනි. අපට හැගුනෙත් දෙදෙනෙක් ලෙසමය. අයිරාංගනී සේරසිංහ ඉතාමත් සුළු චරිතයක් වූවද ප්‍රසස්ථ රගපෑමක නියැලී තිබුණි. සියලු චරිත ගාමිණි විසින් මනාව හසුරවා තිබුණේ ඔහුගේ හසලවූ දැනුම උපයෝගී කරගෙනය.

අධ්‍යක්ෂණයේදී හැම රූප රාමුවක් ගැනම ගාමිණි මනා අවබෝධයකින් පසුවී තිබු හෙයින් සාගරයක් මැද හී,විචාරකයෙකුට දොසක් සොයා ගැනීම අවම වී තිබුණි. 1982 සරසවි සම්මාන උළෙලේදී ” සාගරයක් මැද ” හොදම චිත්‍රපටය ඇතුළු සම්මාන ගණනාවකට හිමිකම් කීය. හොදම නිෂ්පාදනය ආනන්ද අබේනයකටද, හොදම අධ්‍යක්ෂණය ගාමිණි ෆොන්සේකාටද, හොදම සහය නිළිය අයිරාංගනී සේරසිංහට ද , හොදම තිර රචනය ධර්මශ්‍රී මුණසිංහටද, හොදම සංස්කරණය ඩී.බී.නිහාල්සිංහට ද, හොදම කලා අධ්‍යක්ෂණය එරල් කෙලිටද ,හොදම වේශනිරූපණය ශේෂා පලිහක්කාරටද , ලැබුණු අතර, වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙසද “සාගරයක් මැදට” සරසවි සම්මානය හිමි විය. එම වසරේ ජනප්‍රිය නළුවා වූයේද ගාමිණි ෆොන්සේකාය. එහෙත් එම වසරේ ජනාධිපති සම්මාන උළෙලේ නම් ” සාගරයක් මැද ” වෙනුවෙන් කිසිදු සම්මානයක් ලැබුවේ නැත. අයිරාංගනී සේරසිංහට පමණක් කුසලතා සම්මානයක් ලැබුණි.

-ශෝන් මැක්ස්මස් දිසානායක-

http://baiscope.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here