“පරසතු මලින් -අන්තිම රැයට”  (ගාමිණී ෆොන්සේකාගේ සිනමාත්මක ප්‍රකාශන )

0
65
Gamini Fonsekas Directings Parasathumalin Anthima rayata
“පරසතු මලින් අන්තිම රැයට “ගාමිණී ෆොන්සේකාගේ සිනමාත්මක ප්‍රකාශන (Gamini Fonsekas Directings Parasathumalin Anthima rayata)
ලාංකේය සිනමාව තුල ගාමිණි ෆොන්සේකා භූමිකාව යනු කිසිදිනෙක විනාශ කර දැමිය නොහැකි යෝධයෙකු බදුය.  විනාශ කිරීම කෙසේ වෙතත් එම යෝධයා ලගට ලංවීමට ද කිසිවකට නොහැක. ඔහු සිනමාව තුල හැම අස්සක් මුල්ලක් නෑරම තම දක්ෂතාවයන් විහිදා දැක්වුයේ, හරියට භූවල්ලෙක් තම අඩු දික්කරගෙන සිටියාක්  මෙනි. නළුවෙකු ලෙස ලාංකීය සිනමා රජදහන තුල තම ආධිපත්‍ය පිහිටුවා ගත් ගාමිණි තම සිනමාත්මක ප්‍රකාශනය මුදා හලේ  1966 තිරගත කල “පරසතු මල්” තුලිනි.

“පරසතු මල්” යනු සිනමාත්මක කාව්‍යකි . මතුපිට නොපෙනුණු වෙනස්ම ගාමිණි ෆොන්සේකා කෙනෙක් ඇතුලත ජීවත් වන බව මිනිසුන් දැනගත්තේ පරසතු මල් තුලිනි. ඒ ආත්මීය ගාමිණි, තුල බොහෝ දේ සැගවී තිබුණි. ඒවා එලියට ඒමට නොහැකි ව තෙරපෙමින්, බුබුළු දමමින් තිබුනද , ” පරසතු මල්” තුලින්  ඒ හැමදේම පිටාරය ගැලීය. ඔහු තුල තිබු කාව්‍යම සිතුවිලි, සෞන්දරාත්මක විචිත්ත්‍රත්වය, ප්‍රේමනීයත්වය, ඔහුගේ නහරවැල් තුලින් ගලා ගිය තාරුණ්‍යයේ විසේකාර රාගය, සැලෝලයිඩ් පටිය පුරා වට ගැබ්කෙරුනේ “පරසතු මල්” මගිනි. “ස්ත්‍රිය- සුරාව- සංගීතය” ඔහු තෝරාගත් තේමාවය. එලෙසම ඔහු “විනාශයද” එයට එකතු කර ගති. නමුත් ඒ හැමදෙයකට වඩා  “පරසතුමල්’ තුලින් කියවුනේ ව්‍යාජ හා අව්‍යාජ ප්‍රේමයයි.  ව්‍යාජ පෙම්වතුන්ම, අව්‍යාජ්‍ය ප්‍රේමය බලාපොරොතු වේ. අව්‍යාජ්‍ය පෙම්වතුන් ව්‍යාජය කිරීමට උත්සහා ගනී. බොනී මහත්මයා හා සිරිසේන අතරද, සිරිසේන හා කමලා අතරද, බොනී  හා නෝනේ අතරද, කමලා සහ බොනී  අතරද,එලෙසම සිරිසේන හා නෝනේ අතරද දෝලනය වන්නේ මේ ව්‍යජ්‍ය අව්‍යාජ්‍ය  ප්‍රේමයයි. එකල තාරුණ්‍යයේ පසුවූ ගාමිණි ෆොන්සේකා, තම සිනමා භාෂාව තුල ගැබ්වී තිබු හැඩ තල,ගැඹුර,චමත්කාරය,ගූඨ බව මෙන්ම ,ශෝකය,අපේක්ෂභංගත්වය, හැසිරූවේ ප්‍රවීන නිර්මාණ කරුවෙකු තුල තිබු ඥානය හා ජවය තමාට ආරුඪ කර ගත්තක් මෙනි.

ඔහු “පරසතු මල්” සම්බන්ධ  කර ගත් පිරිස ඔහුටත් වඩා දැවැන්තයන් විය.  .පී.කේ.ඩී. සෙනවිරත්න, සුමිත්ත අමරසිංහ, ඩබ්ලියු ඩී අමරදේව  පිළිවලින් කථාව දෙබස්, කැමරාව හා සංගීතය ද එමෙන්ම, ජෝ අබේවික්‍රම,ටෝනි රණසිංහ,පුන්‍යා හීන්දෙනිය,අනුලා කරුණාතිලක, එකල ලංකේය සිනමාව තුල දික්විජය කරන්නට ලැස්ති වී සිටි ශිල්පීන්ය.හරවත් තේමාවක් ප්‍රාණවත් කරනට ගාමිණි ෆොන්සේකා හැම අංශයක්ම ජවසම්පන්න මිනිසුන්ගෙන් පිරවුයේ නිර්මාණය සාර්ථක කර ගැන්මටය. අවශේෂ දෙයින් සතුට සෙවූ මිනිසෙකුට,සෙනෙහස තුලය අරුත්බර,සංතෘෂ්ටිය රැදී ඇත්තේ බව අවබෝධ වන විට ඔහු බොහෝ පමා වැඩි බව  කීමට ගාමිණි, බොනී ,කමලා,සිරිසේන,නෝනේ, හවුල් කරගෙන අවසානයේ ලාංකේය සිනමාව තුල විශිෂ්ට සිනමා කෘතියක් නිර්මාණය කළේය. එහි අඩුවක් සොයා ගැන්මට නොහැකිවන සේ ගාමිණි තම සිනමා ඥානය තම කුළුදුල් කෘතියට දායක කර තිබුණි. විශේෂයෙන්ම කැමරා කෝණ ගැන ගාමිණී ගේ තිබු අවධානය විශ්මිතය .ඔහු සුමිත්ත අමරසිංහ සතු සියලු දෙයින්ම ප්‍රයෝජන ගත බවකි පෙනුණේ.. “පරසතු මල්” හී කැමරා මෙහෙයුම එතරම්ම අද්විතීයය. එලෙසම සහභාගී වූ හැම නළු නිළියෙක්වම  ප්‍රතිභාපූර්ණ කිරීමට ගාමිණීට හැකි විය. “පරසතු මල්” ලාංකේය සිනමාව දෙදරුම් කෑ  සිනමා පටයකි. එය තවම දෙදරුම් කයි.

ඉන්පසු ගාමිණී නැවත සිනමා පටයකට අත  තියන්නට සිතුවේ අවුරුදු 14 කට පසුවය. එහෙත් මට නම් සිතුනේ ඔහුකල “පරසතුමල්” නිර්මාණය  ඔහුගේ මුළු ජීවිත කාලයටම සෑහේ කියාය. ඔහු යලිත් නිර්මාණයක් නොකරන්නේ නම් හොද යැයි සිතුනේ, “පරසතුමල්” තුල හොද සිනමා ප්‍රේක්ෂකයන්  බලාපොරොත්තු වූවාටත් වඩා දේ තිබු හෙයිනි.

ගාමිණි ෆොන්සේකාට නැවත “පරසතු මල්” ශෛලයෙන් චිත්‍රපටයක් කිරීමට උවමනාවක්  තිබුනේ නැත.  එලෙසම  අවුරුදු 14ක් වන තෙක්ම රගපානවා හැරෙන්නට නිර්මාණයක් කිරීමේ අවශ්‍යතාවය පැන නැගුනේ නැත. . නමුත් අවුරුදු 14කට පසු  ආරියරත්න පෙරේරාගේ ඉල්ලීමට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහු කැමති විය. ” පරසතු මල්”වලින් පසු  ගතවූ අවුරුදු 14 තුල ලෝකය වෙනස්වී තිබුණි. එයට අනුචිතව ලංකාවේ සමාජ ක්‍රමය,ජීවිත පැවැත්මද වෙනස්වී තිබුණි. ලංකාව තුල ජඩ දේශපාලනය හිස ඔසවා සාධාරණය යටපත් කොට අසාධාරණය ,දුෂණය , රජ කරන්නට විය.  මෙම තේමාවන් ඉව අල්ලමින්  සිටි ගාමිණීට හර්බට් රන්ජිත් පීරිස් ගෙන් හොද තිරනාටකයක් ලැබුණි. එය “පරසතු මල්” මෙන් සෞන්දරාත්මක වටිනා කමින් යුත් කතාශාරයක්  නොවීය.. ගාමිණි ට අවශ්‍ය වුයේද එයමය.එහෙයින් ඔහු එය තෝරා ගති. දේශපාලන බල  පුළුවන්කාර කම් ඇති මිනිසෙක් සහ ඔහුගේ හෙංචයියන් පිරිසක් විසින් ගමේ අහිංසක යුක්ති සහගත මිනිසෙකු වූ සිරිපාලට අරියාදු කිරීමේ වස් ඔහුගේ එකම නැගෙණිය ව සමුහ දුෂණයට ලක් කරන අතර, එයට නීතියේ පිළිසරණක් බලා පොරොත්තුවෙන් සිටි  සිරිපාලට අවසානයේදී නීතියද හරස්වී,එම සහචරයන් ව නිදොස් කොට නිදහස් කෙරු විට නීතිය අතට ගත් සිරිපාල ඒ සියල්ලම මරා දමා තම පලිය ගන්නා අන්දමේ කතාශාරයක් “හිම කුමාරි” නමින්  රූ ගත කරන්නට පටන් ගති. “වසන්ති චතුරාණි” ව  ප්‍රධාන චරිතයට තෝරාගෙන තිබුනද එම චරිතය තමාගේ ප්‍රතිරූපයට කැළලක් වන බවක් පවසා ඇය එයින් අයින්  වූ පසු එයට ෆරීනා ලායි ව යොදවා රූගත කෙරුණි. ගාමිණී ෆොන්සේකා මෙහි සිරිපාලගේ ප්‍රධාන චරිතය රගපෑවද ඔහු සොමි රත්නායකව එහි ප්‍රධාන චරිතයක් වූ “බේබි මහත්තයාට තෝරා ගත් අතර වැඩි රූප රාමු ප්‍රමාණයක් ඔහුට ලබා දුනි. ඇත්තටම ගාමිණී ෆොන්සේකා  සොමි රත්නායකගේ ප්‍රතිරූපය නැංවීමට  චිත්‍රපටයේ වැඩි ඉඩකඩක් ඔහුට දී   චරිතයේ ප්‍රබලත්වය ඉස්මතු කළේය. ” හිම කුමාරි” පසුව “උතුමාණෙනි” විය.  මෙවන් කථා ඒ වන විට ඉංග්‍රීසි, හින්දි,දමිල, චිත්‍රපට වල බහුලව තිබුනද, ගාමිණි ෆොන්සේකා,ගේ ඉදිරිපත් කිරීම තුල යම් විශේෂත්වයක් තිබුණි. මෙහි ගාමිණීගේ ඉහත තිබු සෞන්දරාත්මක කැමරාකරණය තිබුනේ නැත. මෙහි වැඩි තැන දී තිබුනේ කතාවට හා සිදුවීම් වලටය. ද්වේශය තුලින් ත්‍රාසය හා භීතිය එමෙන්ම බලය තුලින් මතුවූ ප්‍රචණ්ඩත්වය , ගාමිණි මනාව ඉදිරිපත්කෙරීය . චිත්‍රපටයේ චරිත තුල තිබුනේ පුදුමාකාර ජවයකි.  ගාමිණි ෆොන්සේකා, සිරිපාල ලෙසත්  ෆරීනා ලායි,සිරිපාල ගේ නැගෙණිය වූ පුෂ්පා ලෙසත්  සොමි රත්නායක, බේබි මහත්තයා ලෙසත් ශාන්ති ලේඛා සිරිපාල හා පුෂ්පාගේ මව සෝනියා දිසා  සිරිපාලගේ පෙම්වතිය ලෙසත්  , කරුණාරත්න හගවත්ත,පුෂ්පාගේ පෙම්වතා ලෙසත්   රිචඩ් වීරක්කොඩි,සේනක පෙරේරා,සිසිර කුමාරතුංග ,බේබි මහත්තයාගේ සහචරයන් ලෙසත්  ප්‍රධාන චරිත රගපෑ  අතර ටෝනි රණසිංහ,ධර්මශ්‍රී මුණසිංහ ,දයා අල්විස්, සම්පත් ශ්‍රී නන්දලෝචන,එඩී ජයමාන්න ,රෙක්ස් කොඩිප්පිලි ,ජයසේකර අපොන්සු,රත්නාවලි කැකුලුවෙල  සෙසු චරිත රගපෑවෝය.
වී .වාමදේවන් කැමරා අධ්‍යක්ෂනයෙන්ද,සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂනයෙන්ද,බර්නාඩ් රෙජිනෝල්ඩ්  සංස්කරණයෙන්ද , තිලක් වේහැල්ල, සහය අධ්‍යක්ෂණයෙන්,කලා අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදන කළමණාකාරත්වයෙන්ද , “උතුමාණෙනි”සාර්ථක කර ගැන්මට දායක විය. “පරසතු මල්” හි තිබු විශිෂ්ඨ වූ  සිනමාත්මක දැක්ම ,”උතුමාණෙනි” තුල නොතිබුණි. එහි තිබුනේ, උද්වේගාකාරී ත්‍රාසයකි.  “පරසතු මල්” හී තිබු කාව්‍යමය ඔහුගේ 2වැනි  චිත්‍රපටයටත් එබ්බවුවහොත්  ගාමිණීට විවධ චිත්‍රපට කිරීමේ නොහැකියාව  ඔප්පු වන්නට තිබුණි.විජය ධර්මශ්‍රී ද ගාමිණි ෆොන්සේකාව අනුගමනය කෙරු අධ්‍යක්ෂක වරයෙකි. “දුහුළු මලක්”වැනි මැද පාන්තීක පවුලක ගැටුමක් පිළිබද ගීතයක් බදු  සුන්දර සිනමා පටයක් මුලින්ම කර,එය අතී සාර්ථක වූ පසු ඔහු ඔහුගේ දෙවෙනි චිත්‍රපටය නිර්මාණය කළේ  ත්‍රාසජනක තේමාවක් රැගත් “චුඩාමානික්‍ය ” චිත්‍රපටයයි. “උතුමාණනි ”  ප්‍රේක්ෂක, විචාරක,මාධ්‍ය දෝත දිගු කර එක්වරම පිළිගැනීමට කැමති වුයේ නැත. ඒ ඔවුන් අවුරුදු 14ක් ගියද  ඔහුගේ “පරසතු මල්” චින්තනයෙන් මිදෙන්නට අකමැති වූ හෙයිනි. අන් අතකට ගාමිණි -ෆරීනා ලායි -සෝනියා දිසා, කී විට එක්වරම සිතට දැනුනේ “ඔහොම හොදද” වැනි වාණිජ්‍යම චිත්‍රපටයක් ලෙසය.  ගාමිණි-පුන්‍යා- ටෝනි- අනුලා- ජෝ  කි විට තිබු ගැම්ම ගාමිණි-ෆරීනා ලායි -සෝනියා කී විට එන්නේ නැත. එහෙත් උතුමාණෙනි තුල ත්‍රාසය-උද්වේගය-හා කුතුහලය මුසුවූ ඒ ඛේදවාචකය  මිනිසුන්ට දැනුනු නමුදු රැදුනේ නැත.  එය දැනුනේ ශාලාව තුල පමණි.  එහෙත් එය “පරසතු මල්” මෙන් මිනිසුන්ගේ සිත්වල පැල පදියම් වූයේ නැත. තව අතකට, මෙය විශාල ඛේදවාචකයකි. සමුහ දුෂණයකි. තැන නොතැන,බලා, මිනි මරණ සිනමා පටයකි.. එහෙයින් පවුල් පිටින් නැරඹීමට ඒමේ ප්‍රවනතාවය නම් හොදටම අඩුවිය. නමුත්  ගාමිණී මෙම චිත්‍රපටය වේග රිද්මයක රදවා තිබුණි. එහෙත් ඒ වේග රිද්මය,විනෝදාත්මක සිනමාව තුල තිබු රිද්මය නොව, භීතිය,ත්‍රාසය තුලින් මතු කල යුතු උද්වේගයයයි.    සොමි රත්නායක රංගනය තුල ගාමිණි ෆොන්සේකාවද අභිබවා ගොස් තිබුණි. ඇතැම් විට ගාමිණීට අවශ්‍යය වී තිබුනෙත් එයම විය හැක. උතුමාණෙනි තුලින් ඔහුට ගෙන ආ යුතුවුයේ ජඩ දේශපාලනයේ බලය අතටගෙන තමනට අවශ්‍ය අන්දමට දුබලයාව අතකොළුවන් බවට පත් කරගෙන,එම බලය  පහත් ආශාවන් ඉටු කරගැන්මට මෙන්ම තමනට අවශ්‍ය අයගෙන් පලිගැනීමට යොදවා ගන්නා අසික්කිත ක්‍රියාවලියන් හා එම බලයම යොදවා ගනිමින් නීතියේ දෙවගනගේ රෙද්ද අස්සෙන් ඉතාම පහසුවෙන් රිංගා ගොස් දුබලයා,දුබලයාම කර පාගා දැමීමත් ,එහෙත් ඒ දුබලයා යම් හෙයකින් නැගිට ගතහොත් සිදුවන විශාල ඛේදවාචකය ය. එහෙයින් වැඩි ඉඩ කඩක් දියයුතුව තිබුනේ බලය අනිසි ලෙස අතට ගත් තැනැත්තාටය. සිරිපාලට වඩා බේබි මහත්තයා බලවත් වුයේ ඒ නිසාය. ඉතින් අනිවාරයෙන්ම බේබි මහත්තයාගේ චරිතයට විශාල පරාශයක්  ලැබිය යුතුවේ.  සොමි රත්නායක ට ලැබුණු එම අවස්ථාව තුලින් ඔහු නිසි ප්‍රයෝජන ගති. ප්‍රසස්ථ මට්ටමේ රගපෑමක් සොමි ගෙන් පිලිඹීඹු විය. ගාමිණී ෆොන්සේකා මදක් පසුබෑ තිබුණි. ඒ මා ඉහත කී ලෙස සොමි රත්නායකගේ චරිතය ඉස්මතු කිරීමටය.  ගාමිණීගේ නැගෙණිය වූ පුෂ්පාගේ චරිතය අභියෝගාත්මක විය. චිත්‍රපටයේ කිව යුතු හැමදෙයම ගැබ්වී තිබුනේ එම චරිතය තුලය. අවශේෂ චරිත කරමින් සිටි ෆරීනා ලායි මෙවන්  ප්‍රභල චරිතයකට පන පෙවීම, පහසු දෙයක් නොව. එහෙත් ඇය එම චරිතය තුලට කිදා බැස තිබුණි. අන් අතකට ගාමිණි ෆොන්සේකා චරිත හසුරවීමේදී පෙන්වන අද්විතීය දක්ෂතාවයන් මත  ෆරීනා ලායි ලාගේ රංගනයන් ඉබේටම හෝ ප්‍රසස්ථ මට්ටමකට එනු ඇත. සහචරයන් වූ රිචර්ඩ් වීරක්කොඩි ,සේනක පෙරේරා ,සහ සිසිර කුමාරතුංග, තම චරිත තුල මැනෙවින් ජීවත් වී තිබුණි. විශේෂයෙන්ම පුෂ්පාව සමුහ දූෂණය කරන අවස්ථාවේදී ගාමිණි ඔවුන්ව හසුරවා තිබුනේ බලන ප්‍රේක්ෂකයන්ට ඔවුන් ගැන ක්‍රෝධයක්, වෛරයක් ඇතිවෙන ලෙසටය.  එම උද්වේගිකර අවස්ථාව ඔවුන්ගේ දක්ෂ රගපෑම් තුලින් ගාමිණී ෆොන්සේකාට අවශ්‍ය කරන ප්‍රකාශනය ඒ අයුරින්ම සිදු විය. උතුමාණෙනි සාර්ථක සිනමා පටයකි . ගාමිණි ෆොන්සේකාගේ වෙනත් දෘෂ්ටිකෝනයක්   වුවද, එය තුල ඔහුගේ වෘත්තීය  දැනුම  පුරා විහිදී තිබුණි.

ධර්මශ්‍රි මුණසිංහ විසින් සති අන්ත පුවත් පතකට ලියු නව කතාවක් පාදක කරගනිමින් ගාමිණී ෆොන්සේකා එම අවුරුද්දෙම තවත් චිත්‍රපටයකට අත ගැසීය . ඒ  “මයුරිගේ කතාවක්”ය. . වැඩි සිදුවීම් නැති,ඉතාමත් සරල කතාවක් , වූ මෙය ඔහු  විසින් චිත්‍රපටයකට නැංවූයේ ඇයිද කියා අදත් මා සිත පෙලඹන ප්‍රශ්නයකි. කුඩා ළමුන් තිදෙනෙකු සමග තනිවූ මයුරිගේ, සැමියා පාල, හදිසි අනතුරකින් මිය ගොස් තිබුණි. රූමත් මයුරිට තිබු විශාල ප්‍රශ්නය තම දරු තිදෙනා ලොකු මහත් කිරීමත්, තම රැකියාව රැක  ගැනීමත් ,එලෙසම තනිවූ රූමත් ගැහැණියක් පසු පස එන සල්ලලයන්ගෙන් බේරීමත් ය.  මයුරිට මර්වින්ව මුණගැහීමත් ,මර්වින් මයුරිගේ දරු තිදෙනා සමග  කුළුපග වීමත් ,ඉන් පසු මර්වීන් මයුරිව විවාහ කරගන්නට යාමත් මයුරි  විසින් එයට අකමැති වීමත් අවසානයේ මයුරිගේ දරු තිදෙනා විසින් එයට නිසි පිළිතුර ලබා දීමත්” මයුරිගේ කතාවක් ” හී තේමාව විය.  ආරියරත්න පෙරේරා  නිෂ්පාදනයෙන්ද , වී වාමදේවන් කැමරා අධ්‍යක්ෂනයෙන්ද , ලාල් දිසානායක  හා බර්නාඩ් රෙජිනෝල්ඩ් සංස්කරනයෙන්ද, ලයනල් අල්ගම සංගීතයෙන්ද, සුජාතා අත්තනායක හා ඩබ්ලියු ඩී අමරදේවගේ ගායනයෙන්ද , , ශිරාණි නුගේරා, සොමී රත්නායක, ශාන්ති ලේඛා, විමල් කුමාර් ද කොස්තා, ධර්ම ශ්‍රී මුණසිංහ, අයිරාංගනී සේරසිංහ, සෝනියා දිසානායක, මර්වින් ජයතුංග, සේනක පෙරේරා, නෙල්සන් පීරිස්, ජී. ගුණවර්ධන, දමිත් ෆොන්සේකා, රුක්සලා අල්මේදා, ඉනක්‍ෂි ඇලෙක්ස්මෙම සිනමා ව්‍යාපෘතිය ට  දායක විය.  මයුරි ලෙස වීණා ජයකොඩි , මර්වින් ලෙස ගාමිණි ෆොන්සේකාද  පාල ලෙස ටෝනි රණසිංහ ද  ප්‍රධාන චරිත වලට පන පෙවූ අතර . “මයුරිගේ කතාව හී කථා තේමාව,ගීත රචනය හා අධ්‍යක්ෂණය  ගාමිණි ෆොන්සේකාගේ විය. මෙය 1980 දෙසැම්බර් මාසයේ තිරගතවිය.  “පරසතු මල්” හා ‘උතුමාණනි ” ට වඩා වෙනස් මගක් ගිය “මයුරිගේ කථාව ” තුලින් ගාමිණි ෆොන්සේකා පවුල් සංස්ථානුතික කථා ගෙත්තමක් ඉදිරිපත් කලේ එයින් විල්ෆ්‍රඩ් සිල්වල,යසපාලිත නානායක්කරලා, ජෝ දෙව් අනන්දලාගේ පවුල් සිනමාව අබිබවා යෑමට විය හැකිය. කනවැන්දුම් ගැහැනියක් හා අයගේ දරුවන් සමගින් සංවේදීත්වය මවා පා, ගැහැනුන් හඩවා චිත්‍රපට සාර්ථක කරගැන්මට ගාමිණි ෆොන්සේකා “මයුරිගේ කතාවක්” තුලින් උත්සහා ගත්  බවකි මටහැගුනේ.  මර්වින් ගේ චරිතය රගපෑ ගාමිණි ෆොන්සේකා පවා උවමනාවටත් වඩා සංවේදී බවක් පෙන්වීමත් තරමක අවර බවක් දැනුනි.
“මයුරිගේ කතාව” මැදිවියට එලබෙන චරිත කීපයක ආත්මීය ගැටුමක් හෙයින් එය ප්‍රේක්ෂකයා එතරම් දයාබරව වැලද ගත්තේ නැත. “මයුරිගේ කථාව ” ගාමිණි ෆොන්සේකාගේ සිනමා ප්‍රකාශනයන් හී අසාර්ථක සිනමා පටයක් විය. එයට හේතු තිබුණි.  ගාමිණි -වීණා යුවළ ගාමිණීට උවමනා නිසා ඇතිකර ගත් අතර  එය ගාමිණි- මාලනී  මෙන් තදින්ම ප්‍රේක්ෂකයාට කා වැදුනේ නැත.  අන් අතකට මෙහි ආදරණීය ජවනිකා වල තරමක් වයස් ගත බවක් දැනුනි. මුලින්ම ටෝනි – වීණා  අතර ද පසුව ගාමිණි -වීණා  අතරද එය හොද හැටි දැනුනි . ටෝනි හා ගාමිණී හැටේ දශකයේ සිහින කුමරුන් විය . ඉන්පසු අවුරුදු 20ක් ගතවූ පසුව නැවතත් ඔවුන් ප්‍රේමවන්තයන් වන්නට යාම තුල  තිබුයේ එකල ගමේ මුදලාලිගේ කඩේ විශාල බෝතලයට අත දමා ගත් ලැතර ,විස්කිරිඤ්ඤා කෑමෙන් පසු දැනෙන රසයක් මෙනි.  රගපෑම් තුල වුවද හදවතට කීරි ගැහෙන සුළු රගපෑමක් තිබුනේ නැත. එහෙත්  මයුරිගේ කුඩා කොලු පැංචා ලෙස රගපෑ දමිත් ෆොන්සේකා නම්  හරි “ඇට්ටර” රගපෑමක  යෙදුනි. මයුරිගේ කතාව ටිකක් හරි පන ගැසුනේ මේ දමිත් ෆොන්සේකාගේ රගපෑම්  නිසාය. නැත්නම් මෙය මූ .අරුක්ගොඩගේ චිත්‍රපට ගොන්නට වැටෙන්නට  ඉඩ තිබුණි.

1වන කොටස අවසන්ය

ශෝන් මැක්ස්මස් දිසානායක

http://baiscope.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here