සිරිල් වික්‍රමගේ රංගධාරියා හමුවුණෙමු

0
85
Open discussion with Cyril Wikramage

සිරිල් වික්‍රමගේ රංගධාරියා හමුවුණෙමු  (Open discussion with Cyril Wikramage )

ඔබගේ සිනමා දිවිය ඇරඹෙන්නේ හැටේ දශකයෙ මුල් භාගයේ සිටයි කීවොත් නිවැරදිද?

ඔව්. ඒ මගේ සිනමා දිවිය. එහෙත් ඊට පෙර මම වේදිකා නළුවෙක්. මහාචාර්ය සරච්චන්ද්‍රගේ ‘පබාවතී’ නාට්‍යයේ ඔක්කාක රජුගේ චරිතෙ නිරූපණය කළේ මමයි. ඊට පසු තවත් වේදිකා නාට්‍ය කිහිපයක රඟපෑවා. ‘හඳපාන’ චිත‍්‍රපටය තමයි මගේ මුල්ම සිනමා රංගනය ඇතුළත් වුණු චිත‍්‍රපටය. මට මතක විදියට එය හැදෙන්නේ 1963 විතර. ඒ ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු’ නාට්‍යයේ තේගිරිස්ගේ චරිතය නිරූපණය කරමින් සිටින කාලේ. ඒ නාට්‍යය ඒ කාලේ අතිසම්භාවනාවට පාත‍්‍ර වූ නාට්‍යයක්. අදටත් එහි වටිනාකම කිසිදු ලෙස අඩුවෙලා නැහැ. ඇත්තටම ‘මූදු පුත්තු’ සිංහල නාට්‍ය වංශයේ සන්ධිස්ථානයක්. හර්බට් එම් සෙනෙවිරත්න, කිංස්ලි රාජපක්ෂ, සිසිර සේනාරත්න යන මහත්වරු එක දවසක් ඔය නාට්‍යය බලන්න ඇවිත් හිටියා. ඒ කාලේ හර්බට් එම්. සෙනෙවිරත්න ‘හඳපාන’ නිර්මාණය කිරීමට මූලික වැඩ කටයුතු සිදුකරමින් හිටියේ. නාට්‍යයේ මගේ රංගනය ගැන පැහැදිලා සිසිර සේනාරත්න තමයි මාව ඒ චිත‍්‍රපටයට යෝජනා කරලා තියෙන්නේ. මම ඒ ආරාධනාව බාරගත්තා. ඒ වෙනකොට මට වේදිකාවේ යම් යම් අත්දැකීම් තිබුණත් චිත‍්‍රපට රංගනය ගැන කිසිදු අත්දැකීමක් තිබුණේ නැහැ. කොටින්ම කියනවා නම් මම චිත‍්‍රපට නළුවෙකු වෙන්න කවදාවත් හිතපු කෙනෙක් නෙමෙයි. මම කොළඹින් පිට බොහොම ඈත ගමක කුඹුරක් කොටාගෙන හිටපු ගොවියෙක්. ‘හඳපාන’ ඒ දවස්වල අතිශය ජනප‍්‍රියත් වයට පත්වූ චිත‍්‍රපටයක්. සිසිර සේනාරත්න ඒ චිත‍්‍රපටය නිර්මාණය කළ ගීතත් එහි ජනප‍්‍රියතාවට මූලික ලෙසම ආධාර වුණා. ඒ චිත‍්‍රපටය ජනප‍්‍රිය වුණ නිසා මාවත් පේ‍්‍රක්ෂකයන්ට මතක හිටියා. එහි මගේ චරිතය ප‍්‍රධාන චරිතයක් වුණේ නැතත් එය එම චිත‍්‍රපටයේ වැදගත් චරිතයක් වුණා. මමත් එම චරිතයට අත්දැකීම් අඩු තත්ත්වයේ හිටියත් උපරිම සාධාරණය ඉටුකළා. එතැනින් පටන් ගත්ත ගමන තමයි අද වෙනකන් මේ ගලාගෙන යන්නේ. මගේ රංගන ජීවිතයට සෑහෙන ඉතිහාසයක් තියෙනවා කියලා දැනෙනකොට මට මා ගැනම සියුම් ආඩම්බරයක් ඇතිවෙනවා. ඒ වගේම තමයි සිනමාවේ අද දවසේ මම කොතැන හරි සටහන් වෙනවාද ඒ කිසිදු දෙයක් මම බලාපොරොත්තු වුණේ නැහැ. අදටත් මගේ ලොකු බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු පොදි ගහගෙන මිනිස්සු ජීවත් වෙන්නත් හොඳ නැහැ. තමන්ට ලැබිය යුතු දේ තමන්ගේ මහන්සිය මත කවදා හරි ලැබෙයි. සිනමාව පමණක් නොවෙයි මගෙ ජීවිතේ මම අනුගමනය කරන දර්ශනය එයයි.

‘හඳපාන’ ඔබේ ආරම්භය සනිටුහන් කළත් ඔබගේ රංගනයෙහි කූට ප‍්‍රාප්තිය ‘සත්සමුදුරයි.’

ඒක දිග කතාවක්. දොස්තර ලීනස් දිසානායක මහත්තයා තමයි ‘සත් සමුදුර’ නිෂ්පාදනය කළේ. ඒ දවස්වල ඔහුගේ මූලිකත්වයෙන් ‘සදිසි සිනෙපෙති’ කියලා පොඩි චිත‍්‍රපට සමාගමක් තිබුණා. ඒ නම හැදුණේ සකලසූරිය, දිසානායක, සිල්වා යන මිතුරන් තිදෙනාගේ මුල් අකුරුවලින්. ඒත් පසුකාලෙක එය දිසානායක චිත‍්‍රපට ලෙස පමණක් භාවිත වුණා. චිත‍්‍රපටයක් කිරීමේ දැඩි වුවමනාවක් ඔවුන් තිදෙනාට තිබුණා. ලයනල් ප‍්‍රනාන්දු මහත්තයාත් මොවුන් තිදෙනාගේ හොඳ හිතවතෙක්. දවසක් ලයනල් ප‍්‍රනාන්දු මහත්තයා මට ඇවිත් කිව්වා මේ තිදෙනා චිත‍්‍රපටයක් කිරීමට බලාපොරොත්තු වෙනවා ඒකේ චරිතයකට මාවත් තෝරාගෙන තියෙනවා කියලා. ඔහු මාව ලීනස් දිසානායක මහත්තයාගේ ගෙදරට අරගෙන ගියා. එහිදී මට පිටපතක් දීලා කිව්වා ඒ පිටපතෙන් චිත‍්‍රපටයක් කරන්න යනවා, ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න කියලා. පිටපත කියෙව්වාට පස්සේ ඒ චරිතය මට ගැළපෙන්නෙ නැති බව මට තේරුම් ගියා. ඒ නිසා මගේ අකමැත්ත මම ප‍්‍රකාශ කළා. ලීනස් දිසානායක මහත්තයත් කිව්වා, එයාත් ඒ පිටපතට කැමැත්තක් නැති නිසා වෙන පිටපතක් එහෙනම් හොයමු කියලා. එවිට මම යෝජනා කළා ‘මූදු පුත්තු’ නාට්‍යය ඇසුරින් අපි චිත‍්‍රපටයක් කරමු කියලා. ඒ නාට්‍යයේ පිටපත එක්ක ගුණසේන ගලප් පත්තිවයි, මහගම සේකරවයි, සෝමදාස ඇල්විටිගලවයි ඔහුට මුණගැස්සුවා. ගලප්පත්ති තමයි ‘මූදු පුත්තු’ අනුවර්තනය කළේ. මොවුන් තිදෙනා තමයි ‘මූදු පුත්තු’ නාට්‍යයේ ප‍්‍රධාන නියමුවන් තිදෙනා. ලීනස් දිසානායක ඒ අදහසට කැමති වෙලා අපිට කිව්වා තිර පිටපත ලියන්න කියලා. වැඬේ බාරදුන්නේ මට. ඒ කාලේ අපි තිදෙනාම චිත‍්‍රපට ලෝකයට ආගන්තුකයො. අපිට තිර පිටපත් ලියන්න දැනුමක් තිබුණේ නැහැ. ඊට පස්සේ තිස්ස ලියනසූරිය අපිට ‘සංදේශය’ චිත‍්‍රපටයේ පිටපත ගෙනත් දීලා එය අධ්‍යයනය කරන්න කිව්වා. එතුමා අපට බොහොම උදව් කළා. ඒත් වැඬේ කරගෙන යන අතරේ ගලප්පත්ති අධෛර්ය වුණා. ඔහු කිව්වා ඔහුට එය තේරෙන්නේ නැහැ, මහාචාර්ය සිරි ගුණසිංහට එය බාරදෙමු කියලා. මමත් සේකරත් ඒ අදහසට දැඩිව විරුද්ධ වුණා. අපි කිව්වා අපිට බාරදුන්න වැඬේ තව කෙනෙකුට දෙන්න ඕනෑ නැහැ, ඔයා කරන්න අපි දෙන්නා උදව් කරන්නම් කියලා. ඒත් වැඬේ කෙරෙන්නේ නැති වෙනකොට අවසානෙ සිරි ගුණසිංහ මහත්තයාට ඒ වැඬේ බාරදුන්නා. ඊට පස්සේ සිරි ගුණසිංහ, වසන්ත ඔබේසේකරවත් සහාය කරගෙන ‘සත්සමුදුර’ චිත‍්‍රපටයේ තිර පිටපත ලියන්න පටන් ගත්තා. ‘මූදු පුත්තු’ කතාව ඇසුරින් තමයි ‘සත්සමුදුර’ පිටපත ලිව්වේ. ඒ විදියට පටන් ගත්ත එම චිත‍්‍රපටයේ මට ප‍්‍රධාන චරිතයක් කරන්න ලැබුණා. ඒ ගැන මට අදත් ආඩම්බරයි. ‘සත්සමුදුර’ චිත‍්‍රපටයේ මගේ චරිතය සිංහල සිනමාවේ ලොකු වෙනසක් කරන්නට සමත් වුණ චරිතයක්. අපේ සිනමාවේ තරු සංකල්පය බිඳුණේ ‘සත්සමුදුර’ චිත‍්‍රපටයෙන්. එය එතෙක් අප දැක තිබුණු සාමාන්‍ය කොල්ලා, කෙල්ල නිරූපණය වුණ චිත‍්‍රපටයක් නොවෙයි. තරු සංකල්පයෙන් ඔබ්බට ගිහිල්ලා සාමාන්‍ය ජන ජීවිතය විදාරණය කිරීමට සමත් වූ චිත‍්‍රපටයක්. ධීවර ජනයාගේ සියලූම දුක් අඳෝනා එකට කැටි කොටගත් චිත‍්‍රපටයක්. ඒ සියලූම ලක්ෂණ ප‍්‍රධාන වශයෙන් මගේ චරිතය වටා තමයි ගොඩනැගී තිබුණේ. ඒ නිසා එම රඟපෑම ඉතාම සියුම් ලෙසත්, ගැඹුරු ලෙසත් කිරීමට මට සිදුවුණා. එය ඉතා සංකීර්ණ චරිතයක්. මතුපිටින් පෙන්නන්න තියෙන දෙයට වැඩියෙන් ඇතුළතින් පෙන්නන්න තිබුණ දේ වැඩියි. එය ඉතා පැහැදිලි අවබෝධයකින් නිරූපණය කළ යුතු රංගනයක්. එවැනි චරිතයක් මම සිනමාවට පිවිසි මුල් යුගයේම මට ලැබීම ලොකු වාසනාවක්. සමහර නළු නිළියන්ට මැරනකම්ම තමන්ට අවශ්‍ය විදියේ චරිත නොලැබෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒ අතින් මම වාසනාවන්තයි. එය කොතරම් විශිෂ්ට චිත‍්‍රපටයක් වුණත් කිසිදු ප‍්‍රදර්ශන සමාගමක් එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට එකඟ වුණේ නැහැ. අන්තිමේදී සිලොන් තියටර්ස් සමාගම සති දෙකක් පමණක් ප‍්‍රදර්ශනය කිරීමට එකඟ වුණා. ඒත් එම වසරේ පැවැති සරසවි සම්මාන උළෙලේදී ‘සත් සමුදුර’ චිත‍්‍රපටය ප‍්‍රධාන පෙළේ සම්මාන දහයක්ම හිමිකර ගත්තා. ඉන් පසුව තමයි ඒ චිත‍්‍රපටය පුළුල් කතාබහකට ලක්වුණේ. ‘සත් සමුදුර’ට සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ම තමන්ගේ කාර්යය ඉතා මැනවින් ඉටුකළා. විශේෂයෙන්ම ඞී.බී. නිහාල්සිංහ. ඔහුගේ කැමරාකරණය ඒ චිත‍්‍රපටයට විශාල ගැඹුරක් මෙන්ම වටිනාකමක් ද එක් කළා. ට‍්‍රැක් ඩොලි වැනි පහසුකමක් නොතිබුණු ඒ යුගයේ නිහාල්සිංහ එවැනි දර්ශන රූගත කළේ ගෝනියක් මත කැමරාව තියාගෙන. ගෝනියෙන් තමයි කැමරාව අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයට එහා මෙහා ගෙනිච්චේ. එවැනි විශාල මහන්සියක් දරලා තමයි ඔහු එහි කැමරාව මෙහෙයවූයේ. එහි වටිනාකම අද දියුණු තාක්ෂණික ලෝකය තුළ වුණත් කිසිවකුට දෙවැනි වෙන්නෙ නැහැ. ‘සත් සමුදුර’ චිත‍්‍රපටයට ස්වර්ණා මල්ලවආරච්චිව තෝරගෙන තිබුණේ සිරි ගුණසිංහ. හැබැයි දෙනවක හාමිනේව තෝරගත්තෙ මම. ඒ චරිතය සඳහා කලින් තෝරාගෙන හිටියේ සෝමලතා සුබසිංහයි. ඇය ඒ දිනවල තරුණයි. ඒ නිසා චිත‍්‍රපටයේ වැඩිහිටි චරිතය නිරූපණය කරන්න ඇය කැමති වුණේ නැහැ. ඒ අවස්ථාව ගියේ දෙනවක හාමිනේට. ඇය එම චිත‍්‍රපටය තුළ කළ අතිවිශිෂ්ට රංගනය අන්තර්ජාතික තලයේ රංගනයක්. ඒ සඳහා ඇයට එම වසරේ හොඳම නිළියගේ සම්මානය ලැබුණා. එම සම්මානයට ඇය අනිවාර්යයෙන්ම සුදුසුයි.

ඒත් එම වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ඔබට හිමිවුණේ නෑ නේද?

ඒකට හේතු තිබුණා. ඒ වෙනකොට සිරි ගුණසිංහත් මමත් අතර පොඩි අමනාපයක් තිබුණා. චිත‍්‍රපටය කරගෙන යද්දි ඇතිවුණු යම් යම් ගැටලූ නිසා, එය හරිහැටි කරන්න ඕනෑ නම් චිත‍්‍රපටය නිහාල්සිංහට බාරදෙන්න කියලා මම කිව්වා. මෙන්න මේ කතාවට සිරි ගුණසිංහ මාත් එක්ක අමනාප වුණා. ඒ නිසා ඒ උළෙල සංවිධානය කරපු සිනමා පත්තරේ ප‍්‍රධාන කර්තෘතුමා සමග සාකච්ඡුා කරලා හොඳම නළුවාගේ සම්මානය මට නොලැබෙන තැනට කටයුතු යෙදුවා. එය ‘හොරුන්ගෙන් හොරු’ කියන අප‍්‍රකට චිත‍්‍රපටයේ රඟපෑ ගාමිණී ෆොන්සේකාට දුන්නා. ඒ ගැන මට දුකක් නැහැ. ගාමිණී කියන්නේ විශිෂ්ට ප‍්‍රතිභාවක් තිබුණ නළුවෙක්. ඒත් ඒ වසරේ ගාමිණීට වඩා ඉදිරියෙන් හිටියේ මම කියලා සාමාන්‍ය පේ‍්‍රක්ෂකයා පමණක් නොවෙයි විචාරකයොත් එක හඬින් කිව්වා. මගේ රඟපෑම අගය නොකළ කිසි කෙනෙක් නැහැ. අදත් හැමෝම ඒ අසාධාරණේ ගැන කතා කරනවා. කොහොම වුණත් මට ඇරෙන්න ඒ චිත‍්‍රපටයේ අනිකුත් හැම ප‍්‍රධාන අංශයකටම සම්මාන හිමිවුණා. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. මොකද ‘සත් සමුදුර’ චිත‍්‍රපටයෙ අතීත කතාවෙහි ප‍්‍රධාන නියමුවා මමයි. ඒ වගේම තමයි ඒ කාලේ ගාමිණී චිත‍්‍රපටයක රඟපෑවා නම් හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට නොදී සිටීමට බැරි තත්ත්වයක් උදාවෙලා තිබුණා. ඒ දවස්වල ඕනෑම පත්තරයක, සඟරාවක මුල් පිටුවේ හිටියේ ගාමිණී ෆොන්සේකා. ඒ නිසා ඔහු වටා විශාල බලාධිකාරියක් ගොඩනැගී තිබුණා. ඒ නිසා ඔහුගේ හොඳ හෝ නරක ඕනෑම රංගනයකට හොඳම නළුවාගේ සම්මානය වෙන්වෙලා තිබුණා.

‘සිනිඳු සුදු මුතු තලාවේ’ ගීතය ‘සත් සමුදුර’ චිත‍්‍රපටයේ සමුදයාර්ථයයි.

ඒතරම් සිනමානුරූපී ගීතයක් සිංහල සිනමාවේ කොයි කාලෙකදිවත් බිහිවුණාද යන්න සැක සහිතයි. මගේ කල්පනාවේ හැටියට අපේ සිනමාවේ බිහිවෙච්ච විශිෂ්ටතම චිත‍්‍රපට ගීතය එයයි. ‘සත් සමුදුර’ චිත‍්‍රපටය කියන්නේ ඔය ගීතයම තමයි. සේකර, ඇල්විටිගල, අමරදේව යන තිදෙනාට හැරෙන්නට වෙන කාටවත් එවැනි නිර්මාණයක් බිහිකරන්න බැහැ. සෝමදාස ඇල්විටිගල කියන්නේ අපිට හිටපු මහා සංගීතවේදියෙක්. සේකර අතිදක්ෂයෙක්. අමරදේව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නොමැරෙන හඬක් ඇති ගාන්ධර්වයෙක්. මේ ත‍්‍රිමූර්තිය ‘සත් සමුදුර’ චිත‍්‍රපටයට ලබාදුන් ආලෝකය ඉතා විශාලයි. මෙවැනි නිර්මාණාත්මක මිනිසුන් අද නොමැති වීමත් අපට තියෙන විශාල අඩුවක්. ඇත්තටණ මේක තමයි සුනාමිය පිළිබඳ ලියවෙච්ච හොඳම ගීතය. ‘බුර බුරා නැගි කුරිරු ජල කඳ – දෙරණ සම්පත ගිලගනී’ මේ තමයි සුනාමිය. සුනාමි තත්ත්වයකට අපිට මුහුණ දෙන්න වුණේ මේ ගීතය ලියවිලා බොහෝ කලකට පසුව වුණත් මහගමසේකර එය හැට ගණන්වලදී දැක්කා. මුහුදෙන් බිහිවෙන මිනිසා අවසානයේ මුහුදටම බිලිවෙනවා කියන අදහස චිත‍්‍රපටයේ මූලික බැ?රුම් කාරණයක්. එවැනි බැ?රුම් වැඩ තමයි ඒ කාලේ නිර්මාණකරුවන් අතින් සිදුවුණේ. කවුරුත් උඩින් අතපත ගාලා අත හෝදගන්න බැලූවේ නැහැ. ඒ නිසා තමයි අද වුණත් ඒ ගීතය ඇහෙනකොට අපේ ශරීරය කම්පනය වෙන්නේ. අපේ හදවත හඬා වැටෙන්නේ. එම චිත‍්‍රපටයටම අමරදේවයන් ගායනා කරන ලද ‘පිපුණු කුසුම පරවූවා’ ගීතයත් ඉතා විශාල වටිනාකමක් දෙන ගීතයක්. මෙවැනි ගීත වෙනුවෙන් ඇල්විටිගල යොදාගත් සංගීත සංයෝජනය ඉතා විශිෂ්ටයි. ‘සිනිඳු සුදු මුතු තලාවේ’ ගීතයෙහි ආරම්භක සංගීත ඛණ්ඩය කොපමණ ගැඹුරුද? එම ගීතය අතරතුර වැයෙන නාද මාලාව කොපමණ විශිෂ්ටද? මේ ගීත අහනකොට අද අපි ගීත කියලා අහන්නේ මොනවද කියල හිතෙනවා.

‘වෙස් ගත්තෝ’ හා ‘වල්මත් වූවෝ’ ඔබේ චිත‍්‍රපට රංඟනය තුළ අමතක කළ නොහැකි චිත‍්‍රපට දෙකක්.

මේ චිත‍්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළේ වසන්ත ඔබේසේකර. ඔහුත් ඉතාම දක්ෂයෙක්. ඒ වගේම බොහොම නිහඬ පුද්ගලයෙක්. ‘වෙස්ගත්තෝ‘ එක්තරා ආකාරයක ප‍්‍රහසන කතාවක්. සාමාජීය කරුණු අනාවරණය කරනු ලබන චිත‍්‍රපටයක්. හිර ගෙදරින් නිදහස් වන තරුණයන් තිදෙනෙක් නැවත සමාජයට අනුවර්තනය වීමට ඇති නොහැකියාව නිසා යළි සිරගත වෙනවා. ඔවුනට අවසානයේ ප‍්‍රත්‍යක්ෂ වෙනවා ඇත්තටම හොරු ඉන්නේ ඇතුළේ නෙමෙයි එළියේ කියලා. විරැුකියාව මුල් කොටගත් තරුණ නැගිටීම මත පදනම් වුණු ‘වල්මත් වූවෝ’ චිත‍්‍රපටයත් මගේ රංගන දිවියේ විශාල කඩඉමක්. විශ්වවිද්‍යාලෙන් සිසුන්ව මහ පොළොවට අත අරිනවා විතරයි. ඔවුන්ට රැකියාවක් නැහැ. ඒ නිසා නිශ්චිත අරමුණක් නැහැ. ඒ නිසා ජීවිතේ වල්මත් වෙලා අවසානයේ ඔවුන් විනාශය කරා යොමුවෙනවා. එදා වුණෙත් ඒක. අද වෙන්නෙත් ඒක. මෙම පසුබිම මත තමයි ‘වල්මත් වූවෝ’ චිත‍්‍රපටය බිහිවුණේ. මෙම චිත‍්‍රපටවල මා නිරූපණය කළ චරිත ඉතා සරල තත්ත්වයේ සිට ඉතා සංකීර්ණ තත්ත්වයන් දක්වා දිවයනවා. ඒ නිසා ඒ හැම තත්ත්වයකටම සුදුසු නිරූපණයන් ගොඩනගා ගැනීමට අපි වෙහෙසුනා. ඒ සඳහා මා සමග රඟපෑ අනිත් නළු නිළියන්ගෙන්ද මට ලැබුණු සහයෝගය ඉතා ප‍්‍රශංසනීයයි. රඟපෑම කියන්නේ සාමූහික කාර්යයක්. රඟපානවා කියන්නේ නිකන් දෙබස් කියන එක නෙමෙයි. එය තමා සමග නිරූපණයෙහි යෙදෙන අනිකුත් ශිල්පීන් සමග ඇති කරගනු ලබන අන්‍යෝන්‍ය අවබෝධයක්.

ඉහත චිත‍්‍රපටවල ඔබ සමග රඟපෑ සෝමසිරි දෙහිපිටිය පිළිබඳව ඇත්තේ කුමන හැඟීමක්ද?

ඔබ ඒ නම මතක් කිරීම පිළිබඳවත් මට ඇත්තේ විශාල සතුටක්. මොකද අද බොහෝ දෙනෙකුට එවැනි අතිදක්ෂ රංගන ශිල්පීන් පිළිබඳ මතක නැහැ. නැත්නම් කිසිදු අවබෝධයක් නැහැ. සෝමසිරි දෙහිපිටිය කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා හොඳ නළුවෙක්. ඔහුට තිබුණේ වචනයෙන් විස්තර කරන්න බැරි වටිනා හැඟීම්බර මුහුණක්. ඒ මුහුණේ ස්වරූපය වෙන කාටවත් තිබුණේ නැහැ. ඒ නිසා සෝමසිරිගේ රංගනයෙහි ප‍්‍රධාන ලෙස පෙරට පැමිණියේ ඔහුගේ මුහුණ. සාත්වික අභිනය තුළ ඔහු ඉතා දක්ෂයෙක්. ඒ වගේම හැමෝටම උදව් කළ ඉතා හොඳ මනුස්සයෙක්. සෝමසිරි අපිටත් කලින් පී. වැලිකල නිෂ්පාදනය කළ ‘මැටි කරත්තය’ වේදිකා නාට්‍යයේ රඟපාලා තිබුණ හොඳ රංගධරයෙක්. ඔහුටත් තිබුණෙ අපිට වගේම වේදිකා විනය. ඔහුගේ අකල් මරණය අපි කාටත් පාඩුවක් වුණා.

‘සිහින ලොවක්’ පිළිබඳව දැන් සිතෙන්නේ කුමක්ද?

එය මගේ අධ්‍යක්ෂණයක්. ‘සිහින ලොවක්’ චිත‍්‍රපටය කරනකොට අධ්‍යක්ෂණය පිළිබඳ මට ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ. ඒ නිසා එම සාර්ථක චිත‍්‍රපටයක් වුණේ නැහැ. ඒත් මට කියාගන්න අවශ්‍යව තිබුණු දේ මට කියාගන්න පුළුවන් වුණා. ඇත්තටම මට අවශ්‍ය වුණේ රූපයෙන් කියාගන්න බැරි ගැඹුරක් ගීතයක් තුළින් ප‍්‍රකාශ කරන්නයි. ඒ සම්බන්ධව සේකර ගීත තුන හතරක් ලිව්වා. ඒත් ඒ එක පදවැලක්වත් මගේ අවශ්‍යතාවට ගැළපුණේ නැහැ. ඔහොම ඉන්නකොට සේකර එක දවසක් කිව්වා එයාගේ පරණ දින පොතක ලියලා තියෙන පදවැලක් තියෙනවා එය හොඳ දැයි බලන්න කියලා. ඒ පද වැල පටන් අරගෙන තිබුණේ ‘මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කළ බව – එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි’ කියලා. දැක්ක හැටියේ මම හිතුවා මේක තමයි මම හොය හොය හිටිය පදවැල කියලා. එය ඇල්විටිගල යෙදූ තනුවත් අමරදේවයන්ගේ ගායනයත් එක් කළේ මිල කළ නොහැකි වටිනාකමක්. ‘සිහින ලොවක්’ චිත‍්‍රපටය පිළිබඳ මම එතරම් සෑහීමකට පත් නොවුණත් මට කියාගන්න අවශ්‍ය දේ ඉහත ගීතය මගින් ඉටුකරගත්තා කියන අසීමිත තෘප්තිය මට තියෙනවා.

‘බඹරු ඇවිත්’, ‘සුද්දිලාගේ කතාව’, ‘සෙයිලම’ ඔබගේ රංගන හැකියාවෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගත් චිත‍්‍රපට තුනක්.

‘බඹරු ඇවිත්’ කියන්නේ සිනමා කාව්‍යයක්. ‘බඹරු ඇවිත්’ වල මම කරපු රංගනයට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. ජෝ, විජය, කලං, කොස්තා ඇතුළු මුළු නළුනිළි කණ්ඩායමම එකිනෙකට පරදින්නේ නැති විදිහට රඟපෑවා. අපි එකිනෙකාගෙන් පෝෂණය වුණා. අදහස් බෙදාගත්තා. අවසානේ අපි හැමදෙනාම හොඳට රඟපෑවා. ‘බඹරු ඇවිත්’ කරනකොට අපි කල්පිටියේ ගත කළ දුෂ්කර කාලෙ අද අපිට ගෙනෙන්නේ මහත් සතුටක්. කොතරම් ගැඹුරු වුණත් මෙවැනි චිත‍්‍රපටි අපිට විඳින්න පුළුවන්. අද චිත‍්‍රපටවල තියෙන්නේ කෘත‍්‍රිම ගැඹුරක් විතරයි. වින්දනයක් නැහැ. ‘සුද්දිලාගේ කතාව’ චිත‍්‍රපටයෙ මම කළ චරිතෙ විජය, ධර්මසිරිගෙන් ඉල්ලලා තිබුණා. ඒත් ධර්මසිරිගේ තේරීම වුණේ මාව. ‘සෙයිලම’ එච්.ඞී. පේ‍්‍රමරත්නයන්ගේ හොඳ චිත‍්‍රපටයක්. ඔහු සැබෑ නිර්මාණශීලී පුද්ගලයෙක්. මගේ චරිතේ මට අවශ්‍ය විදිහට ගොඩනගාගන්න ඔහු මට දුන්න නිදහස ඉතා වටිනවා. මේ සෑම චිත‍්‍රපටියක්ම ප‍්‍රාසංගික ලක්ෂණ සහිත චිත‍්‍රපට. ඒ නිසා තමයි ඒවා අපිට අදත් විඳින්න පුළුවන්. අද වෙනකොට මෙම ප‍්‍රාසංගික ලක්ෂණ සිනමාවෙන් බැහැර වෙලා. අද ගැලරියට චිත‍්‍රපට හැදෙන්නේ නැහැ. එය ලොකු අඩුවක්. හැත්තෑව දශකය තුළ බිහිවෙච්ච ඕනෑම කලාත්මක හෝ වාණිජ චිත‍්‍රපටයක මිනිස්සුන්ට විඳින්න දෙයක් තිබුණා. ජෝතිපාල – ඇන්ජලින් සුසංයෝගය ඒ යුගයේ ඉතා වටිනා කාර්යභාරයක් ඉටුකළා. මිනිස්සු ඔවුන්ගේ ගීත අහන්න චිත‍්‍රපට ශාලාවලට ආවා. සිනමාව කියෙන්නෙ මනෝ විද්‍යාව උගන්වන මාධ්‍යයක් නෙමේ. එය විඳීම සඳහා තියෙන දෙයක්.

http://baiscope.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here