දර්ශන් ධර්මරාජ්ව මුණ ගැසුණි

0
33
Dharshan Dharmaraj enegetic actor

දර්ශන් ධර්මරාජ් ව මුණ ගැසුණි  ( Dharshan Dharmaraj enegetic actor)

දර්ශන්ට නළුකම හිතට ගැහැව්වේ පුංචි කාලෙමද?

පුංචිම කාලේ ඉඳලා මට ඒ පිස්සුව හැදුණා. මට දැනුම් තේරුම් ඇති කාලේ මතකයි මම කණ්නාඩිය ඉස්සරහින් හෙළවෙන්නේ නෑ. විවිධ චරිත රඟපානවා. ඒ කාලේ අපේ ගෙදර නැවතිලා හිටියා පෝස්ට් මාස්ටර් කෙනෙක්. එයා මට විහිළු කරනවා. ඔයා නම් කවදා හරි ලංකාවේ හොඳම නළුවෙක් වෙනවා. ආයේ දෙකක් නැහැ කියලා. එයා එදා එහෙම කිව්වේ බයිට් එකට වුණාට මට ඒක ලොකු දෙයක්. මම ඒකත් හිතට අරන් නළුවා පාට් එකෙන්ම හිටියා කියලා මට මතකයි.

ඔබගේ පවුලේ කලාව සම්බන්ධ පසුබිමක් තිබුණද?

මගේ තාත්තාගේ ඇෙඟ් ඒක තිබුණා. ඔහු දක්ෂ චිත‍්‍රකාරයා. ඒ කාලේ මඟුල් පෝරු හදන්න ඔහු අතිදක්ෂයෙක්. මමත් පුංචි කාලේ ඉඳලාම ඒවට උදව් වුණා. මටත් චිත‍්‍ර අඳින්න පුළුවන් වුණේ තාත්තාගේ ආභාසයෙන්. මමත් හොඳ චිත‍්‍ර ශිල්පියෙක්. මඟුල් මඩු හදනවාට අමතරව රක්වාන කෝවිලේ සංස්කෘතික වැඩමුළු පැවැත්තුවේ අපේ තාත්තා. අපි දුප්පත් පවුලක වුණත් කලාව පැත්තෙන් පොහොසත්කමක් තිබුණා. සිවාජි ගනේෂන්, කමලාසන් ගැන පිස්සුවක් මට ඒ කාලේම තිබුණා.

පාසල් ගියේ කොහේද? ඒ කාලේ කලාවට සම්බන්ධ වුණේ නැද්ද?

රක්වාන සාන්ත ජෝන් දෙමළ විද්‍යාලයට ගියේ. ඉස්කෝලේ යන කාලේ මම වේදිකා නාට්‍ය දෙකක් කළා. සෑහෙන හිට් වුණා. මමත් ජනප‍්‍රිය චරිතයක් වුණා ඒ කාලේ.

රක්වාන ඉඳලා කොළඹ එන්නේ ඇයි? නළුවෙක් වෙන්නමද?

නළුවෙක් වෙන්න ආශාව තිබුණත් ඊට වඩා ජීවත් වීමේ ආශාව තිබුණා. මගේ තාත්තා නැති වුණාම අපි හිටපු අඩියෙනුත් පහළට වැටුණා. පවුලේ වැඩිමලා විදියට මට සෑහෙන බරක් පැටවුණා. මේ සියලූ ප‍්‍රශ්න හින්දා මම තීරණය කළා කොළඹ ගිහින් රස්සාවක් කරනවා කියලා. අන්න ඒ අරමුණෙන් තමයි කොළඹ ආවේ.

කොළඹ ඇවිත්?

කොළඹ ඇවිත් මුලින්ම කළේ රස්සාවක් හොයපු එක. එතැනදී මට අපේ පුංචි බාප්පාගේ ස්වර්ණාභරණ වෙළෙඳසැලේ රැුකියාවක් ලැබුණා. මාසික පඩිය රුපියල් තුන්දාස් පන්සියයයි. ටික කලක් ඉඳලා අයින් වුණා. ඊළඟට මම පිටකොටුවේ පෞද්ගලික ආයතනයක වැඩ කළා. ඒකෙන් මට ලැබුණේත් ඒ වගේම පඩියක්. කොළඹ ජීවිතය හරි අමාරු වුණා. ආයේ ගමට ගියා.

එතකොට ආයේ කොළඹ එන්නේ.

ගෙදර පසුබිම එන්න එන්නම දරුණු වුණා. නංගිට අපස්මාරය හැදිලා බෙහෙත් කළා. ඒ බෙහෙත්වලට විතරක් මාසෙට රුපියල් තුන්දහස් පන්සීයක් හොයන්න වුණා. මම ආයේ කොළඹ ආවා. ඒක සෑහෙන දුෂ්කර ගමනක් වුණා.

ඇයි ඒ?

ඒ කාලේ රටේ හරි කලබල. සිංහල හරියට බැරි මම වගේ දෙමළ තරුණයෙකුගේ ඉරණම සෑහෙන අවදානම්. මේ කාලේ රටේ හැමතැනම බෝම්බ පිපිරෙනවා. විශේෂයෙන් කොළඹ. ඒ කාලේ රක්වානේ ඉඳලා කොළඹට එනකොට මුරපොළවල් දොළහක් හමුවෙනවා. මේ හැම එකකින්ම බරපතළ සෝදිසියකට මාව අහුවෙනවා. ඇයි මම දෙමළනේ. ඒ අය වැරදි නැහැ. ඒ රටේ එදා හැටි. කොහොම හරි මේ චෙක් අස්සේ කොළඹට එනකොට මගේ පර්ස් එක නැති වුණා. දුක් වෙන්න තරම් සල්ලියක් ඒකේ නෑ. ඒත් එදා කොළඹ ජීවත්වෙන්න අත්‍යවශ්‍යම දේ මට නැති වුණා. ඒ මගේ හැඳුනුම්පත. මම කොච්චර අසරණ වුණාද කියනවා නම් මට කරකියාගන්න දෙයක් නැති වුණා. පොලිසි ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මොත් මට ගැලවිල්ලක් නැති වෙයි කියලා මට හිතුණා. ඒ කාලේ තත්ත්වය නරකයිනේ. රස්සාවක් ඉල්ලගෙන යන්නත් බෑ. හැඳුනුම්පත නැතිව රස්සා දෙන්නෙත් නෑ. මම කොළඹ තනි වුණා. අසරණ වුණා. ඒ්ත් මට ලොකු ශක්තියක් තිබුණා ජීවත් වෙන්න. නංගිට බෙහෙත් ගන්න සල්ලි හොයන්න. හැඳුුනුම්පත නැතිව කරන්න පුළුවන් රස්සාවක් කොළඹ තිබුණා. කාටත් යටත් නැහැ. හරි ස්වාධීනයි වැඬේ. මම ඒක කළා. නාට්ටාමි කෙනෙක් කියන්නේ බර කරගහන මිනිහෙක් නෙමෙයි. ජීවිතය කරගහන මිනිහෙක් කියලායි මම අද හිතන්නේ. එදා ඒ අත්දැකීමත් එක්ක මම ජීවිතයත් අල්ලගත්තා. එතැන තමයි මගේ රංගනයේ පාසල. මිනිස් සිරුරක සැබෑ සුවඳ මම අත්වින්දා. කලබලකාරී ජීවිත එහා මෙහා වෙන හැටි, ඒ ජීවිත අපට වඩා බරක් හිස උඩ තියාගෙන යන හැටි මම දැක්කා. කොච්චර බර එසෙව්වත් හවසට අපි තරම් කවුරුත් සැහැල්ලූ වෙන්නේ නෑ කියලා මම අත්වින්දා. මේ ජීවිතය පිළිබඳ පාඩම් මට අදටත් වැදගත්. ජීවිතයට පවතින්න පුළුවන් උපරිම ශක්තිය මට ඒ හරහා ලැබුණා. මම අතීතයට ආදරය කරන ඒ ගැන ආඩම්බර වෙන මිනිහෙක්. මොකද අද මම කියන්නේ ඒ සියල්ලේ එකතුවක්.

ඔබට නළුවා හම්බවෙන්නේ කොහොමද?

ජීවිතය ඔහොම එක එක රටාවට ගලාගෙන යනකොට මම ටීවී එකේ දකිනවා. නාට්‍යයකට ආධුනිකයන් බඳවා ගන්න දැන්වීමක්. ඒකට මමත් යනවා. සිඞ්නි චන්ද්‍රසේකර ඒ නාට්‍යය කරන්නේ. නාට්‍යයේ නම ඒ නයින්. මාත් එක්ක පරීක්ෂණයට තව එකසිය හතක් ඇවිත් හිටියා. හැමෝවම ඉන්ටර්විව් කළා. කොහොම හරි මාව තේරුණා. එදා මාව තෝරගන්න හේතුව පස්සෙ කාලෙකදි සිඞ්නි මහත්තයාම කිව්වා. ආපු හැම කෙනාගෙන්ම ඇහැව්වාලූ අඩි දහයක තාප්පයක් උඩින් පනින්න පුළුවන්ද කියලා. ඒ අය මෙට්ට තියෙනවාද අරවා මේවා ගොඩාක් ඇහැව්වාලූ. මගෙන් ඇහුවාම මම කිව්වලූ පෙන්නන්න මම පනින්නම් කියලා. ඒ පිම්ම නිසා තමයි මාව නළුවෙක් වුණේ. ඊට පස්සේ මට හොඳම අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරන්න පුළුවන් වුණා. හඳගම, ප‍්‍රසන්න, බූඩි සහ තව ගොඩක් අය යටතේ මට වැඩ හම්බ වුණා. ඒ චරිත හරහා මම හොඳ නළුවෙක් වුණා.

ඔබ වරක් හොඳම නළුවා බවටත් පත්වෙනවා.

නළුවෙකුට ලබන්න පුළුවන් ඉහළම වටිනාකම ඒක. ඒක මට ඉහළම ජයග‍්‍රහණයක්. ඒ ඇරෙන්න එහෙම වුණා කියලා මට මහ ලොකුවට චරිත හම්බ වුණේ නැහැ.

එල්ටීටීඊ චරිතවලටම කොටු වුණා නේද? ඒ ගැන අදහසක් ඔබට ඇති.

ඒකට හේතුව දෙමළ වීම කියලායි මම හිතන්නේ. සමහරු මගේ මුහුණ හරහා එල්ටීටීඊකාරයෙක් දකින්න ඇති. හැම දෙමළ මිනිහෙකුගේ මුහුණ හරහාම සිිංහල මිනිස්සු එල්ටීටීකාරයෙකුගේ මුහුණ මවා ගන්නවා. ඒ නිසා මටත් ඒ චරිත ලැබෙන්න ඇති. මම නළුවෙක්. ඊට එහා දෙයක් මගේ නැහැ. මගේ නළුවෙක් වෙන ආශාව මම දෙමළ නොවෙන්න ඉටු නොවෙන්නත් තිබුණා කියලා මට හිතෙනවා. මොකද මට ලැබුණ චරිත අනුව මම දෙමළ වීම නිසා වාසි වුණා. මම නළුවෙක් වුණා.

ඔබ කැමරාව තුළ බොහෝ විට එල්ටීටීකාරයෙක් වුණා. මම කැමතියි සැබෑ ජීවිතය තුළ ඔබ ඔවුන් දකින විදිහ දැනගන්න.

ඔවුනුත් මනුස්සයෝ. එතැන තමයි මම ඉන්නේ. හමුදාවේ කෙනෙක් මිය ගියාම තියෙන පාඩුව, දුක ඒ හැමදේම ඒ අය මැරුණාමත් ඒ අයගේ ළඟ අයට තියෙනවා. ඒ මරණය අඩුයි කියන්නත්, තව මරණයක් ඉහළයි කියන්නත් බෑ. මරණය මරණයම තමයි. ඒ වගේම තමයි ජීවිතත්. මේ හැමෝම එකම මිනිස්සු.

දෙමළ මිනිසුන් තුළ ඔබට වටිනාකමක් තියෙනවාද?

ඔව්ෟ යාපනය තුළ අද මට ඉහළ වටිනාකමක් තියෙනවා. ඒ වගේම යාපනයේ හෙට දවසේ ඉහළ සිනමාවක් පෝෂණය වෙයි කියන ලකුණුත් දැන් පේනවා. මටත් ඕනෑ මේ රටේ හොඳ දෙමළ සිනමාවක් හදන්න. ඒ ශක්තිය යාපනයේ මිනිස්සු උදා කරයි කියන බලාපොරොත්තුව මට තියෙනවා. මොකද උතුරේ මිනිස්සු ඒ තරම් ධෛර්යය සම්පන්න මිනිස්සු. ඔවුන් නැගිටිනවා ස්ථිරයි. මට මතකයි යුද්ධ කාලේ මම ෂූට් එකකට ගියා. එතකොට මම දැක්කා තාත්තා කෙනෙක් ස්ටෑන්ඞ් එක ගහගෙන ෆුට් බයිසිකලය පාගනවා. ඒකෙන් ඩයිනමෝව වැඩ කරනවා. ඒ වැඩ කරනකොට ලයිට් එක පත්තු වෙනවා. ඒ ලයිට් එළියෙන් ළමයෙක් පාඩම් කරනවා. මේ ඇහැට දැකපුවා. ඒ මිනිස්සු හරිම ශක්ති සම්පන්න මිනිස්සු කියලා මට හිතුණේ එදා.

දැන් හොඳ වටිනාකමක් තියෙනවාද නළුවෙක් විදිහට.

එහෙම නෑ. චරිතේ අනුව ඒක මට ගැළපෙනවා නම්, යමක් කරන්න පුළුවන් නම් මම කීය වුණත් ඒ චරිතය කරනවා. අනෙක් අතට යාළුවෝ නිසා අඩුවට කරනවා. තව ඒ කාලේ මට උදව් කළ අය නිසා අඩුවට කරනවා. අන්තිමට බැලූවාම අඩුවටම තමයි රඟපාලා තියෙන්නේ.

පුංචි කාලේ ඉඳලාම නළුවෙක් වෙන්න පිස්සුවෙන් හිටි ඔබට නළුවෙක් වුණාට පස්සේ මොකද හිතුණේ.

ටිකක් ඇන්දා. පාරේ යනකොට ටිකක් උඩින් වගේ ගියාත් මතකයි. කට්ටිය අත්සන් ඉල්ලනකොට මාව පෙන්නලා අර අරයා කියනකොට ටිකක් දරාගන්න බැරි වුණා මතකයි. දැන් ඒ ලෙඬේ හොඳටම හොඳයි. කොටින්ම මම දැන් රඟපාන්නේ නැති තරම්. කැමරාව ඉස්සරහා මම මගේ ඩියුටිය කරනවා. ඉන් මෙහා දර්ශන් තමයි. මේක තමයි මගේ ලයිෆ් එක.

නම දර්ශන් ධර්මරාජ් විතරද?

නෑ, මගේ නම ලිංගනාදන් ධර්මරාජ්. එහෙම තමයි මම රඟපාන්න ආවේත්. ඒත් සිඞ්නි චන්ද්‍රසේකර තමයි දර්ශන් ධර්මරාජ් කියලා නම දැම්මේ. පස්සේ ඒ නමින්ම ඉදිරියට ආවා. අද මම දර්ශන් ධර්මරාජ්.

ඔබ නළුවෙක් වුණාම ගෙදරින් කැමති වුණාද?

නෑ. ඒ අය කිව්වේ නළුවෙක් කියන්නේ ඒ තරම් හොඳ චරිතයක් නෙවෙයි. චරිතය සවුත්තු වෙනවා නළුවෙක් වුණාම කියලා. ඒක මම ගණන් ගත්තේ නෑ.

ඔබත් එහෙම හිතනවාද?

අපෝ නෑ. චරිතය සවුත්තු වෙනවා නම් ඒක නළුවා වුණත්, නැතත් වෙනවානේ.

කාන්තා ආකර්ෂණයත් දැන් ඇති ඕනෑ තරම්.

තියෙනවා. වැඩිම ඉන්නේ මිතුරියන් තමයි. ඒ හැම කෙනෙක්ම හායි බායි කියලා ඈතින් තියාගෙන ඉන්නවා. මොකද මට මිතුරියක් ගෙදර ඉන්න හින්දා. ඒ මගේ බිරිඳ.

ඇය ක්ෂේත‍්‍රයේ කෙනෙක්ද?

නැහැ. එයාත් මගේ ගමේ. එයා ගුරුවරියක්. දවසක් මට අපේ පාසලේ චිත‍්‍ර වගයක් අඳින්න ලැබුණා. මම ගියාම අලූත් ගුරුවරියන් පස්දෙනෙකුත් හිටියා. ඒ අය එක්ක තමයි මම කෑම කෑවේ. ඒ අතර ඇයත් හිටියා. එයා ලස්සනයි. සිනමාව ගැනත් දන්නවා. මට හිතුණා, ඇයි මම මෙයාව මගේ බිරිඳ කර නොගන්නේ කියලා. ඒත් කවදාවත් අපි අයිලව්යූ එක කිව්වේ නෑ. කොහොම හරි දවසක් එයා මට කොලයක් දීලා කිව්වා එයා ගැන දැනෙන දේ ලියලා දෙන්න කියලා. එයාත් ඒකම කළා. මට මුකුත් ලියන්න බැරි වුණා. හිස් කොළේ අරගෙන ගියේ. එයාත් එහෙමමයි ආවේ. මගෙන් ඇහැව්වා ඇයි මුකුත් නොලිව්වේ කියලා. මම කිව්වා ලියන්න දෙයක් නෑ ඒ තරමට ඔයාව දැනිලා ඉවරයි කියලා. එයත් එකඟ වුණා. ආදරය පටන් ගත්තා. ඒත් එයාගේ ගෙදර අය විරුද්ධ වුණා. ඒත් මගේ හැටි හිතුවොත් ඒක කරනවාමයි. ඉතින් විවාහයෙන් ඉවර වුණා.

ඒ කියන්නේ චණ්ඩිකමත් තියෙනවා කියලානේ.

ඔව්. එහෙම චණ්ඩිකමක් තියෙනවා. ෆීල්ඞ් එකේ ඒ සම්බන්ධයෙන් කැත ඉතිහාසයකුත් තියෙනවා. ඒක දැන් ටිකක් අඩුයි. මොකද අපිට චණ්ඩිකම් පෙන්වන්නත් කට්ටිය නැහැනේ. ප‍්‍රශ්නයක් වෙලා ළඟට ගියාම බදාගන්නවානේ. චණ්ඩිකම් දාන්නත් පුළුවන්. බැරිකමක් නැහැ. ඒත් ඒකට අවශ්‍ය අය නැහැනේ.

කවුද කැමති නළුවා?

කමලාසන්. ඔහු තමයි මගේ වීරයා.

දැන් නළුවෙක් නිසා ජීවිතය නඩත්තු කරන්නත් අමාරු ඇති..

ටිකක් අමාරුයි. ඒත් මගේ එක දෙයක් තියෙනවා. ඒ තමයි මගේ සේවිංස් නෑ, අද හම්බ කළා. අද කාලා බීලා හොඳට ඉන්නවා. මම විශ්වාස කරන්නේ අද විතරයි. හෙටක් තියෙයිද කවුද දන්නේ. කාටද කියන්න පුළුවන්. මම අද විතරක් ජීවත් වෙන මිනිහෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here