අජිත් ජිනදාස ගේ අලුත්ම තොරතුරු

0
37
Ajith Jinadasa latest news

 

අජිත් ජිනදාස ගේ අලුත්ම තොරතුරු ( Ajith Jinadasa latest news)

රත්නපුරයේ සිට කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණි ‘අජිත් ජිනදාස නිලමේ’ සිසුවා එහි නේවසිකාගාරයේ සිටිය දී කැපීපෙනුණේ පාසලේ බිත්ති පුවත්පත්වලට කවි හා වෙනත් නිර්මාණ සපයමිනි.මේ අතර හදිසියේම සිසුන් අතර පැතිරගිය ආරංචිය වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් හදන්නට යන ‘මඩොල් දූව’ ළමා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට අජිත්ව තෝරාගත් බවය. ඔහු එහි රූපගත කිරීම් සඳහා ගියේ නේවාසිකාගාරයේ සිටය. ‘ආනන්දයේ හොස්ටල් එකේ පරිප්පු’ කෑ කොල්ලකුට වරදින්නේ නැති බව ඔප්පු කරමින් ‘මඩොල් දූවෙන්’ගමන ඇරඹූ අජිත් ඉන් පසුව ගැහැනු ළමයි – සීතාදේවි- අමල්බිසෝ ආදී චිත්‍රපට ගණනාවක රංගනයේ යෙදෙමින් පෙරට අවේය.ඒ අතර වේදිකාවේ ද විවිධ චරිත ඔහුට ලැබුණි. ‘මලට නොඑන බඹරු’චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයත් රඟපෑ අජිත් යසපාලිත නානායක්කාරගේ රෝසි-ජය සිකුරු ආදී විනෝදාත්මක චිත්‍රපට තුළින් ජනප්‍රිය ධාරාවේ ඉදිරියට ගියේය. හින්දි නළුවකු සේ කඩවසම් රුවින් යුතු අජිත් ජිනදාස එම චිත්‍රපටවල කළ රංගනය රසික සිත් වසඟ කළේය.

සිනමාවේදී සමීප වූ විජය කුමාරතුංග මානව හිතවාදියාණන් සමඟ එක්ව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ දර්ශනය අනුව ඉදිරි ගමනක් යද්දී විජය මරා දැමුවේ අජිත් ඇතුළු අනුගාමිකයන් සුවහසකගේ පැතුම් ද සුන් කරලමිනි. ඉන්පසුව සබරගමු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ අජිත්ට එහිදී වෙඩි ප්‍රහාර එල්ල විය. සිදුවීම් මාලාවක අවසානය වූයේ තවත් කලකට පසුව අජිත් ජිනදාස නමැති දක්ෂ ජනප්‍රිය රංගත ශිල්පියා සිංහල කලා ලෝකයට අහිමිවීමය. එනම් ඔහු සිය බිරිඳ චිල්කා සහ පුතු ගජිත් සමඟ කැනඩාවේ ටොරොන්ටෝවල පදිංචියට යාමය.

අජිත් එසේ කැනඩාවේ පදිංචියට ගොස් වසර දහ අටකි. ඒ අතර ඔහු දෙවතාවත් ලංකාවට ඇවිත් ගියේය.පසුගිය පෙබරවාරි 13 වෙනිදා අජිත් මව්බිමට පැමිණියේ තුන්වෙනි වතාවටයි. ඒ ආ විට පැරැණි මිතුරා යළි හමුවිය.

“අම්මා අසනීපෙන් ඉන්නවා. මූලිකම අරමුණ වුණේ අම්මා බලන්නයි.තවත් ‘හේතු පෙරහැරක්’ තියෙනවා. ඒවායින් අංශුමාත්‍රයක් විතර ඉවර කරන්නයි වෙන්නෙ. කොළඹ තියෙන තදබදේ දැක්කම හිසරදය හැදෙනවා….”අජිත් කතාබහට මුල පිරුවේ එසේය.

මීට වසර දෙකකට පෙරද අජිත් හදිසියේ ලංකාවට ඇවිත් ගියේය. මේ වත‍ාවේ ආ විට‍ දුටු ‘වෙනස’ ගැන ඔහු කියන්නේ මෙසේය.

“දේශපාලන වෙනසක් සිදු වුණානේ. ඒ වෙනසේ ධනාත්මක- ඍණාත්මක බව සමාජය අත්විඳින හැටි පෙනෙනවා. ධනාත්මක දේ හැටියට පෙනෙන්නේ නිදහස – මානව හිමිකම් සුරැකීම- පවතින රජය පවා විවේචනය කිරීමට ජනතාවට ඉඩ ලැබීම ආදියයි.ඍණාත්මක දේ හැටියට යමක් කැපී පෙනෙන ලෙස සිදු නොවීම – ආර්ථිකය මන්දගාමී යන මැසිවිල්ල ආදිය පෙනෙන්න තියෙනවා. ඒ වගේම එදා සිට දේශපාලන ක්‍රියාකාරීන් ලෙස අපි හිටිය නිසා ඒ සම්බන්ධ අත්දැකීම් රාශියක් තියෙනවා. නමුත් මේ වතාවේ මේ වෙනස ඇති කරන්න කළ සුවහසක් පිරිසක් ඇඩ්‍රස් නැතුව ඉන්න බව පෙනෙනවා.මගේ මල්ලීත් එයින් කෙනෙක්. අපි කැනඩාවේ සිට මේ වෙනස ඇති කරන්න ජනතාව උනන්දු කරවීම සඳහා Face Book මඟින් පවා අපේ රැස්වීම්වල වීඩියෝ හා හඬපටත් ප්‍රචාරය කළා. Face Book හා වෙනත් සමාජ වෙබ් අඩිවි තුළිනුත් විශාල දායකත්වයක් මේ සඳහා ලැබුණු බව නොරහසක්. නමුත් වෙනස ඇති වූ පසුව බොහෝ දෙනාගේ සිත් රිදී තිබෙන්නේ ඇතැම් සිදුවීම් නිසයි. මේ ‘යථාර්ථය’ ගැන කතා කරන්න මට ජනාධිපතිතුමන් හමුවෙන්න අවස්ථාවක් ලබා ගන්නත් මම බලාපොරොත්තු වෙනවා.”

විජය කුමාරතුංගයන්ගේ දේශපාලනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ සියලු ආකාරයේ අන්තවාදයන් පිටු දැකීමයි. විජය ජීවත්ව සිටිය දී ‘ජාතික ප්‍රශ්නය විසඳීම’ යන මාතෘකාවට මුල්තැන දෙමින් එල්ටීටීඊ සංවිධානය සමඟ සෘජු සාකච්ඡාවලට යාපනයට පමණක් නොව මදුරාසියටද ගියේය. ජනතාවගේ විමුක්තිය පතන බවට මොරදුන් අන්තවාදීන් ඔහුට මරණ වරෙන්තු නිකුත් කරන්නට මූලික හේතුවක් වූයේද මෙයමය.

“කැනඩාවේදී මානව හිමිකම් පැත්තෙන් ‍මගේ ක්‍රියාකාරිත්වය විශාලයි.වැඩිම දෙමළ ජනතාවක් ඉන්නේ ටොරොන්ටෝවලයි.ඔවුන් සමඟ කරට කර වැඩ කරන එකම සිංහලයාත් මම වෙන්න ඇති.විජය කුමාරතුංග කියන නාමයට ඔවුන් තුළ උපරිම ගරුත්වයක් තියෙනවා. ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියටත් ගරුත්වයක් දක්වනවා. අප වැඩ කළ විදිහ අවංක බව පිළිගත් නිසයි ඒ ගරුත්වය. සංහිඳියාව ඇති කිරීමේදී අවංකත්වය තමයි වැදගත් වෙන්නේ. හෘදසාක්ෂියට එකඟව අවංකව කැපවිය යුතුය.පසුගිය නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙන් අවංකභාවයක් ඔප්පු වුනා.ආර්.සම්බන්දන් විපක්ෂ නායකතුමාගේ දෑසට කඳුළු ආවා. විග්නේෂ්වරන් මහ ඇමැතිතුමා පන්සල් ගිහින් හැඟීම්බර කතාවක් කළා.විජය සමඟ සිටි කාලයේ පටන් – විජය මරා දැමූ කාලයේ පටන් – පළාත් සභා ඉල්ලූ කාලයේ පටන්- පසුකාලයක අපට හමු වූ Face Book තෝතැන්නේ සිට පවා මම අවංකව පෙනී සිටියේ ජාතික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් අවශ්‍ය බවට වන මත‍යේය. ඒ නිසා ජාතික සංහිඳියාව සඳහා මේ යුගයේ ගන්නා පියවර ගැන නම් මම සතුටු වෙනවා.” අජිත් කියයි.

ආනන්දයේ ඉගෙනුම ලැබූ යුගයේ ක්‍රිකට් නායකයා වූ ආදෙල් හෂීම්- විවාද කණ්ඩායම් නායකයා වූ ඉම්ටියාස් බාකීර් මාකර් මෙන්ම දෙමළ මිතුරන්ද කනබාලසිහෙම් වැනි දෙමළ ගුරුවරුන්ද එදා පැවැති සංහිඳියාව මූර්තිමත් කළ බව අජිත් ජිනදාසට තාම මතකය.

“..ඒ සියල්ල විනාශ වීමේ පදනම වැටුණේ කළුජූලියෙනුයි.ඉන් පස්සේ රටම විනාශකාරී යුද්ධයකට ඇදගෙන ගියා. යුද්ධය කියන්නේ කොන්දේසි විරහිත විනාශයයි‍. ඒ තරම් විනාශයකින් පසුවත් අපේ බොහෝ දෙනාට යථාර්ථය වටහාගන්න බැරි වීම ඛේදවාචකයක්. ඒ වගේම අපේ මිනිස්සුන්ගේ දුර්වලකමක් තමයි පරාධීන සිතුවිලි ඇති කර ගැනීම. පසුගිය කාලයේ විශාල ජනතා දේපොළ කොල්ලයක් සිදුවුණානේ.කැනඩාව වගේ රටක මේ තරම් තියා සුළු පරිමාණ ජනතා දේපොළ කොල්ලයක් හෝ සිදුවුණා නම් ජනතාව ප්‍රවාහයක් වගේ නැඟී සිටිනවා. වර්තමාන නායකයා පෙරහැරවල් අරන් යන්නේ නැතුව විදේශ සංචාරවල යෙදීම හා වෙනත් සාධනීය ඉතිරිකිරීම් සිදු කළත් සමහර ජනයාට ඒ ගැන වගක් නෑ.ආර්ථිකයේ යම් පසුබෑමක් ඇති බව ඇත්ත. ඒත් ඊට හේතුව එදා වගේ ප්‍රකෝටි ගණන් කළු සල්ලි සංසරණය නොවීම බව හිතන්නේ කීයෙන් කී දෙනාද?‍‍‍…..”

අජිත් ජිනදාස මට හමුවන විට සිටියේ කැනඩාවේ university of Prince Edward Island හි ආර්ථික විද්‍යා අංශයේ අධිපති ආචාර්ය විමල් රන්කඩුව ද සමඟය. ඔහු ද එහි මානව ක්‍රියාධරයෙකි.අපේ ප්‍රවීණ නිළියක්ව සිටි ලීනා ද සිල්වා සහ ශ්‍යාමා ආනන්ද ද පදිංචිව සිටින්නේ කැනඩාවේය.

අජිත් ජිනදාස ලංකාවට ආවේ පෙබරවාරි 13 වෙනිදාය. 14 වෙනිදා උදේ පුංචි පෙර පුහුණුවකින් පසුව වසර 31කට පසුව ‘මායා දේවී’ වේදිකා නාට්‍යයේ සුගත්ගේ චරිතය පුංචි තියටර්හිදී රඟපෑම අපූරු සිදුවීමකි.

“..අලුත් නිළියක් සරස්වතී චරිතය කළ නිසා පොඩි පුහුණුවක් කළා.අවුරුදු 31ක් නොකළත් විශ්වාසයෙන් මගේ චරිතය මම රඟපෑවා. පුදුමෙ කියන්නෙ අපේ අනිත් නළුවන්ටත් වැඩිය මට දෙබස් මතක තිබුණා…” ඔහු සිනාසෙමින් කීය. මාර්තු මුල් සතිය දක්වා අජිත් මව්බමේ රැඳී සිටිනු ඇත. රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් තුළින් අජිත් ජිනදාස හමුවන්නට එතෙක් ඔහුට ළැදි රසික පිරිසට හැකිවනු ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here