60 දශකයේ සිහින කුමරා – ටෝනි රණසිංහ

0
81
Tony Ranasingha

60 දශකයේ සිහින කුමරා – ටෝනි රණසිංහ (Tony Ranasingha)

පිරිමින්ට ලස්සනයි කියන්නේ නැත. එය ගැහැනුන් වෙනුවෙන් වෙන්වුණු හැදින්වීමකි. පිරිමියෙකුට ලස්සනයි කිවහොත් ඔහු ඉබේටම ගැහැනුන් ගේ
තත්වයට පත්වෙනු ඇත. ඉස්සර ලස්සන පිරිමියෙක් දුටු විට කීවේ ඔහු හරි “හැන්ඩියා” කියාය. කලෙක “කඩවසම්”යන වචනයද, ඊටත් පසු කලෙක “ආකර්ශනීය” යන වචනයද එතනට යෙදවිනි.

නමුත් මේ කතා නායකයා හැටේ දශකයේ අග භාගයේ බිහි වූ චරිතයක් හෙයින් , එකල බස් වහරයෙන්ම හදුන්වන්නට වන්නේ “හැන්ඩියා ” කියාය.
1937 ජුලි 31 වන දින මෝදරදී උපත ලැබූ මේ හැන්ඩි පැටියා ට ක්‍රිස්තියානියේදී නමක් ලැබුණි. භක්තිමත් කතෝලිකයන් වූ මොහුගේ මව හා පියා හැම කතෝලිකයන්ම එකල කරන සාමාන්‍ය සිරිත වූ සාන්තුවරන්යන්ගේ නම් දැමීම අනුව මොහුවද බෞතිස්ම කලේ රණසිංහ හෙට්ටිආරච්චිලගේ ඉග්නේෂස් ඇන්තනි සිල්වා ලෙසය. තරමක් ලොකු වේගන ලොකු වේගන එන විට නිවැසියන් ඔහුට කතා කලේ “අන්තෝනියෝ ” කියාය.

මේ කුඩා හැන්ඩියා මුලින්ම පාසලට ගියේ මෝදර ඩිලාසාල් කතෝලික කොලේජියටය .තරමක් වැඩීගෙන එනවිට ඔහුව වත්තල සාන්ත අන්තෝනි කොලීජියට ඇතුලත් කළේය. තව දුරටත් හැදී වැඩි එනවිට ,මල්සරාගේ බැල්ම බලාපොරොත්තුවෙන් සිටි ඔහුට බැල්ම හෙළුවේ කලාවට අධිපතිනී සරස්වතී දේවිය. එහෙයින් ඔහු මල්සරාව හමුවීම ටික කලකට කල් දමා,සරස්වතී පස්සෙන් ගියේය. සරවති දේවිය මොහුව සුගතපාල ද සිල්වා ලගට අතහැර, යන්නට ගියාය . සුගතපාල මොහුව ඔහුගේ “අපේ කට්ටිය” නම් නාට්‍ය සංගමයට බදවා ගත්තේ , මේ “හැන්ඩියා” තුල මොකක්දෝ නලියන ස්වභාවයක් තිබෙන බවක් දුටු හෙයිනි. සුගතපාලගේ “බෝඩිං කාරයෝ” නාට්‍යයේ මොහුට රගපෑමට අවස්ථාවක් ලැබුණි.ඇත්තෙන්ම මොහු එහි විශිෂ්ට ලෙස රගපෑවේය.

එකල වෘත්තිමය වශයෙන් ලඝු ලේඛකයෙක් ලෙස මන්දගාමී වූ රැකියාවක් කරමින් සිටි මොහුට, කෙසේ හෝ හොද රංගන ශිල්පියෙකු වන්නට ලොකු උවමනාවක් තිබුණි. : “බෝඩිං කාරයෝ” ලෙස්ටර් ජේම්ස් පීරිස් ද නරඹා තිබුණි.. ලෙස්ටර් මේ නළුවාට ආකර්ෂණය විය. ඔහුගේ රගපෑමට පෙම් බදින්නට විය.. ඒ වන විට “ගම්පෙරළියේ” ප්‍රධාන චරිත ත්‍රිත්වය තෝරා තිබුණි. නැතිනම් අනිවාර්යෙන්ම පියල්ගේ චරිතය යනුයේ මොහුටය. එහෙත් ලෙස්ටර්ට මොහුව අත්හලන්නට ලෝභ සිතුනි. මේ යෞවනයා ව තම චිත්‍රපටයකින්ම හදුන්වා දීමට ලෙස්ටර්ට උවමනා විය.”අන්තෝනියෝ” ගම්පෙරළියේ “බලදාස වුවා පමණක් නොව, හෙට්ටිආරච්චිගේ ඉග්නේෂස් සිල්වා යන නම් තුන “ඩිලීට්” විය.. ඇන්ටනී කියන නම “එඩිට්” විය. ඒ “ඇන්” ලොප් වී “ටනි” කියන නම “ටෝනි” ලෙසය මුල්ම නම වූ රණසිංහ අවසානයට එකතු වී “ටෝනි රණසිංහ” විය.

ටෝනි රණසිංහ මුලින්ම නළුවෙකු විය. “රන්තෝඩු ” නාට්‍යයේදී ඔහු සම්මානනීය විය. ඒ හොදම නළුවාට හිමි රාජ්‍ය සම්මානයයි. ලෙස්ටර් තම ආත්ම ප්‍රකාශනය රංගනයට පරිවර්තනය කරන්නට තෝරා ගත්තේ ටෝනිවය . ඒ ටෝනි මන්දගාමී වූ චරිතයක් නිසාය. “දෙලොවක් අතර” “රන්සළු” යන චිත්‍රපට යුගල තුලින් ලෙස්ටර් ට තම හදවත තුල ගොනු වූ බොහෝ දෑ නිහඩව කියවගන්නට,ලෙස්ටර් ටෝනිව ඉවහල් කර ගති. අත පය විසිකරනවාට වඩා ලෙස්ටර් ට අවශ්‍ය වුයේ එම දෙයම ඇහිබැමෙන් ,ඇස්දෙකෙන්,නාස් පුඩු වලින්, තොල්පෙති වලින්. කියන්නටය. එම චිත්‍රපට යුගලෙන් ලෙස්ටර්ට අවශ්‍ය ලෙසම ටෝනි කියන්නට විය. ලෙස්ටර් ටෝනිට පෙම් බැන්දේ තම ආත්ම ප්‍රකාශන ටෝනි ඒ අයුරින්ම කියූ නිසාය. ලෙස්ටර් අදත් “දෙලොවක් අතර ” හා “රන්සළු” චිත්‍රපට යුගල ප්‍රිය කරනුයේ ඒ නිසාය.

ටෝනි රණසිංහ ට ඉන්පසු බොහෝ විට ලැබුනේ පැතලි චරිතයන්ය. ඒවා හරි මන්දගාමිය,සාමකාමිය,පරමය,පිවිතුරුය. මුල් කාලයේ ටෝනිව විනාස වී ගියේ එහෙයිනි. අතුරු චරිතයක් වූ “පරසතු මල්” හී ඔහු සංයමයෙන් චරිතය හදුනාගෙන තිබුණි. කුඩා චරිත වලට පවා මහා දේවල් කල හැකි බව ටෝනි විසින් ඔප්පු කලේ “පරසතු මල්”හී සිරිසේනගේ චරිතයෙනි . ටෝනිගේ කඩවසම් තාරුණ්‍ය ඔහුව සිහින කුමරෙකු බවට පත් කළේය. ලංකාවෙත්, ඉන්දියාවේත් සිහින කුමරුන් වැටෙන්නේ එකම අච්චාරුවේය. ඔවුනට තිබෙන්නේ,ප්‍රේම වන්තියන් සොයා ගැනීමේ උමතුවත්,සොයා ගත් පසු ඇයව දුෂ්ටයාගෙන් බේරා ගැනීමත්ය. ටෝනි, මුලින්ම අහුවුනේ ඒවාටය. ඒ ඔහුගේ “හැන්ඩි ” පෙනුම නිසාය. ගාමිණි ෆොන්සේකා තම පෞර්ශත්වයෙන් හා විවිධ වූ චරිතයන්ට අරුධ වී රිදී තිරය දෙදරවන විට, ජෝ අබේවික්‍රම තම රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂකයන් හා බද්ධ වන විට ,ටෝනි රණසිංහට සිදු වුයේ තම කඩවසම් අකර්ශනියත්වයට මුවා වී සිටින්නටය.

චිත්‍රපට 115 ක් රගපෑ ටෝනි රණසිංහට දෙලොවක් අතර,හා රන්සළු වලින් පසු තම ප්‍රතිභාව පෙන්වීමට,මැදිවියට එලබෙන තෙක් සිටීමට සිදු විය. 1960 දශකය තුල ඔහු රගපෑ චිත්‍රපට වූ ගම්පෙරලිය,ගැටවරයෝ.සැකය.පරසතු මල්, සිහින හතක් ,දෙලොවක් අතර,කිංකිනි පාද ,සැනසුම කොතනද,රන් සළු, වසන්ති,මනමාලයෝ,සැඩොල් කදුළු,ආදරවන්තයෝ,සිගිති සුරතල්,හැංගි හොරා ,ඉදුනිල,දහසක් සිතුවිලි, ප්‍රවේසම් වන්න,නාරි ලතා ,හරි මග ,හන්තානේ කතාවක්, යන චිත්‍රපට දෙස බලු විට ටෝනි රගපා තිබුනේ නම් ගම් පෙරළිය,දෙලොවක් අතර,රන්සළු පරසතු මල් හා නාරි ලතා හී පමණි. අනෙක් හැම
චිත්‍රපටයකටම, ඔහුට සිදු වුයේ, ඔහුගේ අකාර්ශනීය පෙනුම උකහට තැබීමටය.

70 දශකය තුලද ටෝනිට, 60 දශකයට වඩා චිත්‍රපට ලැබෙන්නට විය. කලණ මිතුරෝ,සමනල කුමරියෝ,ආදරේ හිතෙනවාදැක්කම,හත් දින්නත් තරු,සුනේත්‍රා,ගොපලු හඩ, හොදයි නරකයි,දිනුම් කණුව ,ශීලා,වස්තුව,සාගරිකා,සූරයා සූරයාමයි , හිත හොද මිනිහෙක්,කලියුග කාලේ,කෝකිලයෝ,උන්නත් දාහයි මලත් දාහයි ” “ආදරෙයි මං ආදරෙයි” ,දුහුළු මලක්”,වල්මත් වුවෝ”,”ලෝක හොරු””ආසා” “දෙයියන්ගේ තීන්දුව,මංගලා,ඔන්න මාමේ කෙල්ල පැනපි ,හුලාවලි,සරදියෙල් ගේ පුතා””සකුන්තලා”,”පෙම්බර මධු”,:හිත මිතුරා””මධුවන්ති”,”වීර පුරන්අප්පු”,සිතක සුවද”,”සාරා”,”අහසින් පොලවට”,”එක හිත” “නුවන් රේණු”,”සුභානි” යන චිත්‍රපට අතුරින් ටෝනි ට යමක් කල හැකිව තිබුනේ “දුහුළු මලක්” “හුලවාලි”හා “අහසින් පොලවට” පමණය.

80 දශකය වන විට ටෝනි වයසින්,දැනුමෙන්,රංගන අත්දැකීමෙන් පරිනත වී තිබුණි.එහෙත් ඒ වන විට ඔහු ට ලැබුනේ දෙවැනි චරිත හා අතුරු චරිතයන්ය.
“උතුමාණෙනි”,”එක්ටැම් ගේ”,”මයුරිගේ කථාවක් “,”හෙවනැලි ඇද මිනිස්සු” “ගඟ අද්දර”,”සසරක පැතුම”,”බඹර පහස”,”පරිත්‍යාග”,”රන් එතනා”,”සමාවෙන්න”,සයුරු තෙර”,”බාදුරා මල්”,”බැද්දේගම “,”යහළු යෙහෙළි “,”පෙති ගෝමර”,”රෑ මණමාලි “,”සාගරයක් මැද ” “වාලම්පුරි”,”මලට නොඑන බබරු “,”සදමාලි”,”සමුගතිමි මා සැමියනි “,”සමනල සිහින”,:මායා “,”සසර චේතනා”,”කෝකිලා”,”සුදු මාමා” “කලියුගය”,”ආදර කතාව”,”දිනුම”,”කොටි වලිගය”,”දුෂ්‍යන්ති”, “ජනේලය”,”සත්‍යග්‍රහනය අතුරින් ඔහුට චරිතාංග රංගනයක් ඉදිරිපත් කිරීමට හැකි වුයේ “බැද්දේගම, යහළු යෙහෙළි” හා රෑ මණමාලි ” පමණි.

90 දශකය වන විට ටෝනිගේ රගපෑම් සීමිත විය. එහෙත් ඔහුගෙන් හොද රංගනයක් ලැබුනේ,ඒ සීමිත වූ චිත්‍රපට වලින්ය. “සිසිල ගිනි ගනී”,”සප්ත කන්‍යා”,”අවරගිර”,”දුවට මවක මිස”,”තරණය “,”සාවිත්‍රිගේ රාත්‍රිය”,”ඇය ඔබට බාරයි”,”කොලොම්පූර්”,”පවුරු වළලු”,අතරින් සිසිල ගිනි ගනී,සප්ත කන්‍යා ,තරණය , පව්රු වළලු හි විශිෂ්ටවූ රංගනයක යෙදුනි.

ඔහුගේ අවසන් දශකය වූ 2000 ස් දශකය තුල ඔහු රගපෑ “අනුරාගයේ අනන්තය”,”මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි”,,”අනන්ත රාත්‍රිය”,”කිනිහිරියා මල්”,”සලෙලු වරම”,”ලේ කිරි කදුළු””දිය යට ගින්දර” “රන් දිය දහර”, “අම්මාවරුනේ”,”සිකුරු හතේ””,හාර්ට් FM “,” නිල් දිය යහන ” “එකමත් එක රටක” යන චිත්‍රපට තුලින් ඔහුට හොද රංග පරාසයක් ලැබුනේ “කිනිහිරියා මල්”තුලින් පමණි.

ටෝනි රණසිංහ වචනයේ පරිසමාර්තයෙන්ම දක්ෂ රංග වේදියෙකි. එම දක්ෂ කමින් හරි ප්‍රයෝජනයක් ගත්තේ ලෙස්ටර් ජේම්ස් පිරිස් පමණි.ඒ ටෝනි රණසිංහ යනු කව්දැයි හරි හැටි වටහා ගෙන තිබුනේ ,ලෙස්ටර්ත් ගාමිණී ෆොන්සේකාත් පමණි.

එහෙත් ටෝනි රණසිංහ යනු ලාංකේය සිනමාවට ආකාරයකි. එහෙත් එයින් නිසි ප්‍රයෝජන ගත්ත දැයි නම් සැක සහිතය.

http://baiscope.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here