සිනමා රසික ආකර්ෂණය දිනූ ගීතා කුමාරසිංහ

0
44
Geetha Kumarasingha Enlighting Star

සිනමා රසික ආකර්ෂණය දිනූ ගීතා කුමාරසිංහ (Geetha Kumarasingha Enlighting Star)

හැත්තෑව දශකයේ ලාංකේය සිනමාවේ නිළි භූමිකාව තුළ කැපී පෙනුනු තත්ත්වයක් වූයේ එය පැහැදිලිවම රංගන හැකියාව මෙන්ම ජනප්‍රියත්වය අතර දෝලනය වෙමින් තිබුණු සංස්කෘතික ප්‍රතිරූපයක් වීමයි.

එදා චිත්‍රපට රංගන ශිල්පිනියන් ලෙස සමාජයට නිරාවරණය වූ බොහෝ අය ප්‍රබල රංගන හැකියාවත්, සමාජය පුරා පැතිරුණු ජනප්‍රියත්වයත් මනාව කළමනාකරණය කර ගත් ඒ කාරණා දෙක තුළින්ම ලද ප්‍රේක්ෂක ආකර්ෂණයත් පවත්වා ගත් ශිල්පිනීන් විය.

පනහ දශකයේදී රුක්මණී දේවියගේ ආකර්ෂණීය ප්‍රතිරූපයත් සමඟ ඇරඹුණු ‘චිත්‍රපට නිළිය’ පිළිබඳ අපේ සමාජයේ පැතිර ගිය උන්මාදනීය ආකර්ෂණය හැත්තෑව දශකයේ මැද භාගය වන විට එහි ඉහළම තලය දක්වා ළඟා වූයේය යන්න හොඳින් පැහැදිලිය.

මාලිනී ෆොන්සේකාගේ සිට ශ්‍රියානි අමරසේන, අනුලා කරුණාතිලක, සුමනා අමරසිංහ, සුවිනීතා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, ස්වර්ණා මල්ලවාරච්චි, ස්වර්ණා කහවිට, සෝනියා දිසානායක දක්වා එදා ජනප්‍රියව සිටි රංග ශිල්පිනියන් තුළින් මේ සත්‍යය මනාව ප්‍රකට විය.

ඔවුන් සියලු දෙනාම ජනප්‍රිය සිනමා රසික ආකර්ෂණයත්, රංගන කුසලතාවත් මනාව එක් තැන් කළ සිනමා තාරකාවන් විය.

සිනමා රංගන ශිල්පීන් ලෙස ගාමිණී, විජය, ටෝනි, තිස්ස, රවීන්ද්‍ර වැනියවුන් ලබා ගත් රසික ආකර්ෂණයම මේ සිනමා තාරකා ශිල්පිනියන් ද එලෙසම ලබා සිටියහ.

සිනමා නිළියන් පිළිබඳ ජනප්‍රිය ආකර්ෂණීය ප්‍රතිරූපය මෙවැනි ඉහළම තලයක පැවති හැත්තෑව දශකයේ මැද භාගයේ තවත් එක් දිගු රංගන චාරිකාවක ආරම්භය සනිටුහන් කරමින් සුන්දර තරුණ නිළියකගේ සිත් පැහැර ගන්නා මුහුණක් සිනමා තිරය මත පතිත විය.

1975 දී තිරගත වූ නීල් රූපසිංහගේ ‘ලස්සන කෙල්ල’ චිත්‍රපටය මෙරට සිනමා රසිකයන්ට නැවුම් ආරක සුන්දරත්වයකින් හා දඟකාර කෙළිලොල් චර්යාවන්ගෙන් යුතු ‘ලස්සන කෙල්ලක්’ දායාද කොට තිබුණි.

බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක වූ පාසල් යන වියේ යොවුන් තරුණියක වූ ඇය නමින් ‘ගීතා සමන්මලී කුමාරසිංහ’ නම් විය. ‘ලස්සන කෙල්ල’ චිත්‍රපටයේ සරල ආකර්ෂණීය රංගනයත් සමඟ සිනමාවට එක් වූ ඇය පසු කලෙක මුළු මහත් ශ්‍රී ලංකාවේ චිත්‍රපට රසිකයින්ගේ ජනප්‍රියතම සිනමා තාරකාවක් මෙන්ම ලාංකික ගැහැනියගේ විවිධ සමාජ හැඩ තල නිරූපණය කළ විශිෂ්ට රංගන ශිල්පිනියක ලෙස මෙරට සිනමා ඉතිහාසයේ අපූර්ව මුද්‍රාවක් සටහන් කරන්නට සමත් වූවාය.

එතෙක් මෙරට සිනමාවේ දක්නට නොලැබුණු නව ප්‍රතිරූපයක් ලෙස ප්‍රේක්ෂක මනසේ තැන්පත් වූ ගීතා, චිත්‍රපට රංගනයේ නව ඉසව් ස්පර්ශ කරමින්, විශිෂ්ට රංගන ශිල්පිනියක් සේ සම්මානයට ද බඳුන් වන්නට සමත් වූවාය.

1975 දී ‘ලස්සන කෙල්ල’ චිත්‍රපටය තුළින් සිනමා තිරයට එක් වූව ද, ඇය චිත්‍රපට නිළියක ලෙස කැමරාවට මුලින්ම මුහුණ දුන්නේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘වාසනා’ චිත්‍රපටයෙනි.

(එහෙත් මුලින්ම තිරගත වූයේ ‘ලස්සන කෙල්ල’ චිත්‍රපටයයි). ‘ලස්සන කෙල්ල’ චිත්‍රපටයෙන් හා ‘වාසනා’ චිත්‍රපටයෙන් ගීතා දැක් වූ රංග කුසලතාව හා නැවුම් චර්යාවන් නිසාම ඇයට චිත්‍රපට ගණනාවකට එක්වන්නට හැකි වූවාය.

ඒ බොහෝ චිත්‍රපට ජනප්‍රිය වානිජ ලක්ෂණ රැගත් චිත්‍රපට වුණත් ගීතා කුමාරසිංහ නම් රංගන ශිල්පිනිය අපේ සිනමාවේ ස්ථාපිතවීමටත් පොදු ප්‍රේක්ෂකයා අතර ගිලිහී නොයන රසික ආකර්ෂණයත් ලබා ගන්නටත් ඒ මුල් යුගයේ චිත්‍රපට සියල්ල ඇයට උපකාරී විය.

‘ඇගේ ආදර කථාව, දමයන්ති, පෙම්බර මධු, චණ්ඩි පුතා, අපේක්ෂා, මධුවන්ති, නිලූකා’ ආදී චිත්‍රපට ගණනාවක් ඔස්සේ ගීතාට පොදු ප්‍රේක්ෂක මනස ග්‍රහණය කර ගන්නටත්, ඔවුන්ගේ මුවග නිතර රැව් පිළිරැව් දෙන නාමයක් බවට පත්වන්නටත් හැකියාව හා වාසනාව ලැබුණි.

ඒ මුල් යුගයේදී වුව ද සුගතපාල සෙනරත් යාපාගේ ‘පෙම්බර මධු’ චිත්‍රපටයේ ඇය රඟපෑ ‘ඩල්සි’ ගේ චරිතය ප්‍රේක්ෂකයාගේත්, සිනමා ලෝකයේත් ආන්දෝලනයට තුඩු දුන් අභියෝගාත්මක චරිතයක් විය.

ගීතා කුමාරසිංහ නම් ප්‍රබල රංගන ශිල්පිනියගේ රංග කුසලතා මනාව ප්‍රකට වූ සුවිශේෂ චරිත රංගනයන් එළි දකින්නට වූයේ හැත්තෑව දශකයේ අග භාගයේදී හා අසූව දශකයේ මුල් යුගයේදීය. ‘මරුවා සමඟ වාසේ’, ‘සිරිබෝ අයියා’, ‘කරුමක්කාරයෝ’, ‘පොඩි මල්ලී’, ‘මහ ගෙදර’, ‘හිම කතර’, ‘සතර දිගන්තය’, ‘කොටි වලිගය’, ‘මායා’, ‘සූර සරදියෙල්’ වැනි චිත්‍රපට පෙළක් මගින් ඇය තමා ප්‍රබල රංගන කුසලතා සපිරි රංගන ශිල්පිනියක් බව ඔප්පු කොට සිටියාය.

මේ චිත්‍රපටවල චරිත ඇතැම් ඒවා ප්‍රධාන චරිත වුව ද ඇතැම් චරිත උප ප්‍රධාන චරිත විය. එහෙත් ඒ කුමන චරිතයක වුව ද මූලික ස්වභාවය හඳුනා ගනිමින් චරිතයේ ලක්ෂණ මනාව ප්‍රේක්ෂකයාට සන්නිවේදනය කරන්නට ඇය සමත් වූ බව පෙනේ. (උදා – ‘සිරිබෝ අයියා’, ‘පොඩි මල්ලී’, ‘මහ ගෙදර’, ‘මායා’ ආදිය). මෙරට ආන්දෝලනාත්මක නව කථාවක් ඇසුරෙන් තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටයේ සෝමක්කාගේ චරිතය ගීතාගේ් රංගන දිවියේ වඩාත් අභියෝගාත්මක චරිතයක් විය.

ගැහැනිය ගේ අභ්‍යන්තරික ජීවිත ආශාවන්, හැඟුම් මාලාවන් සහ සමාජ ආචාර ධර්ම හා සංස්කෘතික ආකල්ප අතර ගැටුම මැද සිර වුණු ඛේදනීය චරිතයක් වන ‘කරුමක්කාරයෝ’ හි සෝමා පිළිබඳ ගීතා අභිරුචියෙන් කථා කරන්නීය.

‘පිරිමින් තිදෙනෙකුගේ ග්‍රහණයට මැදි වූ සෝමක්කා ගේ චරිතයෙන් සංකේතවත් වුණේ් මුළු මහත් සමාජයේම ගැහැනිය විසින් මුහුණ දෙන අතිශය ඛේදනීය ඉරණමයි. තමන්ගේ කරුමය විදිහට ජීවිතයේ සියල්ල විඳ දරා ගන්නා ගැහැනියගේ ආත්මීය විවරණය ඒ චරිතය හරහා පිළිබිඹු වුණා කියා මට හිතෙනවා.

ප්‍රේමය හුදු ආශාවක් ද නැත්නම් ගැඹුරු ධර්මයක් ද කියන පැනයට බුදු දහම හරහා සත්‍යය විමසන්නට මේ චිත්‍රපටය උත්සාහ කොට තිබෙනවා’. කරුමක්කාරයෝ චිත්‍රපටයේ සෝමක්කා ලෙස ගීතා කළ රංගනය විචාරකයින්ගේ නොමඳ අවධානයට ද ලක් විය.

ගීතා කුමාරසිංහ රංගන ශිල්පිනියගේ තවත් ප්‍රබල රංගන අවස්ථා දෙකක් ලෙස ප්‍රේක්ෂක මනසේ තැන්පත් වී ඇත්තේ ‘පාලම යට’ චිත්‍රපටයේ ඩොටී සහ ‘ලොකු දුව‘ චිත්‍රපටයේ පුන්නාය.

මේ චිත්‍රපට දෙකම ඇගේම නිෂ්පාදන විය. කුලසේන ෆොන්සේකාගේ නව කථාවක් ඇසුරෙන් එච්. ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘පාලම යට’ චිත්‍රපටයෙන් විවරණය වුණේ කැලණි පාලම ආශ්‍රිතව ජීවත් වන පහළ පන්තික ගැහැනියකගේ ඛේදවාචකයයි.

සියුම් ලෙස දිග හැරෙන මේ චරිතය ද ගීතා කුමාරසිංහ නම් සුන්දර තාරකාවගේ මතුපිට සුන්දරත්වය ඉවත ළා ඇය තුළ ජීවත් වූ සැබෑ ගැහැනියත්, විශිෂ්ට රංග ශිල්පිනියත් ප්‍රබල කම්පනයක් දැනෙන ලෙස ඉස්මතු වූ අවස්ථාවකි.

ගීතා මේ චරිතය පිළිබඳ ද සිහිපත් කරන්නේ ආශාවෙනි. ‘පාලම යට’ මගේ සිනමා ජීවිතයත්, රංගනයත් පරිපූර්ණත්වයට පත් කළ චිත්‍රපටයක්. හොඳම සහ ජනප්‍රියම චිත්‍රපටය ලෙසත්, හොඳම හා ජනප්‍රියම නිළිය ලෙසත් සම්මාන හතරක් සරසවිය සම්මාන උළෙලේ දී එය දිනා ගත්තා. ඒ වගේම ජනාධිපති හා ස්වර්ණ සංඛ සම්මානවලිනුත් පාලම යට ඇගැයීමට ලක් වුණා’.

සුමිත්‍රා පීරිස්ගේ ‘ලොකු දුව‘ චිත්‍රපටය තුළින් ඇයට අභියෝගාත්මක චරිතයකට හා රංගනයකට මුහුණ දෙන්නට සිදු විය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ මෙන්ම පසුකාලීන පරපුරේ ප්‍රබල රංග ශිල්පීන් දෙදෙනෙකු වන ජැක්සන් ඇන්තනි හා කමල් අද්දරආරච්චි සමඟ චරිතයේ ගුණාංග නොබිඳෙන සේ කළ යුතු රංගනය වඩාත් අභියෝගාත්මක වුවත් ඇය එය ප්‍රබල ලෙස ඉටු කරන්නට සමත් වූවාය.

ඒ වසරේ ද හොඳම නිළිය හා ජනප්‍රිය නිළිය සේ සම්මාන ලබන්නට ඇයට හැකි විය. අනූව දශකයේ දී ගීතා කුමාරසිංහ නම් මෙරට ප්‍රබල රංගන ශිල්පිනිය තම සිනමා ජීවිතයේ තෘප්තිමත්ම හා ප්‍රබලම රංගන අවස්ථා මෙරට සිනමා ප්‍රේක්කෂකයින්ට දායාදා කරන්නට හැකි වූවාය.

උදයකාන්ත වර්ණසූරියගේ්’රන්දිය දහර’ චිත්‍රපටයේ අමාලිගේ් චරිතය ගීතා මෑතකාලීනව තම රංග කුසලතාව මනාව පළ කළ අවසාන චිත්‍රපටයයි. මේ චිත්‍රපටය පිළිබඳ ඇගේ තක්සේරුව හා මතකය අපූරුය.

යුද්ධයේ සුන්බුන් අතරින් මතු වූ චරිත කීපයක් වටා ගෙතුණු රන්දිය දහර චිත්‍රපටයේ මා රඟ පෑ අමාලිගේ චරිතය හරහා කිය වෙන්නේ් ඒ කටුක යථාර්ථයයි. තම දරුවා වෙනුවෙන් ජීවිතය කැප කරන අමාලි පහළ නාගරික සමාජ ස්ථරයේ ගැහැනියක්. විවිධ විසතුරු සමාජ ප්‍රවණතා හා මනෝ භාවයන්ට ගොදුරු වන ඇගේ චරිතය මට අභියෝගයක් වුණා. නැවතත් ජැක්සන් හා කමල් සමඟ කරට කර ගැටෙමින් රංගනය ඉදිරිපත් කරන්නට සිදුවීම නිසා ඒ අභියෝගයේ බර දැඩිව දැනුණා. රන්දිය දහර චිත්‍රපටයේ අමාලිගේ් චරිතය ද ගීතා වෙත හොඳම නිළිය සම්මාන රැගෙන ආවේ ඇගේ ශ්‍රමය හා කැපවීම අගය කරමිනි.

වසර තිස් පහක රංගන ජීවිතයක අත්දැකීම් සහිත ගීතා කුමාරසිංහ නම් මනා තාරකා ගුණයක් ප්‍රකට කළ මේ චිත්‍රපට රංගන ශිල්පිනියට ප්‍රේක්ෂක සමාජයේ පවතින ආකර්ෂණය හා ගෞරවය තවමත් එලෙසමය.

සොඳුරු දඟකාර යෞවනියක සේ සිනමාවට පිවිසුණු ඇය, සිනමාවේ රංගන අත්දැකීම් වලින්ම ජීවිතයේ යථාර්ථය හඳුනා ගන්නට හැකියාව ලද්දාය. ඇගේ රංගනය පරිණත වන තරමට සාපේක්ෂව ජීවිතයේ ගති සොබාව පිළිබඳ ඇගේ දැක්මද පරිනත විය.

තමා සිනමාවෙන් ලද අතිශය ආකර්ෂණීය ජනප්‍රියත්වය සිනමාවේ මෙන්ම සමාජයේ ද අභිවෘද්ධය උදෙසා යොදවන්ට ඇය හැම විටම උත්සාහ කළාය. අද සිය සිනමා ජීවිතයේත්, සමාජ ජීවිතයේත් ප්‍රබලම මංසන්ධියකට පැමිණ සිටින ගීතා කුමාරසිංහ නම් පරිණත නිළිය හා කාන්තාව ඇගේ ඉදිරි පියවර තබන්නේ කුමන මාවතක් වෙතටදැයි ඇගේ දයාබර ප්‍රේක්ෂකයින් දයාර්ද සිතන් හා විමසිලිමත් දෑසින් අනාගතය දෙස බලා සිටිති.

– පූර්ණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here