ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

0
45
Sri Lankan Cinema Fighters

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters)

ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ අනිවාරයෙන්ම ඉන්දියාවෙන්ය.

මේ ගහ මරාගැනීම්, අප සටන් යැයි ශිෂ්ඨ ලෙස හදුන්වමු. ලාංකේය සිනමාවට සටන් මුල සිටම හදුන්වා දී තිබුනි. ඒ ඉන්දියන් ක්‍රමයටය. මුලින් මුලින් සටන් ඇතුලත්වූයේ රජ කථා වලටය. “දුෂ්ඨය ගනු කඩුව එනු සටනට,” කියමින් පසු ඇතිවන කඩුහරඹ සිනමා සටන් විය. අපි දකින්නේ, හා ඇසෙන්නෙ දෙදෙනා කැරකි කැරකී දගලන අන්දමත්, “ටටං ටටං”ගා කඩු දෙක වදින ශබ්දයත් පමණි. බොහෝ වෙලා කැරකි කැරකි සිටි ඔවුන් ,එක්වරම එකෙකුට කඩුවෙන් අනී. ඒ කඩුපහර කන්නේ දුෂ්ඨයාය. ඔහු මැරී වැටේ. රජ,හෝ කුමාරයා හෝ රාජකීය පෙම්වතා ජය ගනී.

ඉන්පසු පැමිණි හැම චිත්‍රපටයකම වීරයා දුෂ්ඨයා, අන්ත දෙකක සිට එකිනෙකටෙ අභියෝග කර ගති. ඒ බොහෝ අවස්ථා වලදී දුෂ්ඨයා , වීරයාගේ පෙම්වතියට පෙම් බදියි. පෙම්වතිය දුෂ්ඨයාට කැමති නැත. එහෙයින් දුෂ්ඨයා පෙම්වතියව පැහැරගෙන යයි. ඒ පැහැරගෙන යන්නෙත් එක්කෝ කැලෑවකටය, එසේත් නැත්නම්, කන්දක් මුදුනකටය, පෙම්වතා කෙසේ හෝ සොයා එයි. සටන ඇවිලෙන්නේ එතැනදීය. ඉන්පසු ඔවුන් දෙදෙනා පැයක් පමන සටන් කරති. ඒ සටන් කරන අන්දමට, ඔවුන් දෙදෙනා මැරෙන්නේ පලවෙනි විනාඩි පහේදීමය. නමුත් ගහන්න ගහන්න නැගිටින, නැගිටින්න නැගිටින්න ගහන, මේ සිනමා සටන් කලාවට ප්‍රේක්ෂකයන්ද ප්‍රියය. අවසානයේ දුෂ්ඨයා පරදී. පෙම්වතා, පෙම්වතියව බේරා ගනී. ඉන් පසු පොලිසිය පැමිනේ. පැමින බිමවැටි සිටින දුෂ්ඨයාට අතින් පයින් ඇන ජීප් රථයට දමාගෙන රැගෙන යයි.

මේ ක්‍රමය ඇත්තේ බහුලව ඉන්දියාව, පකිස්තානය හා ලාංකාවෙ චිත්‍රපටවලය. එම සටන් ක්‍රමයට අනුචිතව සටන් නලුවන් බිහිවිය. සටන් නලුවන් කෙතෙක් බිහිවුනිද, ඔවුන්ව අභිබවා යෑමට හැකිවන ලෙස ප්‍රධාන නලුවාද සටන් පුහුණු විය යුතුය.
50 දශකයේ සිංහල සිනමාව තුල සටන් ජවනිකා තිබුනද, ඒවා බෝනික්කන් දෙදෙනෙක් සෙල්ලම් කරනවාක් මෙනි.එකල සටන් නලුවන් කියා වෙනම කන්ඩායමක් සිටියේ නැත. . එහෙත් 60දශකය එලඹෙන විට අපේ සටන් ක්‍රමය පියවරෙන් පියවර ක්‍රමානූකූලවන්නට විය. විශේෂයෙන්ම ගාමිණි ෆොන්සේකාගේ ආගමනය ලාංකේය සිනමා සටන් කලාව, නවමු වෙනසකට පරිවර්තනය වන්නට විය.

“රන් මුතු දූව” චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා හා කාල් ගුනසේන හා අතර ඇතිවූ සටන ,ඒ පරිවර්තනයේ ආරම්භය විය. එහෙත් එය දෙදෙරුම් කෑවේ ගාමිණී ෆොන්සේකා, එච් ඩී කුලතුංග හා රොබින් ප්‍රනාන්දුගෙන්ය. ඒ ටයිටස් තොටවත්ත ගේ “චන්ඩියා” චිත්‍රපටය තුලිනි. ලාංකේය සිනමාවේ නියම සටන් ක්‍රමය ඇරඹුනේ එතැන් සිටය. එතෙක් තිබුනේ මේ සටන්ද, නැත්නම් නැටුම්ද, කියා තෝරා ගන්නට බැරි ඒවාය රන්මුතු දූව, චන්ඩියා තිරගත වීමට ප්‍රථම පෙන්වූ චිත්‍රපට වල නැටුම් පෙන්වන විට ඒවා සටන් කියා සිතේ. නළුවන් සටන් කරන විට ඒවා නැටුම් කියා සිතේ. එහෙත් රන්මුතු දූවෙන් ඇරඹූ නියම සටන් කලාව චන්ඩියා තුලින් තිව්ර විය. ගාමිණි ෆොන්සේකා සුපිරි සටන් නළුවෙක් ලෙස කල එලි බැස්සේ චන්ඩියා චිත්‍රපටයෙනි. ගාමිණී-කුලතුංග-රොබින් ගේ අත් පා විදුලියක් මෙන් හැසිරවුයේත් , ජවය තුලින් ඇගට දැනෙන සටන් කලාවට අවතීර්ණ වුයේ චන්ඩියා චිත්‍රපටයෙනි. ලාංකේය සිනමාවට රගපෑම, විනෝදාත්මක චිත්‍රපට,කලාත්මක චිත්‍රපට,ජාත්‍යන්තර චිත්‍රපට, රගපෑමේ විනය, කලා කරුවන්ගේ ගෞරවය වැනි දේ ලබා දුන් ගාමිණී ෆොන්සේකා විසින්ම නියම සටන් කලාවද හදුන්වා දුනි.

චන්ඩියා චිත්‍රපටයෙන් පසු රසික ප්‍රේක්ෂකයන් ගාමිණී ෆොන්සේකා රගපාන චිත්‍රපට වලින් සටන් බලාපොරොත්තු වන්නට විය. ඉන් පසු නැවත සටනක් දකින්නට හැකි වුයේද ගාමිණී ෆොන්සේකාගෙන්මය , ඒ “සතපනහ” හා “සීතල වතුර ” චිත්‍රපට වලිනි . ඒවා චන්ඩියා තරම් ප්‍රබල නොවුවද ඇගට දැනෙන සටන් විය. අර ඉහත කී” නැටුම් සටන්” තත්වය ගාමිණි ෆොන්සේකා විසින් නැත්තටම නැති කළේය.

නැවත සටනක් දකින්නට ලැබුනේ 1967 තිරගත කල “ජේම්ස් බොන්ඩ් ” රහස් පරීක්ෂක කථාවක් තේමා කර ගත් ” හොරුන්ගෙත් හොරු” චිත්‍රපටයෙනි. එහිද රගපෑවේ ගාමිණි ෆොන්සේකාය. එහිදී බටහිර ශෛලයේ සටන් ක්‍රම කීපයක් හදුන්වාදීමට ගාමිණි ෆොන්සේකාට හැකි විය. කතා තේමාවට අනුව සටන් ක්‍රම වල නවීනතාවයක් තිබිය යුතුය. එම ක්‍රමය නම් ප්‍රේක්ෂකයන්ට දැඩිව සිතට කා වැදුනි. ගාමිණි ෆොන්සේකාව පෙම්වතා,සුපෙම්වතා,රසවතා,බලවතා ලෙස පිලිගත් ප්‍රේක්ෂක විචාරක සමුහය, ඔහු චන්ඩින්ගේත් චන්ඩියා ලෙසද ඉස මුදුනින් පිළිගන්නට විය. “රෑන ගිරව්” “ඔක්කොම හරි” ” සූර චෞරයා” තිරගත වුයේද මෙම වසරේමය. එම ත්‍රිත්වයේම රගපාවේ ගාමිණි ෆොන්සේකා වන අතර එම ත්‍රීත්වයම සටනට බර චරිත විය.”චන්ඩියා” චිත්‍රපටයේ ගාමිණීගේ සටන් ප්‍රතිවල්ලභයා වුයේ එච්.ඩී.කුලතුංගය. . රෑන ගිරව්,ඔක්කොම හරි චිත්‍රපට වලද එච්. ඩී ගාමිණීට විරුද්ධව සටන් කෙරීය. එකල ගාමිණි- කුලතුංග සටනක් කී විට බලන්නටත් භයය.. ඒ භය තවත් වැඩි වුණේ මොවුන් දෙදෙනා තිරය ඉරාගෙන පැමිණේවි යන තරමටම සටන් කරන විටය.. එතරම් ජවසම්පන්නය. එතරම් තාත්වීකය .

නැවත සටනක් දෙකක් බලන්නට 1969 වනතෙක් ඉන්නට සිදුවිය. ඒ “බඩුත් එක්ක හොරු” “සූරයන්ගෙත් සූරයා”.”මීමැස්සෝ” වැනි චිත්‍රපට වලින්ය. එම ත්‍රීත්වයේ ද රගපාවේ ගාමිණි ෆොන්සේකාය. එහෙත් ඒ තුලින් තවත් සටන් නළුවන් කීප දෙනෙක් කල එලි බැස්සේය. ඒ වොලී නානායක්කාර , සේනාධීර රූපසිංහ සහ ලයනල් දැරිනියගලය . දැන් ලාංකේය සිනමාවට තාරුණ්‍යයේ ජවය එකතු වෙමින් තිබුණි. මේ තිදෙනාම හොද සටන් කරුවන්ය. විශේෂයෙන් සේනාධීර රුපසිංහ ගාමිණී ෆොන්සේකා සමග කරට කර සිටි සටන් නළුවෙකි.

“රෝමියෝ ජුලියට් කථාවක්” චිත්‍රපටයෙන් තවත් නවක නළුවෙක් සටනට බැසීය. ඒ විජය කුමාරණතුංගය. ඔහු ගෙන ආවේ ඔහුටම හුරු වූ සටන් ක්‍රමයකි .
“දැන් මතකද ” චිත්‍රපටයෙන් ආනන්ද ජයරත්න සටනට එලබුනද එහිදී තවත් නිත්‍ය සටන් නළුවෙක් කලඑළි බැස්සේය. ඒ බන්දු මුණසිංහය.
එම වසරේම තිරගත කල “ආත්ම පූජා” තුල බොහෝ විට තිබු යේ කඩු සටන්ය. නමුත් ඒවා “ගනු කඩුව, එනු සටනට” වැනි බාල කොමඩි ගනයේ කඩු සටන් නොව. ත්‍රාසය මුසු ක්‍රමානුකුලවූ සටන්ය . එහි නැවතත් ගාමිණි- කුලතුංග සමග හැප්පුණු අතර ගාමිණී – ගාමිණී ද හැප්පුනි. ඒ ඔහු එහි ද්විත්ව චරිතයක් කල නිසාය . එලෙසම “ඔහොම හොදද” චිත්‍රපටයෙන් පසු කලෙක දක්‍ෂ සටන් නළුවෙක් බිහිවිය ඒ “ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුය. . එලෙසම බැප්ටිස්ට් ප්‍රනාන්දුද හොද සටන් නළුවෙක් විය. එය ඔහු මනාව ඔප්පු කලේ, “සත පනහා” සහ “ඔහොම හොදද” චිත්‍රපට වල ගාමිණි ෆොන්සේකා ගේ ප්‍රතිවල්ලභයා ලෙස රගපාමිනි.
එතැන් පටන් හැම ප්‍රධාන නළුවෙක්ම සටන් කලාව ප්‍රගුණ කල යුතුව තිබුනද, ගාමිණි ෆොන්සේකා, හැරෙන්නට හොද සටන් නළුවන් ලෙස බිහිවී තිබුනේ රොබින් ප්‍රනාන්දු, එච්.ඩී. කුලතුංග,සේනාධීර රූපසිංහ , ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,බන්දු මුණසිංහ,යන අයය . එයට පියදාස විජේකෝන්, සරණපාල සූරියආරච්චි,වැන්නන්ද එකතුවිය. 1972 දී “ලොකුම හිනාව” චිත්‍රපටය තුලින් තවත් දක්ෂ සටන් නළුවෙක් බිහිවිය. ඒ. රෙක්ස් කොඩිප්පිලිය . එලෙසම රවින්ද්‍ර රන්දෙනිය තුලද සටනට හොද ජවයක් තිබුණි. “සිරිපාල සහ රන්මැණිකා ” ඇතුළු චිත්‍රපට ගණනාවකම ඔහු තම සටන් හැකියාව පෙන්විය. මර්වින් ජයතුංග- සොමි රත්නායක බොහෝ විට රගපෑවේ දුෂ්ඨ චරිතයන්ය. එහෙයින් ඔවුන් අනිවාරයෙන්ම සටන් කල යුතු වේ. ඔවුන් දෙදෙනාම දක්ෂ සටන් කරුවන් වී චිත්‍රපට ගණනාවකින්ම තම සටන් හැකියාව පෙන්වීය. 80 දශකය වන විට විල්සන් කරුණාරත්න දක්ෂ සටන් නළුවෙක් ලෙස කල එලි බැස තිබුණි. ඉන්පසු ඔහු චිත්‍රපට විශාල ප්‍රමාණයක සටන් නළුවෙකු ලෙස තම ආධිපත්‍ය පතුරවා ගෙන සිටියේය. එයට සමගාමීව ටෙඩි විද්‍යාලංකාර, සරත් සිල්වා,ටිරෝන් මයිකල් නිත්‍ය සටන් කරුවන් විය. ජීවන් කුමාරණතුංග ද මුලින්ම සිනමාවට පැමිණියේ දුෂ්ඨ නළුවකු ලෙසය. එහෙයින් ඔහුවද සටන් නළුවෙකු ගණයට වැටුණු අතර ඔහු ඉතාමත් දක්ෂ ලෙස තිරයේ සටන් කළේය. ක්ලීටස් මෙන්ඩිස් බොක්සිං-ජිම්නාස්ටික් ප්‍රගුණ කල නළුවෙකි. ඔහුගේ සටන් කලාව තුලත් විශේෂත්වයක් තිබුණි.

බොහෝ විට සටන් ජවනිකා දෝලනය වූයේ මෙම චන්ඩියන් හරහාය. එකල බොහෝ ප්‍රේක්ෂකයන් චිත්‍රපට නරඹන්නට ඒමට ප්‍රථම සටන් නළුවන් ගැන විමසිලිමත් වේ .මෙම චන්ඩින් නිසා චිත්‍රපට සාර්ථක වූ වාර නම් අනන්තය. එලෙසම ඔවුන් කල ඒ අපිරීමිත වූ ජීවිත කැපවීමට නිසි අගයක් ලැබුනාදැයි නම් සැක සහිත වේ.

-ශෝන් මැක්ස්මස් දිසානායක –

http://baiscope.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here