නැවත නොදකින විශිෂ්ඨ සලෙරු 5 -නංගිව පෙන්වා අක්කව දෙන “ඇතුල්වීම තහනම්”

0
117
Athulveema Thahanam Film never can seen again

නැවත නොදකින විශිෂ්ඨ සලෙරු 5

නංගිව පෙන්වා අක්කව දෙන “ඇතුල්වීම තහනම්” (Athulveema Thahanam Film never can seen again)

නංගිව පෙන්නා අක්කව දීම තේමා කරගත් අනෙගි චිත්‍රපටයක් 1966 මැයි 1 වන දින, “ඇතුල්වීම තහනම්” නමින් තිර ගත විය.

එක් ධනවත් පවුලක තරුණියන් දෙදෙනෙක් සිටියහ.. එයින් දෙවැනි තරුණිය ඉතාමත් රූමත් වූවද, වැඩිමහල් තරුණිය කාලවර්ණ අව පැහැයෙන් යුත්, තරමක් අසුන්දර එහෙත් ඉතාමත් ගුණ යහපත් තරුණියක් වූවාය. එම පවුලට තිබූ විශාලතම ප්‍රශ්නය මෙම අවපැහැපත් තරුණියව විවාහ කර දීමට සුදුසු තරුණයෙක් සෙවීමය. මැයව බලන්න එන හැම තරුණයාම ඇගෙ අවපැහැයට අකමැති විය. එහෙයින් ඇයව විවාහ කර දීම ඉමහත් උකතෝටික වූ ප්‍රශ්නයක්ම විය. මැයව විවාහ කර දීමට නම් කුමක් හෝ උප්පරවැට්ටියක් යෙදවිම හැරෙන්නට වෙන විකල්පයක් නැති බව, ඇයගේ දෙමාපියන්ට වැටහුනි.

එදිනද එම තරුණියව බැලීමට තරුණයෙක් පැමිනෙනු ඇත. මෙවර ඔවුන් එම තරුණයාට, අර අතීශයින්ම රූමත් වූ දෙවැනි තරුණියව පෙන්වන්නට, සැලසුම් කලෝය. මණමාලියව බැලීමට තරුණයා පැමිණීය. ඔහුට පෙන්වූයේ අර රූමත් තරුණිය නොහොත් ඇගේ නංගිවය.
තරුණයා එක පයින් විවාහයට කැමති විය. විවාහයට දින නියම කෙරුණී.

දෙවැනි තරුණියට ස්ථීර පෙම්වතෙක් සිටියහ. ඔවුන් දෙදෙනා මුහුදු වෙරල වල, මල් උයන්වල ගීත ගයමින් ප්‍රේම කලෝය.

“තරුණ නෙත් ජය මංගලේ,-පරම සුවදේ පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ -මිහිර ගෙන දෙයි මී විතේ

සුලග මුමුනයි, ලපලු ලෙල දෙයි, මුකුලු පල දෙයි ආදරේ
රල පතර විල්, ජලය කලඹයි, මෙයද අප පෙම් සාගරේ”…….

ඔවුන් දෙදෙනාගේ ආදරය එසේ සුන්දරව, ගීතවත්ව ගලා යන විට, ඇගෙ අවපැහැගැන්වූ සොහොයුරිය නිවසේ උඩු මහලේ තනිවී සෝ සුසුම් හෙලුවාය.

මංගල්ලය දිනය උදාවිය තරුණයා පෝරුව මතය. මණාලිය පැමිණියේ මුහුණ වෙහෙල් කඩකින් වසාගෙනය. ඒ එකල චාරිත්‍රයන්ය. පොරුවෙ සිරිත් විරිත් සියල්ල සිදුවිය. දෙදෙනා නිත්‍යානුකූලව විවාහ විය. ඉන්පසුය මණමාලයාට, මනමාලියගේ මුහුණ වසා සිටි වෙහෙල් කඩ ඉවත් කිරීමට අවසර ලැබෙනුයේ. ඔහු පෝරුවේ සිටම මනමාලියගේ වෙහෙල් කඩ මෑත් කලේය. ඔහුට දෙලෝ රත් වූවේ එවිටය. එ් වේල් කඩින් මුහුණු වසා සිටියේ අවපැහැගැන්වූ වැඩිමල් සොහොයුරියයි. නංගිව පෙන්නා අක්කව දුන් බව දැන් ඔහුට වැටහී හමාරය. ඔහුව විශාල උප්පරවැට්ටියකට අසුවූ බවත්, දැන් නිත්‍යානුකූලව විවාහ වී සිටින නිසා කිසිවක් කිරීමට නොහැකි බවත් ඔහුට වැටහුනි. දැන් මුලු මගුල් ගෙදරම විශාල ජංජාලයකි. එහෙත් මනමාල පාර්ශවය , මනමාලි පාර්ශවයේ උප්පරවැටිටියට අසුවී හමාරය. දැන් ඔහුට සිදුවන්නෙ අකමැත්තෙන් හෝ ඇය සමග පවුල් කෑමටය.

තම සොහොයුරියට අඩම් තේට්ටම් නොකෙරුවද, තම අලුත් මස්සිනා සොහොයුරියව පිලිකුල් කරන බව වැටහුනු ඇගේ රූමත් නැගෙනිය ,තම පෙම්වතා සමග ඔවුන් දෙදෙනාව එක් කිරීමට සැලැස්මක් යෙදීය.

ඒ අතර, මේ රූමත් නැගෙනිය හා ඇයගේ පෙම්වතාගෙ ප්‍රේම විජිතයද අපූරුවට ගොඩ නැගෙමින් තිබුනි. විටෙක ඔවුන් ඔලොක්කුවට තරහා වෙයි. එවිට ඔහු ඇයව අවුස්සන්නෙ ගීතයක් ගයමිනි
“ලැසි ගමනින් යන හනිකේ-ඉක්මන් කොට නොවැ මැණිකේ
විසි කල දේ යලි අහුල ගනී, හෙට මේ වගේ නැත ලෝකේ”

ඒ ප්‍රේම විනෝද සාගරය තුල නැවතත් ඔවුන් එක්වේ
“ජීවිතේ වසන්තේ-උදාවුනාය මල් පිපී
ආදරේ වසන්තේ-විනෝද වන්නේ මේ අපි”

ඔවුන් එසේ විනෝද වන විට, ඇයගේ සොහොයුරිය තම සැමියගේ අඩු සැලකිලි මැද දුක් කදුලු වගුරවමින් සිටියාය. එහෙත් සොහොයුරියත් ඇගේ පෙම්වතාත් ඇයට කියා දී තිබුනේ ⁣සැමියා මොන දේ කීවත්, මොන දේ කලත් ඔහුට ආදරයෙන් කරුණාවෙන් සලකන්නට කියාය. ඔහුට සුවිනීත බිරිදක් වන්නට කියාය. ඇය එලෙස තම සැමියාට දෙවිකෙුට මෙන් සැලකීය.

දින සති මාසගනන් පහුවන විට සැමියාට මේ අවපැහැ බිරිද තමාට සලකන ආකාරය ගැන පැහැදුනි. මෙතරම් සුවිනීත බිරිදක් ලැබීම තමාගෙ පිනක් ලෙස සලකා, ඇය තමාට කරන ආදරයට ප්‍රතිආදරය දැක්වීමට සිතාගති.

නංගී ගෙ හා ඇයගේ පෙම්වතාගේ සැලැස්ම සාර්ථක විය. අවසානයේ ඔවුන් දෙදෙනාද සතුටින් විවාහ ජීවිතයට ඇතුලත් විය. ච්ත්‍රපටයේ අවසාන දර්ශනය වූයේ අලුත විවාහ වූ යුවල විවාහ ඇදුම් පිටින්ම කාමරයකට ගොස් දොර වසා ගැනීමය. වැසු දොරේ පිට පැත්තෙ අපට පෙනෙනුයේ බෝඩ් ලෑල්ලක් සවිකර ඇති බවය. එහී ලියා තිබුනේ “ඇතුල්වීම තහනම්” කියාය.

අවපැහැගැන්වු තරුණියගේ චරිත⁣යට රිටා රත්නායක පණපෙවූවාය. රීටා රත්නායක යනු සුරූපි නිලියකි. එහෙත් ඇය ගේ රූපය කලු පැහැ ගන්වා අව ලස්සන කර තිබුනේ චරිතයට අවශ්‍යය අන්දමටය. උප්පරවැට්ටියකට අසුවී ඇයව විවාහ කරගැන්මට සිදුවූ තරුණයා ලෙස රගපෑවේ අසෝකා පොන්නම්පෙරුමය. රිටා රත්නායකගේ රුමත් සොහොයුරියගේ චරිතය රගපෑවේ ලංකාවේ රූමත්ම නිලිය ලෙස අදත් පිලිගැනෙන සන්ධ්‍යා කුමාරිය. ඇය ගේ කෙලිලොල් පෙම්වතාගේ චරිතය රගපෑවේ එවකට තාරුණ්‍යයේ අගිස්සේ සිටි කඩවසම් ගායක යව්වනයා එච්.ආර්.ජෝතිපාලය.
සෙසු චරිත ජෝ අබේවික්‍රම, පියදාස ගුණසේකර, ලිලියන් එදිරිසිංහ, ඩේවිඩ් ධර්මකීර්ති, බැප්ටිස්ට් ප්‍රනාන්දු,බී.එස්, පෙරේරා, ජෝශප් සෙනවිරත්න, එම් වී බාලන් සහ ශ්‍යමා ආනන්ද විසින් රගපෑහ

“ඇතුල්වීම තහනම්” අතීශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එහී ගීත කෙතරම් මිනිසුන්ගේ හදවත් තුලට කා වැදුනාදැයි කිවහොත් ඒ ගීත අව්රුදු 50ක් ගියද අදටත් එකසේම ජනප්‍රියය. ඒවා අනුකාරක ගීත වූවද, එම අනුකාරකය පි.එල්.ඒ.සෝමපාල විසින් අතීශයින්ම සුමිහිරි ලෙස, එච් ආර් ජෝතිපාල, සුජාතා අත්තනායක, ලතා වල්පොල, මොහිදින් බෙග් ලවා ගායනා කරවා ඇත.

“තරුණ නෙත් ජය මංගලේ”,( එච්. ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක) ,”ලැසි ගමනින් යන හනිකේ” (එච්.ආර්. ජෝතිපාල) , ” දුර දිග නොබලම යනවා ” (සුජාතා අත්තනායක) “සිනාසී සිනාසී” (මොහිදින් බෙග් හා ලතා වල්පොල), “ගින්නෙන් හද ඇවිලේ ” (ලතා වල්පොල) “ජිවිතේ වසන්තේ උදා වුනාය මල් පිපී” (එච්.ආර් .ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක) යන ගීතයන්ය එහී ඇතුලත් විය.

එම් ඒ ගෆුර් ගෙ කැමරාකරණය, හා පි.එල්. ඒ. සෝමපාලගේ සංගීතයෙන් ඔප නැංවූ මෙය නිශ්පාදනය කලේ සිතුමිණ ෆිල්ම්ස් වෙනුවෙන්, එච් විලියම්ස්ය. “නානුම් ඔරු පෙන්” නැමති දමිල චිත්‍රපටය අනුකරනය කරමින් ,එවකට බොක්ස් ඔෆිස් වාර්ථා තැබූ අතීශය ජනාදරයට පත් “ඇතුල්වීම තහනම්” චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ එම්.එස්.ආනන්දය.

“නානුම් ඔරු පෙන්” (“මමත් ගැහැනියක්”) 1963 වර්ෂයේ තමිල්නාඩුවේ තිරගත වූවෙකි. මෙය ඒ.වී.එම් නිෂ්පාදකයන් වෙනුවෙන් ඒ.සි.තිරිලොක්චන්දර් විසින් අධ්‍යක්ෂණය කෙරු අතර එස්.එස්.රාජේන්ද්‍රන්, සි.ආර්.විජය කුමාරි, එස්.වී.රංගා රාඕ , සහ එම්.ආර්.රාධා රගපෑහ.”නානුම් ඔරු පෙන්” ඉන්දියාවේ 11 වෙනි ජාතික සිනමා උළෙලේ හොදම චිත්‍රපටයද, ඒවසරේම ෆිල්ම් ෆෙයාර් දමිල සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. එලෙසම එම වසරේ සිනමා ප්‍රේක්ෂක සම්මාන උළෙලේ, හොදම චිත්‍රපටය ලෙසද සම්මානනීය විය. එහෙත් “ඇතුල්වීම තහනම්” නම් කිසිදු සම්මානයක් ලැබුවේ නම් නැත.

-ශෝන් මැක්ස්මස් දිසානායක-

 

Home

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here