“ආලෝකෝ උදපාදි”- අදහස් දැක්ම- ශෝන් මැක්ස්මස් දිසානායක

0
250
Aloko Udapadi

මේඝ වරුෂාවට පුංචි මුතු කුඩයක්
“ආලෝකෝ උදපාදි”

චිත්‍රපට තුලින් චරිත වලට කල හැකි දෑ අපමනය. දැවන්ත පසුතල අභිබවා චරිත මතු කර ගත හැක. ප්‍රේක්ෂකයන් මුලින්ම ගනුදෙනු කරනුයේ චරිත සමගය. දැවැන්ත පසුතල දෙස බලා සෑහීමකට පත්වන්නට, ප්‍රේක්ෂකයා පැමිනෙන්නේ නැත. “ආලෝකෝ උදපාදි”                           (Aloko Udapadi) තුල බොහෝ විට ඉස්මතු වූයේ දැවැන්ත පසුතලයන්ය. එයට සමගාමීව චරිත ඉස්මතු වීම අල්ප විය.

එහෙත් ලාංකීය සිනමාවට Epic වර්ගයේ් චිත්‍රපටයක් පැමිනියේ ප්‍රථම වතාවටය. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ “ගෝඩ් කිං” එකල දැවැන්ත චිත්‍රපටයක් ලෙස හැදින්වූවද, එය නරඔන විට, එහී දැවැන්ත බවක් අප දුටුවේ නැත. “ද ටෙන් කමන්ඩ්මන්ට්ස්” “බෙන්හර්” “ක්ලියෝපැට්රා”, “සොලමන් ඇන්ඩ් ශීබා” වැනි Epic චිත්‍රපට නැරඹූ අපට ‘ ගෝඩ් කිං” කාටුන් චිත්‍රපටයක් බදුය.
දැවන්ත පසුතල,, දහස් ගනන් අතිරේක නලුනිලියන් , යොදවා කල හැක්කේ ඉතිහාස කථා, යුධ හෝ ආගමික කථා පමනි. ඇමරිකා ඇතුලු බටහිර රටවල් වලද, ඉන්දියාවෙිද නිපදවනුයේ එවන් කථා හෝ සිදුවීම්ය. හොලිවුඩ් හී, ඉහත සදහන් චිත්‍රපට සේම, දැන්දැන් ටෙලිවෘත්තාන්තද නිපදවන්නට විය. ‘ගේම් ඔfප් තෝර්න්ස්’ ටෙලි කථා මාලාව එක් නිදසුනකි. එලෙසම ඉන්දියාවේ දැවන්ත චිත්‍රපට පටන් ගැන්මේ ඉතිහාසය 1950ගනන් වල සිටය. “මුගල් ඊ ආසම්’ තුලින් ඇරඹූ එය “සූරජ්” අංගුලිමාලා” “අමරපාලි” “අශෝක්”, ජෝදා අක්බර්” වැනි සිය ගනන් චිත්‍රපට හින්දි, දෙමල, කන්නඩ, මලයාල භාෂාවෙන් නිපදවුනි. මැතකදි ඔවුන් කල දැවැන්තම චිත්‍රපටය වුයේ “බහුබාලිය”.

බටහිර රටවල් මෙන්ම, ඉන්දියාවෙි චිත්‍රපටවලට ජාත්‍යන්තර වෙළද පොලක් එකල සිටම නිර්මානය වී තිබුනි. එහෙයින් නිශ්පාදකයන් ඕනෑම දැවැන්ත නිර්මානයකට අත දිගහැර වියදම් කරනුයේ එයින් විශාල ප්‍රතිලාභයක් ලැබෙන හෙයිනි.

එහෙත් ලංකාවේ, සිනමාකරුවන්ට, ජාත්‍යන්තර වෙලද පොලවල් කෙසේ වෙතත් ලංකාව ඇතුලතද වෙළද පොලක් නොමැති බව දැන දැනම, දැවැන්ත චිත්‍රපට නිපැයීම විශාලතම අභියෝගයකි. එම අභියෝගය භාර ගෙන මුලු ජිවීතයම නැති කර ගැනීමට කව්රුත් කැමති වෙන්නෙ නැත.
එහෙත් චත්‍ර වීරමන්, මෙම අභියෝගයට මුහුණ දුන් එකම පුද්ගලයා යැයි, හදුන්වා දුන්හොත් එය නිවැරදිය. ඒ තුසිත විජේසේනගේ නිශ්පාදනයෙන්, සමන් වීරමන්ගේ තිර රචනයෙන්, භාරත හෙට්ටිආරච්චි ගේ සහය අධ්‍යක්ෂනයෙන්, හා චත්‍ර වීරමන් ගේ අධ්‍යක්ෂනයෙන් බිහිවූ “ආලෝකෝ උදපාදී” සිනමා පටය මගිනි.

එම දැවැන්ත කර්තවයට, චත්‍ර,සමන් ඇතුළු කැල, අනේක දුෂ්කරතා විදිමින්, විශාල ධනස්කන්දයක් වියදම් කරමින් ,විශාල ප්‍රශ්න වලට මුහුණ පාමින් දායක චූවද, දැන් මේ කර්තවය, ප්‍රේක්ෂකයන්ට මුදා හැර ඇත.

මෙම නිපැයුම ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට ඔවුන් විදු අනේක දුක් කරදර, ප්‍රේක්ෂකයන්ට බලපාන්නේ නැත. ඒවා ප්‍රේක්ෂකයන් තකන්නේම නැත. ඒවා ප්‍රේක්ෂකයන්ට වැඩකුත් නැත. ඔවුනට අවශ්‍ය වනුයේ හොද නිර්මානයකි. ඔවුන් මුදලක් ගෙවා , තමාගේ කාලය වෙන්කර බැලීමට යන්නේ එකී නිර්මානයයි. ඔවුනට තුසිතද, සමන්ද, චත්‍රද , කියා පලක් නැත. අවශ්‍ය වනුයේ නිර්මානයයි. එය කොතෙක් දුරට තමන්ගේ වින්දනය හා බද්ධ වීම මිස ඔවුන්ගේ නිශ්පාදන කාර්යේ සිදුවු අදෝනා නොවෙි. එලෙසම මෙහි නියම විනිශ්චය දෙනුයේ, තුසිත,හෝ සමන් හෝ චත්‍ර හෝ නොවේ . නොඑසේ නම් ඔවුන්ට ප්‍රශස්ත ගීත ගයන ඔවුනගේ ගෝලබාලයෝ නැත්නම් යාලු මිත්‍ර නෑදෑයෝ , හා ඔවුනගේ සැලකිලිවලින් පෝෂනය වන ඊනියා මාධ්‍ය කරුවෝ හෝ පුස් විචාරකයෝ නොවේ. තමන්ගේ පෞද්ගලීක මුදල් ගෙවා විත්‍රපටය බලන ප්‍රේක්ෂකයාය. තුසිත,සමන් හෝ චත්‍ර හිස නැමිය යුත්තේ ඔවුනටය. ඒ ඔවුනට තව නිර්මානයක් කිරීම අනුමත කරනුයේ ප්‍රේක්ෂකයා නිසාය.

“ආලෝකෝ උදපාදි” මාරයි, පට්ට, සුපිරි, කියා එක් කොටසක් කියන විට, ‘ඔය කියන තරම් ඒකෙ ඇති දෙයක් නැහැ’කියා තව කට්ටියක් කියනු ඇත. ප්‍රතිචාර විවිධ විය යුතුමය. එහෙත් ඇත්තෙන්ම සොයා බැලිය යුත්තේ, මෙම නිර්මානය මිනිසුන්ගේ සිත් සමග කෙතරම් දුරට බද්ධ වී ඇත්ද යනුයි.

විචාරකයෙකුට පෑන හසුරවන තරම් පහසු කමක් චිත්‍රපටයක් කිරීමෙදි නැත. නමුත් ඔවුන් චිත්‍රපටය කරනුයේ ප්‍රේක්ෂකයන්ට හා විචාරකයන්ටය. එහෙයින් විචාරකයන්ට සාධාරන විනිශ්චය තුල පෑන හැසිරවිය හැකිය.
පලමුව තුසිත, සමන් ,චත්‍ර ඇතුලු කැලට මල් මිටක් පිදිය යුත්තෙ නියම Epic ක්‍රමය ලාංකේය සිනමාවට හදුන්වාදීමේ පුරෝගාමිත්වයටය. එලෙසම දැවැන්ත පසුතල, විශාල රංගන පිරිස් ,බටහිර හා ඉන්දිය epic ක්‍රමයට සමගාමි ලෙස ඉදිරිපත් කිරීමද පැසසුම් සහගතය. එය ලාංකේය සිනමා ආර්ථීකයට කිසිසේත් ඔරොත්තු නොදුන්නද , ඔවුන්ගේ ඒ අභියෝගය, උත්සහය මල් පල ගැන්වී ඇත. අලෝකෝ උදපාදි තුලින් ප්‍රථම වරට ලාංකේය රීදී තීරය දෙදරවන්නට විය.මේ දෙදරුම, අප බොහෝ කුඩාකල සිසිල් බී ද මෙල් ගේ සැම්සන් ඇන්ඩ් ඩිලයිලා නරඹන විට දැනුනි. නමුත් තරමක් ලොකුවී පසු බැලු “බෙන්හර්” “ටෙන් කමන්ඩ්මන්ටස්” දෙදරුම ලගටවත් ඒමට බැරිවීම චත්‍රලගේ වරද නොවේ. එය අප රටේ ආර්ථීකයේ දුර්වල කම නිසාය. ලෝකය පවතින තාක් ලංකාව දියුණු වෙමින් පවතින රටක් වශයෙන් හදුන්වන කොට චත්‍ර ලට සිදුවෙන්නේ “බෙන්හර්” “ටෙන්කමන්මන්ටස්” වැනි දැවැන්ත ආකෘති චිත්‍රපට හැදීම හැකි වෙන්නේ, ලෝකය විනාශ වූවාටත් පසුය.

“ලෝකය යනු අදුරය. අපි ඉපදෙමින්,මැරෙමින් ලෝකයයයි කියමින් සැරිසරන්නේ අදුරකය. ඒ අනුව මේ ලෝක තත්වයෙන්, අලෝක තත්වයකට පත්විය යුතුය. උදපාදි යනු එම තත්වය දැක පහදාගැනීමයි.

ප්‍රබල බාධක ජය ගෙන මුලු මහත් මානව සංහතියම උදෙසා සනාතනික හා අධ්‍යාත්මික දායාදයක් ආරක්ෂාකොට ගනු පිනිස, දැඩි අධිෂ්ඨානයෙන් කැපවූ විශිෂ්ඨ යතිවරයානන් වහන්සේලාගේ මහා ප්‍රයත්නය වස්තුබීජය වූ ආලෝකො උදපාදි ලංකේය සිනමාව තුල විවිධ පැතිකඩ වලින් මං සලකුණු තැබූවකි.

එහෙත් “ආලෝකෝ උදපාදි” හී මාදුටු ප්‍රධානම දුර්වලත්වය, තිරනාටකයයි. තිරනාටකයක් නොමැතිව චිත්‍රපටය රූගත කල බවක් සේ මට දැනේ. චිත්‍රපටයේ මුල් පැය භාගය නම් අතීශයින් ම දුර්වල මට්ටමක තිබුනද, සොලි ආක්‍රමයෙන් පසු චිත්‍රපටයට නව පනක් ආවා සේ සක්‍රිය වන්නට පටන් ගතී. චිත්‍රපටය දැනෙන්නට පටන් ගන්නේ එතැන් සිටය.

මොන අන්දමේ චිත්‍රපට කලත් එ්වා ප්‍රේක්ෂකයන්,තුල පැහැදීමක් ඇති කල යුතුය. එසේ නැත්නම් කුල්මත් කලයුතුය. නොඑසේ නම් ඔවුන් තිගැස්විය යුතුය. එසේත් නැත්නම් එය විනෝදාත්මක විය යුතුය. ආලෝකෝ උදපාදි තුල පැහැදීමක් ඇති වෙන්නේ සාමනේරවරුන්ගේ දර්ශන වලදීය. කුල්මත් වන්නේ, තීය බැමිණිය නිසාය. . තිගැස්සෙන්නේ දාඨීය නිසාය. විනෝදය ලැබෙන්නෙ වලගම්බා නිසාය.

චත්‍ර වීරමන් තුල තිබුනු, ශක්තිය චිත්‍රපටය පුරාම පැතිරි පවති. ඔහු ඔහුගේ කන්ඩායම හසුරවා තිබුනේ පලපුරුදු සංවිධායකයෙකු ලෙසය. චත්‍ර, ලාංකීය හිගන ආර්ථීකයට, අභියෝග කලේ, දැවැන්ත චිත්‍රපටයකිනි. ලංකේය සිනමාව ලෝකය හා මෙතෙක් ගැටුනේ, සම්භාවනීය හෝ කලාත්මක, සරල චිත්‍රපට මාධ්‍යයෙනි. එහෙත් චත්‍ර ගැටෙන්නේ දැවැන්ත චිත්‍රපට මාධ්‍යයෙනි. ආලෝකෝ උදපාදි හී අඩුලුහුඩුකම් තිබුනද, ඇතැම් දර්ශන වල තිබූ විශිෂ්ටත්වයන් එම අඩුලුහුඩුකම් යටපත් කර තිබුනි. එක දිගට නොනවත්වාම යන යුද්ධය නම් එම අතීවිශිෂ්ඨත්වයට කදිම උදාහරනයකි. කිසිදු ලාංකීය සිනමා පටයක නොතිබු මෙවන් දිගු සාර්ථක යුධ සටන් දර්ශන පෙල ලාංකීය සිනමා ඉතිහාස වංශකථාව තුල රන් අකුරින් ලියවිය යුතුමය.
මෙවන් දැවැන්ත චිත්‍රපටයක ව්ශාල භාරදූර කාර්යක් භාර වන්නේ කැමරා අධ්‍යක්ෂනයටය. හැම සැලසුමක්ම සුන් වන්නේ කැමරා අධ්‍යක්ෂනය , මෙම ව්‍යාපෘතියට, නිසි පරිදි නොගැලපුනහොත්ය. එය මෙහෙයවූ ප්‍රභාත් රෝෂන් මෙන්ම දෙවැනි කැමරා ඒකකය මෙහෙයවූ සුරේෂ් ධම්මික මේ භාරදූරත්වය, නිසි ලෙස වටහාගෙන ඇති බවක් පෙනුනා පමනක් නොව, ජාත්‍යන්තර තලයේ Epic සිනමාව හා සමගාමි මට්ටමකටම ඔවුනගේ කැමරා තාක්ෂණය හසුරවා තිබුනි. ‘ආලෝකො උදපාදි” හී එක් විශිෂ්ටත්වයක් ලෙස කැමරා අධ්‍යක්ෂනය නොබියව හදුන්වා දිය හැක.

මෙවන් දැවැන්ත ගනයේ චිත්‍රපට තුල සංගීතය මනා සංයමයකින් කල යුතුවේ. ලෝකය ශබ්ද තාක්ෂණය අද ඇත්තේ ඉහලම මට්ටමකය. සිහින් සුසුමක් පවා පැහැදිලිව දැනෙන ලෙසය අද ශබ්දතාක්ෂනය දියුනුව ඇත්තේ. එම ඩිජිටල් ශබ්ද තරංග වලට අනුරූපිතව දැවැන්ත Epic ශෛලය ට සමගාමිව සංගිතය මෙහෙය වීම ලංකීය රටක පහසුනැත. සංගිතය සමගම ගොඩනැගුනු ඉන්දියාව වැනි රටක නම් මේවා කිරි කජුය. එහෙත් ලාංකීය හිගන සිනමා ආර්ථිකය තුල දැවැන්ත චිත්‍රපටයක නොබියව ව්ශ්මිත ලෙස දර්ශනයෙන් දර්ශනයට සංගීතය බද්ධ කෙරූ මිලින්ද තෙන්නකෝන්, නම් පැසසිය යුතුමය.

මෙය විශාලවූ සිනමා ව්‍යාපෘතියකි.අධ්‍යක්ෂනය ,කැමරා, සංගීතයට අමතරව, සහය අධ්‍යක්ෂන ශිල්පීන්, ආලෝකකරණ තාක්ෂන ශිල්පීන්,සංස්කරනය ,අංග රචනය, විශේෂ ප්‍රයෝග, කලා අධ්‍යක්ෂනය ,දර්ශන රාමු චිත්‍රශිල්පීන්, රංග වස්ත්‍ර නිර්මාන අධ්‍යක්ෂනයන්, ආභරන සැපයුම්,කොන්ඩා මොස්තර ශිල්පීන්,ශබ්ද සැලසුම් ශිල්පීන්, කලා උපදේශකයන්, ශබ්ද සංස්කරන සේවාවන්,වර්න සංයෝජන සේවාවන්, විශේෂ දෘෂ්ටි ප්‍රයෝග ශිල්පීන්, ඇතුලු බොහෝ විශේෂ අවශේෂ සේවාවන් සම්බන්ධිකරණය, සැලසුම් කර තිබූ මුදල් සීමාව තුල සාර්ථකව කල යුතු වෙි.

මේ සියල්ල එක මිටට ගත් කල, කලා අධ්‍යක්ෂනය , සංස්කරනය , තුල නම් විශාල අඩුපාඩු පෙනුනි. ඒවා ඇසට දැනෙන තරමටම ප්‍රබල විය.

මීට අව්රුද්දකට පමන පෙර දුටු ගැමුණු වූවෙකු වලගම්බා වීම සිදු නොවි, එයට සුදුස්සෙකු පත් කිරීම චත්‍ර ඇතුලු නිපැයුම් කැල නොසිතීම අප ආලෝකෝ උදපාදි නැරඹීමේදි විදින විදිල්ල ගැන වගකිවයුතුය. ප්‍රථාපවත් වලගම්බා රජු හැලගෙම්බෙක් කිරීමෙ ක්‍රිමිනෙල් වරදට නම් චත්‍ර ඇතුලු නිපැයුම් කන්ඩායම, අනිවාරයෙන්ම දඩුවම් ලැබිය යුතුවේ. චත්‍රගේ වලගම්බා අපට පෙනෙනුයේ මිස්ටර් බීන් ලෙසය. මුඛ්‍ය චරිතය වු, ඉතිහාසයෙ මහා වලගම්බා, හෝහපුටෙක් ගානට පත්වන්නට ප්‍රධාන වශයෙන් බලපෑවේ,වලගම්බා ගේ චරිතයට,තිරරචනය තුල ලබා දුන් ඉඩ කඩ නිසාය. තීය බ්‍රහම්මනයා සහ දාඨීය , වලගම්බාව යටපත් කරන්නේ, හරියට උසේන් බෝල්ටන් මිටර් 200 ධාවන තරගයේ අනෙක් ධාවකයන්ට යන එනමන් නැති කරනවා සේය. මෙහිදි මා මුලින් කීවාක් මෙන් චිත්‍රපට තුලින්
චරිත වලට කල හැකි දෑ බොහෝය. දැවැන්ත පසුතල චරිත වලින් යටපත් කර ගත හැක. ආලෝකෝ උදපාදි හී වලගම්බා රජු යනු එහී මුඛ්‍ය චරිතයයි. මුලු සිතුවම්පටයම ගලා යනුයේ එතුමා වටාය. සොළී ආක්‍රමනයේදී තාවකාලිකව පැන ගොස් වනයේ ගුහාවක සැගවී ,සාමනේරවරුන්ගෙ පිහිටෙන් සේනාව සංවිධානය කර දීර්ඝ යුද්ධයකින් පසු නැවත රාජධානිය අත්පත් කර ගැන්ම වැනි සිදුවීම් සමූහය, බ්‍රමනය වනුයේ මහා වලගම්බා රජු වටාය. එලෙසම එතුමා තම බිසෝවරුන්, දරු දෙදෙනා සමග පැන යනු දුටු ගිරි නිගන්ඨ කෑ මොර දෙනුයේ “අන්න මහා කළු සිංහලයා පැන යනවෝ කියාය. ඇත්තෙන්ම මහාවලගම්බා රජුගේ චරිතයට ටෙලිනාට්‍ය වල චුයින්ගම් වෙන උද්ධික ප්‍රේමරත්නට වඩා වෙන රංග ශිල්පියෙක් තෝරා ගැන්මට චත්‍රට නොහැකි වීමෙන්, මෙතරම් දැවැන්ත ව්‍යාපෘතියක් තුල සිදුවුනු අඩුපාඩුව මැනවින් කැපී පෙනෙන්ට විය.
හැම බටහිර හා ඉන්දියානු චිත්‍රපටවල, චිත්‍රපටයට අදාල රංගන ශිල්පීන් තෝරන, වෙනම අංශයක් තිබේ. ඔවුන් තිරනාටකය සම්පූර්නයෙන්ම කියවා,එයට ගැලපෙන රංගන ශිල්පීන් තෝරනු ලබයි. Casting යනු එකී අංශයයි. එය වඩාත්ම වෘත්තීය මට්ටමක පවතින අතර ඔවුන්ට රංගන ශිල්පීන් ගැන පුලුල් අවබෝධයක් තිබේ. මෙය බටහිර හා ඉන්දියානු චිත්‍රපටවල, අත්‍යාවංශ අංගයකි. එමෙන්ම ඔවුනගේ තේරීම චිත්‍රපටයෙ සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. ලාංකිය සිනමාව තුල මෙවැන්නක් නොමැති වීම “ආලෝකෝ උදපාදි ” හී වලගම්බා රජු චරිතය අසාර්ථක වීම හොදම නිදසුනකි. සිංහල ඉතිහාසය තුල වලගම්බා රජුව හදුන්වන්නෙ ‘මහ කළු සිංහලයා’ ලෙසය. උද්දික ප්‍රේමරත්න දෙස බලන විට ,ඒ මහා කළු සිංහලයාගේ අනුරුව කෙලෙසකවත් මැවෙන්නෙ නැත.එයට හොදම නිදසුනකි වලගම්බා රජු තම බිසවුන් හා දරුවන් සමග අශ්වකරත්තයේ පැන යන අවස්තාවේ, එය දුටු ගිරි නිගන්ඨ “මෙන්න මහා කළු සිංහලයා පැන යනවෝ ‘කියමින් කෑගසන විට, අපට වුවද සිතෙන්නෙ ප්‍රථාපවත් දැවැන්ත සිංහල රජෙක්වය. එහෙත් තුට්ටු දෙකේ ටෙලිනාට්‍ය හැමකෙකම පාහේ කුණු වී යන උද්දික ප්‍රේමරත්න හැරෙන්නට මේ ලංකාදීපය තුල නලුවෙක් සොයා ගැන්මට චත්‍ර නොහැකි වීම විශ්මිත කරුණකි.

 අනුලා බිසව හා සෝමා බිසව ගැන නම්, දුකම දුක සිතේ. කෙතරම් දුක සිතෙනවාද කිවහොත් හොටු පෙරාගෙන හඩන්නට සිතේ. ඒ දෙදෙනා හරියටම මේ දිනවල FM නාලිකාවල හොටු පෙරාගෙන, බිම පෙරලි පෙරලි පොලවෙි පස් කකා බෙරිහන් දිදී හඩ හඩා ගයන දිමන්ත එල්ලාවලගේ ගීත වැනිය. දිල්හානි ඒකනායකත් හැම රජකථාවකටම හොට දමමින් චාටර් වීමේ අවසාන ප්‍රතිපලය වනුයේ ඇයව වෙසක් කාලයට, තොට ලග පෙන්වන තොරණකටම අලවි වී යාමයි. බුද්ධදාස විතානාච්චි , එකම රාමුවකම කොටු වී ගොස්ය. ඕනෑම රජකථා චිත්‍රපටයක බුද්ධදාස විතානාච්චි සාමනේර වරයෙක්ය. බොහෝ දක්ෂ තා තිබෙන නලුවෙකු සිවුරකටම සීමා කිරීම නම් අපරාධයකි. එය චත්‍රගේ වරදක් නොව, චරිතයක් භාර ගැනීමෙදී බුද්ධදාස විසින් සිතිය යුතු දෙයකි. නමුත් මහා තිස්ස තෙරගේ චරිතයට බුද්ධදාස කිසිදු අසාධාරනයක් කරන්නේ නම් නැත. චූලසීව හිමි ලෙස රගන රාජසිංහ ලෝලුවාගොඩ, පිලයමාරා ලෙස රගන ක්ලිටස් මෙන්ඩිස් (බොහෝ කලකට පසු මා ක්ලීටස්ගෙන් දුටු හොදම රංගනයක්) ඇසිපිය හෙලන කාලයක් තුල ගිරි නිගන්ඨ වූ ඩබ්.ජයසිරි, හොද රගපෑමක නිරත වේ. තීය බැමිණියට චිත්‍රපටය තුල සැලකිය යුතු රංග පරාසයක් තිබුනි. එමෙන්ම එය මනා පෞරුෂත්වයකින් හා ගාම්භීරත්නයෙන් හෙඹි මුලු චිත්‍රපටයම අතට ගත හැකි චරිතයකි. එහෙත් තීය බැමිණිය ගේ චරිතය ජීවමාන කල මේනකා පීරිස් දුටුවිට මට හැගුනේ, “අනේ කොචිචර ස්වීට්ද” කියාය. ක්ලියෝපැට්රාට සමාන වූ ගාම්භීර චරිතයට දැන් සිටින ලාංකීය ලාචෝරු, නිලියන් නම් ගැලපෙන්නේම නැත.වැඩමුළු දහසක් හෝ පවත්වා, නවක නිලියක් තෝරා ගැනීමේ උත්සහයක නිරත වන්නට තිබුනි. නොඑසේ නම් ඉන්දියාවෙන් හෝ නිලියක් ගෙන්වීමට තිබුනි. මේනකා පපුව පුම්බා, එ් ගාම්භීරත්වය,පෙන්වීමට කෙතරම් උත්සහ ගත්තද, ඒ පපුව පිම්බෙන්නට වඩා හැකිලෙන්නට විය. පව්, ඒ අහිංසක ලමයා ඔයිට වඩා මොනව කරන්නද?.

වඩා විශේෂත්වයක් නොවුවද, පුලස්ථි සෙනවී(නිහාල් ප්‍රනාන්දු) ජනපද දිෂ්වරයා(ජනක් ප්‍රේමලාල්) තනසීව (ඩග්ලස් රණසිංහ) චරිත කුඩා වූවද ඇගට දැනෙන ලෙස ඉදිරිපත් කලේ ඔවුන් වෘත්තිමය පලපුරුද්ද සහ දක්ෂ කම නිසා වන්නට ඇත. එතැනදි චත්‍ර වඩා නිවැරදි දේ තෝරා ගෙන තිබුනි. ඒ ඉතාමත් සුළු එහෙත් දැනෙන චරිත වලට, ප්‍රබලම රංගවේදින් එකතු කර ගැනිමය . ඩබ්. ජයසිරි, නිහාල් ප්‍රනාන්දු, ජනක් ප්‍රේමලාල්,හා ඩග්ලස් රණසිංහ එයට කදිම නිදසුනකි. ඔවුන් චිත්‍රපටයේ රගන්නේ සුලු විනාඩි කීපයක් පමනි . එහෙත් ඔවුන් උද්දික ප්‍රේමරත්නවද යටපත් කරගෙන ඇති සේය. පව් අසරන කොලුගැටයා.

මුලු චිත්‍රපටයම අතට ගෙන තිබුනේ දාඨීය සහ තීය බ්‍රහම්මනයාය. ඔවුන් දෙදෙනාට චත්‍ර විසින් පවරා දුන් වගකීම,චත්‍ර බලාපොරොත්තු වූවාටත් වඩා විශිෂ්ඨ ලෙස ඉටුවී තිබුනි.
දර්ශන් ධර්මරාජ්, ලාංකේය සිනමාවට එක්වීම මා නම් දකින්නෙ අප ප්‍රේක්ෂකයන් පින් කර ඇතිලෙසය. හැට, හැත්තෑ දශකයේ ප්‍රතිරූප මැවූ ,
ගාමිණී පොන්සේකා, එච්.ඩී. කුලතුංග,පියදාස ගුණසේකර, ඩොමි ජයවර්ධන , වැනි රංගධාරින් ගේ සමිශ්‍රනයක්,වූ දර්ශන් ධර්මරාජ්, දාඨීය ගේ චරිතයට පන පොවන අන්දම දකින විට, වලගම්බා නොහොත් උද්දික හැකිලෙන්නේ නිදිකුම්බා ගානටය.මුලු සිනමාපටයම දැවැන්තව වසාගන්නේ දාඨිය නොහොත්, දර්ශන් ධර්මරාජ්ය. “ආලෝකො උදපාදි ” ඇගට දැනෙන්නේ දර්ශන් ධර්මරාජ් නිසාය. මහා කළු සිංහලයා ඔහුවූවා නම් කියා සිතෙන වාර අනන්තය. එහෙත් එසේවූවා නම් මුලින් සිවුරු උස්සගන්නේ හාමුදුරුවරුන්ය. ඒ දමිල මිනිසෙක්, මහා කළු සිංහලයාට ගත්තා කියාය. ඉන්පසු විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා පවත්තමින්, යහපාලන ආන්ඩුව, දමිල කොට් නැගිට්ටවීමට උදව් දෙන බව කියමින්, ටීවී වල පට්ට ගසන්නට පටන් ගනු ඇත. ඉන් පසු මෙය ජාතික ප්‍රශ්නයක් වීමටද බැරි නැත . එහෙයින් චත්‍ර වීරමන්, මේවා ගැන සැලකිල්ලට ගෙන නිදිකුම්බා මලක් වුවද සිංහලයෙකු වලගම්බා කරන්නට ඇත. දර්ශන් ධර්මරාජ් ගේ රගපෑම් දකින විට,උද්දික ප්‍රේමරත්නට ඔහුගෙන් මොනතරම් දෑ ඉගෙන ගැන්මට තිබේද?
දාඨීය පූර්ණව ජීවමාන කිරීමත්, චිත්‍රපටය ඔය තරමට හෝ ගොඩදාගැනීම ගැන, චත්‍ර වීරමන් හිස නමා ස්තෝත්‍ර කල යුත්තේ දර්ශන් ටය. ඒ දර්ශන් ධර්මරාජ් නැමැති රංගශිල්පියාගේ රගපෑම්, ආලෝකෝ උදපාදි හී අතී විශිෂ්ඨ හෙයිනි. දාඨීය චරිතය, රළුය, භයංකාරය, සටකපටය, ඔහුට අවශ්‍ය වූයේ, රටේ මුලු වස්තුවම කොල්ල කා යාමටය. එසේ මුලු වස්තුවම කොල්ල කෑමටනම්, රාජ්‍ය බලය තවකාලිකව හෝ අල්වා ගත යුතුය. වලගම්බා රජු පැන ගිය පසු ගමි නියං ගම් සිසාරා අහිංසක මිනිසුන් ලමයින් මරාදමමින්, කැලෑවල භාවනාවෙ යෙදෙන, සාමනේරවරුන්, රාශියක් මරා දමමින් විශාල විනාශයක් කරමින් වස්තු තන්හාවෙන්, උමතු වී වලගම්බා රජු ඉන්න තැන සොයමින් කුඩා සාමනේර වරුන් පවා මරාදමන අතී දුෂ්ඨ මෙම චරිතය, දර්ශන් ධර්මරාජ් පන පොවන අන්දම ඇත්තටම විශ්මයය.ඒහා කරට කර ගැටෙන අනෙක් චරිතය, තීය බ්‍රහ්මනයාගේ චරිතයයි. මොන චරිතයක් ලැබුනද එසැනින්ම අවතීර්ණ වන, අද අපට සිටින තවත් අති දක්ෂ රංගන ශිල්පියෙකි , මේ තීය බ්‍රහම්මනයා ගේ චරිතයට පන පොවනුයේ. ඒ රොෂාන් රවින්ද්‍රය. ඇත්තෙන්ම රොෂාන් තීය බ්‍රහම්මනයාගේ චරිතය, දාඨීය ගේ චරිතය හා සමගාමීව, ඉදිරියට ගලා යන, අන්දම, හරියට බටහිර දැවැන්ත චිත්‍රපටයක මෙනි. රොෂාන් ට මෙය ලැබුනු වෙනස්ම චරිතයකි. තනිකරම කළු චරිතයක් වන තීය බ්‍රහම්මනයා තුලට රොෂාන් රවින්ද්‍ර ආරුධ වූයේ, දුම්මල අතට ගත් ආතුරයෙකු ලෙසිනි. “ආලෝකො උදාපාදි ‘ තුල මෙම දාඨීය හා තීය බ්‍රහම්මනයා චරිත යුගල එකිනෙකාට නොපරදමින් තම රංගනයන් ඉදිරිපත් කලෝය. මුලු චිත්‍රපටය පුරාම දර්ශන් ධර්මරාජ් හා රොෂාන් රවින්ද්‍ර ,ගේ විශ්මිතිය රංගනයෙන් දෙදරුමි කෑවේය.

එතෙක් මෙතෙක් ලාංකීය සිනමාව තුල තිබූ අග්‍රගනයේ යුධ සටන තිබුනේ “ආලෝකො උදපාදි ” චිත්‍රපටය තුලය.
අවසාන යුධ සටන විශිෂ්ට ලෙස හසුරුවා ඇත. එය කෙතරම් විශිෂ්ට දැයි කිව හොත් බටහිර හා ඉන්දීය Epic ශෛලයටම ඉදිරිපත් කර තිබුනි. ත්‍රාසය, භීතිය, නොඅඩුව ලැබූ මේ සටන එක දිගට, සැලකිය යුතු වේලාවක් වේගවත් රිද්මයකට ගෙන යෑම අතීශයින්ම පැසසුම් සහගතය. චිත්‍රපටය අවසන් වන විට එහි සිටි යුධ සෙබලුන් හෙම්බත් වූ සේම, අපද හෙම්බත් වී සිටියෙමු. ඒ අපත් එම යුද්ධයට හවුල් වූවාසේ දැනුනු හෙයිනි. එතරම් තාත්විකවය එම දිගු සටන අධ්‍යක්ෂනය කර තිබුයේ. “ආලෝකෝ උදපාදි” හී විශිෂ්ටතම දර්ශනය මෙම දිගු යුධ සටනය.

කෙසේ හෝ වේවා “ආලෝකෝ උදපාදි” සෑම ශ්‍රීලාංකිකයකු විසින් නැරඹිය යුතු චිත්‍රපටයකි. එය නැරඹිය යුත්තේද නවීන තාක්ෂණයේ සියලු ශබ්ද උපාංග ඇති සිනමා ශාලාවලය.
ලාංකිය හිගන සිනමා ආර්ථිකය තුල මෙවන් දැවැන්ත චිත්‍රපටයක් කිරීම පහසු නැත. එලෙසම ලංකේය ප්‍රේක්ෂකගාරය දෙස බලන විට, මෙවන් දැවැන්ත Epic මොඩලයක් කිරීම තම අතින් තම ගෙල සිද ගැනිමක් බදුය. චිත්‍රපටය පුරා අඩුපාඩු රැසක් පෙනුනා සේම, චිත්‍රපටය පුරා විශිෂ්ට දෑ ද හොදටම පෙනුනි, හොදටම දැනුනි. අලෝකො උදපාදි දැවන්ත තලයේ චිත්‍රපට නිපදවීමට හොද ප්‍රවේශයකි. චත්‍ර වීරමන්ගේ මීලග ව්‍යාපෘතිය මේ අඩුලුහුඩුකම් මගහරවා, පූර්න epic මොඩියුලයක් වෙන්නට පුලුවන.

අවසානයට කිව යුත්තේ මෙපමණනකි. “අලෝකෝ උදපාදි”යනු නිකම්ම බැහැර කල යුතු චිත්‍රපටයක් නම් නොවේ. ලාංකේය චිත්‍රපට ඉතිහාසයට, එය එක්වෙන්නෙ දැවැන්ත චිත්‍රපට ප්‍රවේශයකට එක්වන චිත්‍රපටයක් ලෙසය. චත්‍රවීරමන් වැනි නවක අධ්‍යක්ෂක වරුන් හා තුසිත විජේසේන වැනි නිශ්පාදකයන් අත්‍යාවශ්‍ය යුගයකය අප සිටිනුයේ. එහෙයින් ඔවුන්ව රැක ගැන්ම රජයේ හා චිත්‍රපට සංස්ථාවේ, මෙන්ම අපගේද, පූර්න යුතු කම හා වගකීම වේ.

(ශෝන් මැක්ස්මස් දිසානායකගේ සටහනකි .).

 

http://baiscope.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here