“හීන හොයන සමනල්ලු ” – ( අදහස් දැක්ම ) -ශෝන් මැක්ස්මස් දිසානායක –

0
317

“හීන හොයන සමනල්ලු “Heena soyana samanallu” – ( අදහස් දැක්ම ) –ශෝන් මැක්ස්මස් දිසානායක

සමනල්ලු රෑනක් හිස වටා පියාඹන්නට විය . ඔවුන් හොයන්නේ මල් රොන් නොව. හීනය. එය හමුවේද, හමුවූ පසු,ඉටුවේද, යන්න සැක සහිත වුවද ඔවුන් දිගටම හීන හොයන්නට විය. ඒ හීන ඇතුලත තිබුනේ ජීවිතය බව ඔවුන් දැන සිටියාසේම, ඒ ජීවිත ඇතුලේ තිබෙන්නෙත් හීන බවද ඔවුන් දැන සිටියෝය.. ඔවුන් හීන ඇතුලේ තිබෙන ජීවිතය සොයාගත් පසු යලිත් ජීවිතය ඇතුලේ තිබෙන හීන හොයන්නට පටන් ගනී. හැම විටම කැරකෙන්නේ මේ චක්කරයය.

බන්ටී සහ ෂෙහාන් හීන හෙව් හේතුන් එකිනෙකට වෙනස්ය. බන්ටිට නම් මුළු ජීවිතය පුරාම සොයන්න වෙන්නේ සිහිනමය .ඒ යථාර්තය වූ කලි ඉතාමත් කටුක නිසාය. ඔහුගේ දෙමා පියන් ඔහුව හැර ගොස් ඇත.ඔහු ජීවත් වන්නේ ආච්චි සහ සීයා ලගය. ඔවුන් ලබන එකම ආදායම ලැබෙන්නේ ආච්චි පුච්චන වඩේ විකිනීම තුලින්ය. . එහෙත් සීයා හැම රැයකම හොර අරක්කු බෝතලයක් බොන, එලොවටත් නැති මෙලොවටත් නැති මිනිසෙකි. බන්ටි හැදෙන්නේ එවැනි පරිසරයක් තුලය. බන්ටිට ලැබෙන එකම සතුට හීනය . හීන වැඩි වෙන තරමට බන්ටිට සතුටුය. පාසැලේ සිටින්නේත් හීන හොයන අයයි. උග්‍ර දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් වල ළමයින්ට ඉගනීමේ වටිනාකම සොයාගැන්මට නොහැක. ඔවුන් ඒ වෙනුවට හීන හොයමින් ජීවත් වේ.පාසල තුලදීත් ඔවුන් ජීවිතය විදින්නට විය. පාසැලෙන් පිටතදීත් ඔවුන් ජීවිතය විදින්නට විය. එහෙත් නිවෙස් වලට ගියාට පසු ඔවුන් ජීවිතය විදවන්නට විය. එම විදීමත්, විදවීමත්, පාසැල තුලදීම සිදුවෙන්නේ ගුරුවරියන් දෙදෙනා හරහාය. එක් ගුරුවරියකගෙන් ආදරය කරුණාව ලබන ඔවුන්,තවත් ගුරුවරියකගෙන් අනන්තවත් බැට කන්නට විය. එක ගුරුවරියක් ඔවුන්ව හීන තුල රදවා තබා ගන්න අතර අනෙක් ගුරුවරිය ඔවුන්ගේ හීන කඩා බිද දමනු ඇත. එහෙත් ඔවුන් ජීවිතය විදින්නටද. මගක් හොයා ගනී. හොර කුරුම්බා කඩමින් ,ඇල,දොල ගංගා වල පිහිනමින්,ස්වභාධර්මයා මවන සුන්දර පරිසරය සමග ගැටෙමින් ඔවුනොවුන්ගේ ළමා වින්දනය විදින්නට විය.

ෂෙහාන් ගේ ජීවන රටාව,පරිසරය,ඊට හාත්පසින් වෙනස්ය. තිර රචක රොහාන් පෙරේරා මෙම චරිත දෙක හරහා මුලින් පෙන්වන්නට උත්සහා කලේ ධනවාදී,හා නිර්ධන පන්ති තුල ඇති ලක්ෂණයන්ය. එහී ඇති විශාලවූ පරතරයන්ය. එහෙත් එතුලින් ඔහු තවත් දෙයක් ගෙනහැර පානු ඇත . ඒ නිර්ධන පන්තියේ ඇති කටුක බව තුලින් දිවයන සැහැල්ලු බවය. එලෙසම ධනවාදී පන්තිය තුලින් දිව යන රළු බවය. ඒකාකාරී රාමුවක් තුල හිරවුණු බවක්ය. ෂෙහාන් නියෝජනය වන්නේ මේ ධනවාදී පන්තියයි. සුඛෝපබෝගී ජීවන රටාව ,බටහිර තාලයට ප්‍රනීත කෑම බීම,සුපිරි නිවෙස,යාන වාහන,කොළඹ උසස් පාසැල්ඉගැනුම,සංගීත පන්ති,පිහිනුම් පන්ති. එහෙත් ඒ සෑම දේ තුලින් ඔහු ලබන වින්දනය තුල ප්‍රශ්නාර්ථයක් විය.

ඉන්පසු අධ්‍යක්ෂක රොහාන් පෙරේරාට අවශ්‍ය වන්නේ අර නිර්ධන හා ධනවාදී පන්තිදෙක එකට මුණගැස්සිමටය . ඊටත් යටින් අධ්‍යක්ෂක ගේ මනසේ දිව යන්නේ යම් දේශපාලනීක මතිමන්තාරයකි. නිර්ධනය,ධනවාදයට වඩා බලවත් යන සිහින් රැඩිකල් මතයක්ගෙන හැර පාන්නට ඔහු උත්සහා ගනී. එයට ඔහු හේතු සාධක කර ගන්නේ ෂෙහාන්ට වැලදෙන මාරාන්තික ලෙඩක් වූ, ලියුකේමියා,හා වකුගඩු අක්‍රියවීමය. ෂෙහාන් ගේ ශෛලයකර්මයට අවශ්‍ය ලේ වර්ගය අතිශයින්ම දුර්ලභ කරන්නටත්, එය නගරයේදී කෙලෙසකවත් සොයා ගැන්මට නොහැකි කරන්නටත්, අවසානයේ කිසියම් හෝඩුවාවක් උඩ දුර බැහැර දුෂ්කර ගම්මානයක වෙසෙන බන්ටි ලග මෙම ලේ වර්ගය තිබීම තුල අර සිහින්ව දිව යන රැඩිකල් දේශපාලනය ගැබ්වී තිබෙන බව ඇතිවන හැගීම වැලැක්විය නොහැක. ෂෙහාන් ගේ හීන පටන් ගන්නේ මෙතැන් සිටය. ඔහුට හොයන්නට සිදුවෙන්නේ ඔහුගේ ජීවිතයය. ෂෙහාන්ගෙත් ,බන්ටිගේත් හීන වල වෙනස එයය.

සිනමාව යනු යථාර්ථයම නොව. එය යථාර්ථයත්,මායවත් අතර ඇතිවන ශ්‍රවමය හා දෘෂමය ගනුදෙනුවකි. ඒ ගනුදෙනුවේදී,සිදුවිය හැකි දේ යථාර්තයටත්, සිදුවීමට නොහැකි දේ මායවටත් ගත හැකිය. එහෙයින් වගකිවයුතු පෞද්ගලීක රෝහලක් ළමයෙකුගෙන් බලෙන් ලේ ගැන්වීමක් , සිදු කරන්නේ නම් ? . එම සිදුවීම යථාර්තය ලෙස ගත යුතුද නොඑසේ නම් මායාව ලෙස ගතයුතුද?

ෂෙහාන් ශෛලයකර්මයට මුහුණ නොදී බන්ටිත් සමග රෝහලෙන් පැනගියේ ,ශෛලයකර්මයට ඇති බයට වඩා බන්ටිගේ ජීවිතය තමන්ගේ ජීවිතය වෙනුවෙන් උගස් කරන්නට තිබෙන අකමැත්ත නිසාය. ඔවුන් පැනගොස් නතර වන්නේ බන්ටිගේ දුෂ්කර ගම්මානයේය. කිසිවෙක් ඇස නොගැටී බන්ටි සහ ඔහුගේ යහළුවා ෂෙහාන්ට බෙහෙත් කරන්නට යන්නේ තම සීයාගෙන් උප්පරවැට්ටියකින් අරගත් බෙහෙත් වට්ටෝරුවකිනි.ඒ සියල්ලම අයත් වන්නේ මායාවට මිස යථාර්තයට නොව. හේතුව ඒවා සිදුවීමට හැකි දේවල් නොවේ .

එහෙත් අධ්‍යක්ෂක රොහාන් පෙරේරා, විටෙක යථාර්ථයෙත් ,තවත් විටෙක මායාවෙත් ගැටී තමා කියන්නට අදහස් කර ඇති දෙය කියා ඇත. අවසානයේ ධනේශ්වරයත්,නිර්ධනයත් එකතු වේ.එය තනිකරම මායාවක් වුවද රොහාන්ගේ චින්තනයේදී ඔහු එය සිදු කර පෙන්වන්නේය . ඒ බන්ටිත් ,ෂෙහාන්ගේ මව වූ මාධවීත් හරහාය.

ළමා චිත්‍රපටයක් කියා සිතුවද,මෙය ළමයින්ට සංවේදී වැඩියැයි විටෙක සිතේ. පන්තියේ හා පන්තියෙන් පිටතදී මුලින් මුලින් ළමයින් කරන දඩබ්බර වැඩ නිසා ළමා චිත්‍රපටයක් කියා හැගුනද ,මෙය තනිකරම වැඩිහිටියන්ගේ සංවේදී ගැටළු කීපයක විග්‍රහයකි. ලියුකේමියා හැදුනු තම පුතු බේරා ගැනීමට දෙමාපියන් කරන අරගලයත්, දෙමාපියන් අතහැර ගිය ළමයෙකු ජීවත් කරවීමට එම ළමයාගේ ආච්චි හා සීයා කරන අරගලයත් එය පවුලේ චිත්‍රපටයක් බවට පරිවර්තනය වී තිබුණි.

මෙවන් තේමාවක් 1960 දශකය අවසන්භාගය තුල පෙන්වූ “මංගලිකා” නම් චිත්‍රපටයක ඇතුළත්වූ බවක් මතකය . එයින් අදහස් වුයේ මෙය මංගලිකා චිත්‍රපටයෙන් උපුටා ගත් බව නොවේ. මෙය තරමක් සුලභ කථා වස්තුවක් බව හැගෙන නිසාය. එහෙත් රොහාන් පෙරේරා එය නගරයත් ගමත් අතර සම්බන්ධීකරණයක් කරමින්, එම කථා වස්තුව වඩා පුළුල්ව අද යුගයට සරිලන ලෙස ඉදිරිපත් කර ඇත.

මුල සිට අග දක්වා චිත්‍රපටයේ රිද්මය තබා ගැන්මට රොහාන් පෙරේරා උත්සහා දරා ඇත. එයට මනා පිටුවහලක් වුයේ නවරත්න ගමගේ ගේ සංගීතයය. දර්ශනයෙන්,දර්ශනය තුල සිදුවන ක්‍රියාකාරිකම් මැනවින් හදුනා ගැනීමේ ඉව, ඔහුට තිබුණි. සංගීතය අවශ්‍ය කොතනටද, සංගීත කාණ්ඩ වෙනස් විය යුත්තේ කොතනදීද යන්න ඔහු තුල තිබු අවබෝධය නම් විශිෂ්ටය. කැමරාකරනයේදීද කිව යුත්තේ එයමය. රුවන් කොස්තා යනු ප්‍රවීන සිනමා කැමරා ශිල්පියෙකි.හැම රූපරාමුවකම තිබුනේ හොද ජවයකි.එය ඇතුලත හා පිටත දර්ශන වලදී මැනවින් කැපී පෙනුනි. එහි සමබරතාවය ඔහු රැකගෙන තිබුනේ විශිෂ්ට ලෙසය. තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණය හිතට වදයක් වුයේ නැත.

මෙහි කිසිවෙක් විශිෂ්ට ලෙස රගපෑවේ නැත. ඒ විශිෂ්ට ලෙස රගපෑමට,විශිෂ්ට චරිත නොතිබූ නිසාය. නමුත් හේමසිරි ලියනගේ සුපුරුදු ලෙස තම වෘතිමය දක්ෂතාවය විදහා දැක්විය.ජයනි සේනානායක තරමක් අධිරංගනයක ස්වරූපයක් ගෙන තිබුණි.ඒ චරිතයේ ස්වභාවය නිසා වන්නට ඇත.එක ගුරුවරියක් සැඩ පරුෂ වන විට,තවත් ගුරුවරියක් කරුණාවන්ත විය යුතුය. ඒ දෙකේ වෙනස පෙන්වන්නට එසේ වුවා විය හැක. ආදිත්‍ය ලෙස රගපෑ සෞම්‍ය ලියනගේ චරිතය තුලට කිදා බැස තිබුණි.උසස් රැකියාවක නියුත්තෙක් ලෙස,ධනවත් පවුල් පසුබිමක දිවි ගෙවන්නෙකු ලෙසත්,එයට අනුචිතව ඔහුගේ හැසිරීම් රටාව ඔහු මනා ලෙස ඉදිරිපත් කර ඇත. විශේෂයෙන් ඔහු ඔහුගේ ගමන.අත්පා චලනය පවා එයට අනුකුලව හසුරවන ආකාරය නම් ඇත්තෙන්ම ප්‍රසංසනීයය.කරුණාවන්ත ගුරුවරියකගේ චරිතය රගපෑ උමාලි තිලකරත්න මනා සංයමයකින් තම චරිතය තුල ජීවත් විය.ආච්චි ලෙස රගපෑ නෙතලි නානායක්කාර ,දොස්තර ලෙස රගපෑ ලුෂන් බුලත්සිංහල, අතින් වෘත්තිමය රංගනයක් ඉදිරිපත් විය .

මෙහිදී ෂෙහාන් වුයේ අංජන දිල්ශාරය. කථාව අනුව ඔහුට දගකාරකම් කිරීමට ලැබෙන අවස්ථා ඉතාමත් අඩුය.නැතිම ගානය. හේතුව ඔහු එහි ලියුකේමිය සෑදුනු දරුවාගේ චරිතයට පන පොවන නිසාය. එහෙයින් ඔහුට රගපෑමට සිදු වුයේ ඉතාමත් මන්දගාමී චරිතයකි. එහෙත් බන්ටි වූ විනත් තෙසත්ට අතපය විසිකරමින් රගපෑමට හැකි චරිතයකි ලැබුනේ. කුඩා ළමුන් දෙදෙනාගෙන් ආධුනික බවක් නොදැනුනාම නොව. එලෙසම හිතට දැඩිවම කාවැදුනේද නැත.
සෙසු කුඩා ළමයින් තුලද,කිව යුතු තරමේම විශේෂත්වයක් දුටුවේ නැත. එහෙත් ඔවුන් තමනට හැකි පමණින් චරිත වල ජීවත් වී තිබුණි..

චිත්‍රපටයේ වැඩිබර තිබුනේ ෂෙහාන් ගේ මවගේ චරිතය වූ මාධවිටය. එය අත්දැකීම් බහුලවූ ප්‍රවීන නිලි දිල්හානි ඒකනායක විසින් නිරුපනය කලාය. චිත්‍රපටයේ සංවේදී බව බොහෝ විට දැනුනේ ඇයගේ රගපෑම තුලිනි. බලාපොරොත්තු රහිතව,තම එකම දරුවා ලියුකේමියා රෝගයට ගොදුරු වීමේදී,මවක් වශයෙන් දරා ගැනීමේ හැකියාවද ,ඉන්පසු ඒ දරාගැනීමේ සීමාව ඉක්මවා ගිය පසු හැසිරෙන ආකාරය ඇය ප්‍රේක්ෂකයන්ගේ නෙතට කදුළු ඉනෙන ආකාරයට රගපා තිබුණි. එය ඇයටම සිදුවූ සිදුවීමක් ලෙසය ඇය ඉදිරිපත් කර තිබුනේ.

සුනිල් ටී ප්‍රනාන්දු ගේ බරපැනින් සැකසුනු රොහාන් පෙරේරාගේ “හීන හොයන සමනල්ලු” හොද පවුලේ චිත්‍රපටයකි. දෙමාපියන් ,දු දරුවන් සමග එක්වී නැරඹිය යුතු චිත්‍රපටයකි. නැරඹුවාට පසුත් කාලයක් යන තෙක් සිත තුල රැදෙන චිත්‍රපටයකි.

-ශෝන් මැක්ස්මස් දිසානායක –
http://baiscope.com

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here