ජයලත් මනෝරත්න – රංගන විෂය පිළිබඳ දැනුමින් සවිශක්තිමත් යුග පුරුෂයෙකි.

0
23
Jayalath Manorathna the legand

ජයලත් මනෝරත්න – රංගන විෂය පිළිබඳ දැනුමින් සවිශක්තිමත් යුග පුරුෂයෙකි. (Jayalath Manorathna the legand)

පවුලේ බඩපිස්සා ලෙස මෙලොව එළිය දුටු ‘කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න’ හෙවත් අප සියල්ලන් ම ඉතා හොඳින් දන්නා ජයලත් මනෝරත්න මහතා කලා ලෝකයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ අත්දැකීම්වලින් බහුල එමෙන් ම ප්‍රවීණ රංගධරයන් අතුරින් රංගන විෂය පිළිබඳ දැනුමින් සවිශක්තිමත් යුග පුරුෂයෙකි.

ඔහු පවසන අයුරින් ඔහුගේ කුඩා කාලය ඉතා සතුටින්, අම්මා තාත්තාගේ පමණක් නොව අයියලා අක්කලාගේ අසීමිත ආදරයට වගේ ම අවධානට ලක් ව ගෙවුනා වූ සුන්දර ළමාවියකි. ඉතා අලංකාර කඳුවැටි අතරේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් සුන්දර ග්‍රාමයේ උපත ලද මෙතුමා වචනයේ පරිසමාප්තයෙන්ම ගැමියෙකි. ඔවුන්ගේ ජීවනෝපාය වූයේ ගොවිතැන යි.

සොකරි, කිඳුරු නාට්‍ය ගමේ අතිප්‍රචලිත වූ අතර එකළ සමවයසේ මිතුරන් සමඟ මෙතුමා එම නාට්‍ය රසවිඳ ඇත. ඉන්පසු ඒවා අනුගමනය කිරීමෙන් නිවසේ නාට්‍ය රඟදැක්වීම ඔහුගේ විනෝදාංශය විය. එය ඔහුගේ නාට්‍ය කලාවේ ආරම්භය යි.

ඔහුගේ මුල් ම පාසල දෙහිපේ ප්‍රාථමික විද්‍යාලය යි.ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුව පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත් වූ එතුමා පාසල් නේවාසිකාගාරයේ ලැගුම් ගන්නා ලදී. පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ උගත් සමය ජීවිතේ ලද වටිනාම අත්දැකීම් හා හෙන්රි ජයසේන මහතාගේ හමුවීම සිදුවිය.

අ.පො.ස සාමාන්‍ය පෙළ තෙක් මළල ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගිය මෙතුමා එක් වසරක දී වසරේ ජ්‍යෙෂ්ඨ, විශිෂ්ටම ක්‍රීඩකයා බවට ද පත්විය.

මුල් ම වතාවට පාසල් වේදිකාවේ නාට්‍යයකට එතුමා සම්බන්ධ වන්නේ පාසලේ නාට්‍ය ගුරුතුමා වුණ සුනිල් ශ්‍රියානන්දයන්ගේ ‘අස්ප ගුඩුන්’ නම් පාසල් වේදිකා නාට්‍යයෙනි. පළාත් මට්ටමින් පැවැත්වුණු නාට්‍යය තරගාවලියේ දී අස්ප ගුඩුන් නාට්‍යයට මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානයට පත්විය. අවසන් තරගය පැවැතියේ කොළඹ ලුම්බිනියේ ය.

පාසල් අධ්‍යාපනය ඉතා හොඳින් අවසන් කළ මෙතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එය එතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත්විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මුණගැසීම සිදුවන්නේ මෙහිදී වන අතර එවකට පේරාදෙණියේ රඟදැක් වූ සෑම නාට්‍ය නිර්මාණයක් ම නැරඹූ මෙතුමා ඒවා තම නිර්මාණ ශක්තිය වැඩි කර ගැනීමට භාවිත කළේය.

විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ දී සරච්චන්ද්‍රයන්ගේ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට නවක නළුනිළියන් සොයන බව දැනගන්නට ලැබුණු පසු, එම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණු එතුමා ගායන හැකියාව නිසා මුල් ම වටයෙන් චරිතයකට තෝරාගනු ලැබිණි. එතැන් පටන් ඔහුගේ වෙස්සන්තර, මහාසාර, කදාවළලූ, එලොව ගිහින් මෙලොව ආවා වගේ නාට්‍යය කිහිපයක රඟපැමට මෙතුමාට අවස්ථාව ලැබුණි.

විශ්ව විද්‍යාල ජීවිතය හමාර කළ මෙතුමා හඟුරන්කෙත පිරිවෙනක ගුරුවරයෙක් ලෙස කටයුතු කළ අතර කෙටි කලකින් රජයේ ලිපිකරු පත්වීමක් ලැබ නුවරඑළියේ සේවයට වාර්තා කරන ලදී. එහි සේවය කරන අතරතුර නිශ්ශංක දිද්දෙණිය මහතා හෙවත් විශ්ව විද්‍යාලයේ ඔහුගේ හොඳ ම මිතුරා නැවතත් මුණ ගැසුණු අතර ඔහු ඒ වනවිට සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ දක්වමින් බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලද චරිතයක් බවට පත්වී සිටියේ ය.

මනෝරත්න මහතාගේ රංගන හැකියාවන් ගැන හොඳින් දන්නා නිශ්ශංක දිද්දෙණිය මහතා රැකියාවේ ස්ථාන මාරුවීමක් ගෙන කොළඹට’විත් හෙන්රි ජයසේනයන්ගේ චිත්‍රසේන කලායතනයට සම්බන්ධ වන ලෙස ඔහුට ආරාධනා කරන ලදී. ඒ අනුව ඔහු රැකියාවේ ස්ථාන මාරුවීමක් ලබාගත්තේ ය. ඉන්පසු ඔහු හෙන්රි ජයසේනයන්ගේ සති අන්ත පාඨමාලාවලට සම්බන්ධ වෙමින් රැකියාව ද හොඳින් කරගෙන ගියේ ය.

පසුකාලීනව සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීණයන් යටතේ නිර්මාණවලට දායක වෙමින් විෂය පිළිබඳ මනා දැනුමක් ලැබූ ඔහු ඒ සිද්ධීන් අතරේම ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නිළිය වුණ තමරා ජයන්ති සිල්වා සමග දීර්ඝ කාලයක් තිබුණු පෙම් සබඳතාව ජයගනිමින් 1979 දී විවාහ දිවියට ඇතුළත් විය. ඔවුන්ට දියණියක් හා පුතණුවෙක් සිටිති.

ලිපිකරුවෙක් ලෙසට මුල් ම පත්වීම් ලැබූ මහවැලි අධිකාරියේ ඉහළ තනතුරක් දක්වා ගොස් පසුකාලීනව වසර දහසයක් සේවයකර රැකියාවෙන් ඉවත්, වී පූර්ණ කාලීනව රංගනය ම තෝරාගත් මෙතුමා වර්තමානයේ වේදිකාවේ, සිනමාවේ මෙන් ම රූපවාහිනියේ රඟපාන අතරේ එතුමා ම රචනා කරමින් නිෂ්පාදනය කළ නාට්‍ය කිහිපයක් වේදිකා ගත කර ඇත.

“මනෝ” යනු සෙනෙහෙබර ඇමතුමකි, සහෘදයන්ගේ හදවත්වලින් එන සෙනෙහසකි. එය වඩාත් උද්දීපනය කෙරුණු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබිණ. එනම් චිත්‍රපටි 41ක් තරගවැදුණ ඉන්දියානු අන්තර්ජාතික බයිස්කෝප් සිනමා උලෙළේ දී ඔහු හොඳම නළුවා ලෙස රන් සම්මානයෙන් පුදනු ලැබීම ය. සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ “සූවිසි විවරණ” චිත්‍රපටයෙහි ඔහු‍ කළ රඟපෑම ඇගයීම් නිමිත්ත විය.

ආචාර්ය ජයලත් මනෝරත්න යනු ද පොදු ජනයාගේ ද විද්වත් පාර්ෂදවලද සම්භාවනාවට පාත්‍රවූ විශිෂ්ට කලාකරුවෙකි. ඔහු ‍ හොඳ සහෘදයෙකි, කවියෙකි, කෙටිකතාකරුවෙකි, නාට්‍ය රචකයෙකි. ඒ සියල්ලම සමතාක්‍රමනය කරමින් ඔහු වඩාත් ඉස්මතු වනුයේ ප්‍රථම පන්තියේ රංගන ශිල්පියකු හැටියට ය. කලා ලොව විවිධ තරාතිරමේ සමාජ තීරු අතර මනෝරත්නගේ මුවින් කිසිවකු ගැරහීමට ලක්වනු අප අසා නොමැත. එමෙන් ම කිසිවකු විසින් ඔහු ගැරහීමට ලක්කරනු ද දැනගන්නට නැත.

එහෙත් පසුගිය අවධියේදී, සංවේදී කලාකරුවකු හැටියට, ඊනියා සංවේදී නායකයකුගේ මර්දනකාරී පාලනයට එරෙහිව හෘදය සාක්ෂියක් ඇති කලාකරුවන් සීමිත පිරිසක් සමඟ ඔහුතම හඬ අවදි කළ අයුරු අපි දුටුවෙමු.

“සූවිසි විවරණ” ඔහු ප්‍රධාන චරිතය රඟ පෑ පළමු චිත්‍රපටයයි. “ගිනි කිරිල්ලී” සහ “‍ෙභ්රුණ්ඩ පක්ෂියා” යන චිත්‍රපටි දෙකේ ම සහය නළුවකු ලෙස රඟ පෑ ඔහු OCIC සම්මාන උ‍ෙළලේ දී සම්මානයට පාත්‍ර විය. වේදිකා නාට්‍යවලින් දැක පුරුදු ව සිටි ඔහුගේ ප්‍රථම සිනමා රංගනය අප දුටුවේ ‘හඳයා’ චිත්‍රපටියේ සහය නිවේදකයකුගේ චරිත‍යකිනි. එහි ප්‍රධාන නිවේදකයා වූයේ කරුණාරත්න අබේසේකර ය. පෝනි රේස් එකක තීරණාත්මක අවසන් වටයේ දී සහය නිවේදකයා ඉමහත් ප්‍රබෝධයෙන් යුතුව අංගචලනය කරමින් නිවේදන කටයුත්තෙහි යෙදෙයි.

“පහු කළා – පහු කළා – දිනුම් කණුව පහු කළා”

ඔහු එසේ කියන විට නාසය මයික් එකේ වදියි. එය චිත්‍රපටියෙහි හාස්‍ය රසය කුළුගැන්වුණු අවස්ථාවකි. ඔහුගේ රංග රීතියෙහි එක් වැදගත් ලක්ෂණයක් වූයේ හාස්‍යයයි.

සූවිසි විවරණ චිත්‍රපටියෙහි කතා තේමාව වන්නේ සම්ප්‍රදායික නර්තන කලාව වත්මනෙහි මුහුණදෙන අභියෝගයි. ගණිතසාර නම් වූ නැටුම් ගුරුන්නාන්සේ ගේ චරිතය ඔස්සේ මෙය සාකච්ඡාවට ලක්වෙයි. මම ඒ පිළිබඳ මනෝගෙන් ඇසුවෙමි. “ඔහු මුහුණ දෙන අභියෝග දෙයාකාරයි. ඉන් පළමුවැන්න සාම්ප්‍රදායික නර්තන කලාව නොනැසී පවත්වාගෙන යෑම. දෙවැන්න ඔහු ලෞකික ජීවිතයේ දී මුහුණදෙන ගැටලු.”

“ලෞකික ජීවිතයේ මොන වගේ ගැටලුවලට ද ඔහු මුහුණ දෙන්නෙ?

“නැටුම් ගුරුවරයකු හැටියට ඔහු තම සිසුන්ට ආදරය කරනවා. ආදරය යනු පොදු ධර්මතාවක් දක්ෂ සිසුන් කෙරෙහි වැඩි ඇල්මක් හට ගැනීම ස්වාභාවික යි. ගණිතසාර ගුරුන්නාන්සේ සහ ඔහුගේ ශිෂ්‍යාවක් අතර ඇති වන ආදරය එබන්දක්. හැබැයි ස්ත්‍රී පුරුෂ ආදරයක් නිසා එය අනුරාගික එකක්. මෙහි දී ගුරුන්නාන්සේ තම කුටුම්භය අතහරින තැනකට තල්ලුවන්නේ නැහැ.”

මනෝගේ අදහස වන්නේ සරත් ධර්මසිරි නමැති දක්ෂ තිර පිටපත් රචකයා සහ අධ්‍යක්ෂණය, ගුරුන්නාන්සේගේ චරිතය මනෝ විශ්ලේෂණාත්මක කියවීම කට ලක් කරන බව ය.

“ඔබ සම්ප්‍රදායික කලාවන් සමග ද පයුරු පාසානම් ඇති අයෙක්. නමුත් ගුරුන්නාන්සේගේ චරිතය රඟපානවිට ඔබ ඒ සඳහා හැදෑරීමක යෙදුණා ද?”

මගේ තලමල පිපිලා නාට්‍යයට විෂය වුණේත් සාම්ප්‍රදායික නර්තන කලාව මුහුණ දෙන අභියෝගයි. ඒ නිසා, ඒ ගැන පූර්ව වැටහීමක් තිබුණා. මා උපන් දෙහිපේ ගම්මානයේ අතීත අත්දැකීම් අනුව නැටුම් කලාව අපට හුරු පුරුදු දෙයක්. එහෙත් ගරුන්නාන්සේ චරිතය වගකීම් සහගත වැඩක් නිසා, මහකේල්වල ගුරුන්නාන්සේ ‘නිත්තවෙල ගුරුන්නාන්සේ’ සුරඹා ගුරුන්නාන්සේ යනාදී චරිත පිළිබඳ අධ්‍යයනය කළා. ආචාර්ය මුදියන්සේ දිසානායක මා ළඟින් ම හිටියා. නර්තනය , ගායනය, බෙරවැයීම පිළිබඳ අත්දැකීම් අලුත් කරගත්තා”

මනෝගේ රංග කාර්යයෙහි සාර්ථකත්වය පිටුපස ඇත්තේ ගවේශනය, නිරීක්ෂණය, කැපවීම සහ අත්දැකීම් බෙදා හදා ගැනීම පිළිබඳ අපූරු තොරතුරු සමුදායකි. රැය පහන් වන තුරු ගමේ පන්සලේ පැවත්වෙන “සූවිසි විවරණ” යනු සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට සහ බෙර වාදන ඇතුළු වාද්‍ය ශිල්පීන්ට තම කුසලතා රසික ජනයා අතරට ගෙන යැමේ මහඟු අවස්ථාවකි. බෞද්ධාගමික චාරිත්‍රයක් වුව ද, එය අලංකෘත වූයේ සම්ප්‍රදායික කලාවෙනි. ගැමි දිවියෙහි රස මනස නූසුන්වූයේ සාම්ප්‍රදායික කලාවන්ගේ සුනිසි ඇසුරු ලැබීමෙනි. එම කලාවන් සුන්බුන්වී යෑම රසවිහීන පරපුරක් බිහිවීමේ එක් ප්‍රබල සාධකයකි. සූවිසි විවරණ චිත්‍රපටියෙහි මනෝරත්න ජීවය පිඹින ගණිතභාර ගුරුන්නාන්සේගේ චරිතය ඔස්සේ නව සංවාද කතිකාවකට මුල පුරමු.

චිත්‍රපට
1979 – හඳයා
1980 – සිරිබෝ අයියා
1987 – හිත හොඳ චණ්ඩියා
1987 – මංගල තෑග්ග
1991 – ස්ත්‍රී
1992 – උමයංගනා
1992 – සිසිල ගිනිගනී
2002 – පුංචි සුරංගනාවී
2003 – සුදු කළුවර
2004 – සූරිය අරණ
2004 – ප්‍රේමවන්තයෝ
2004 – ගිනි කිරිල්ලි
2006 – හිරි පොඳ වැස්ස
2006 – භේරුන්ඩ පක්ෂියා
2008 – සිරි රජ සිරි
2008 – වලා පටල
2009 – බිංදු
2010 – බඹර වලල්ල
සම්මාන
සරසවිය සම්මාන
2004 – හොඳම සහය නළුවා – සුදු කළුවර
2007 – හොඳම සහය නළුවා – භේරුන්ඩ පක්ෂියා

 

http://baiscope.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here