අදට වැඩිය හෙට..?

0
85
Sinahala Film

“බොහෝ සිංහල චිත්‍රපට (Sinahala Film) උදේ හා දවල් දර්ශන බලන්න එන්නේ තරුණ ජෝඩුය. මේගොල්ලොත් නැත්නම් අපිට සිංහල චිත්‍රපට පෙන්වන්න වෙන්නේ හිස් පුටුවලට. මේ ජෝඩු ඇත්තම සිනමා රසිකයන් නෙමෙයි. ඒගොල්ලො බලන චිත්‍රපටයක් නැහැ. ඒත් මේ ජෝඩු නැත්නම් සිංහල චිත්‍රපට ගැලවෙන්නේ දවසකින් දෙකනින්” මේ ඉතාමත් මෑතකදී කොළඹ ප්‍රධාන චිත්‍රපට ශාලාවක සේවකයෙක් මට පැවසූ කථාවකි. එම කථාව තුළ ඔහු අපට බොහෝ දේවල් සිතීමට ඉතුරු කරයි.

ලංකාවේ සිනමාකරුවන්ගේ අතිරික්තයක් දැන් අැත. අකුලකට ගලක් ගැසුවත් සිනමාකරුවන් බුරුතුපිටින් වැටේ. එය හොඳ ප්‍රවණතාවයකි. එහෙත් මේ සිනමාකරුවන්ට වෙළඳපොළක් නැත. ඔවුන් වෙළඳපොළක් ඉලක්ක නොකරගෙන, තම සිතැඟි ඉටු කිරීමේ වස් අනිත් අයගේ මුදල්වලින් චිත්‍රපට අධ්‍යක්ෂණය කරයි. අවසානයේදී ඔහුට ප්‍රේක්ෂකයන් ද නැත. නිෂ්පාදක ද නැති වී ඔහුට ඔහුවම නැතිව යනු ඇත. මෙය පසුගිය වකවානුවේ සිදු වූ ඛේදවාචකයන්ය.

බොහෝ චිත්‍රපට සතියෙන් දෙකෙන් ගැලවුණි. මේ චිත්‍රපටවලින් සමහරක් හොඳ සිනමා කෘතීන් ලෙස සැලකිය හැකි වුව ද, ප්‍රදර්ශන අවධියේදී, ඔවුනට නිසි සැලසුමක් නොතිබුණි. නොඑසේ නම් ප්‍රචාරණයට මුදල් වෙන් කර නොතිබුණි. එසේත් නැතිනම් ලංකාව තුළ ඇති ප්‍රේක්ෂක සහභාගිත්වය ගැන අවබෝධයක් නොතිබුණි. ඔවුන් සිනමාපටය ගැන සිතුව ද, එහි මුල් ප්‍රචාරණය ගැන නොසිතීමය මා දකින මුලිකම හේතුව.

ජූලි 7‘ කියා චිත්‍රපටයක් එළිදැක්විය. කිසියම් වෙනස් තේමාවක් අනුව යමක් කිරිමේ උත්සාහයක ඔවුන් යෙදුණු බවක් පෙනුණි. චිත්‍රපටයේ ආකෘතිය මෙන්ම ඉදිරිපත් කිරීමේ රටාව තුළ ද එහි නැවුම් බවක් තිබුණි. යුරෝපයේ හා බටහිර රටවල ජනප්‍රියම සිනමා හා නාට්‍ය ශෛලයක් වූ ‘බ්ලැක් කොමඩි’ චිත්‍රපටයන් ලංකාවට හඳුන්වා දුන් පුරෝගාමීන් ලෙස චරිත් හා සංජයව හඳුන්වාදීමට හැකි වුව ද ඔවුන් අතරමං වූයේ ප්‍රේක්ෂකයන්ට නිසිලෙස තම පණිවිඩය නොදීමෙනි. ‘ජූලි හත’ ලෙස චිත්‍රපටයක් තිබෙන බවක් ප්‍රේක්ෂකයන් දැනගත්තේ එය තිරගතවූවාට පසුවය. මෙය කුමන ගණයේ චිත්‍රපටයක්දැයි බැලීම සඳහා යෑමට ලක ලෑස්ති වන විටම චිත්‍රපටය ශාලාවලින් ගැල වී හමාරය.

මෙය පසුගිය කල බොහෝ චිත්‍රපටවලට සිදුවුවකි. ඒ බොහෝ චිත්‍රපට තුළ ද කිසියම් වටිනාකමක් තිබුණි.

සිනමාපටය ගැන සිතනවාටත් වඩා, ගැඹුරින් නිෂ්පාදකයා ගැන සිතිය යුතුමය. ඔහු යොදවන මුදල් කජු ඇට කොස් ඇට නොව, ඒවා ඔහු මහන්සියෙන් උපයූ මුදල්ය. නිෂ්පාදකයා යනු සිනමා අම්බරය තුළ ‘සඳ’ය. තරු ඔහු වටා රොක් වනු ඇත. ඔහුව රැකගැනීම අධ්‍යක්ෂ සතු කාර්යයකි. නිෂ්පාදකයාත්, සිනමා ශාලා හිමියාත්, නළු නිළි හා කාර්මික ශිල්පීනුත්, සිනමා මාධ්‍යවේදීනුත්, ප්‍රේක්ෂකයාත් රැකගෙන චිත්‍රපට කිරීම අධ්‍යක්ෂක සතු ප්‍රබල කාර්යයකි. අධ්‍යක්ෂණය කෙරෙහි ඇති ඔහුගේ දැනුම, හැකියාව, අවබෝධය, අහස තරම් දිගු විය යුතුය. මුහුද තරම් පළල් විය යුතුය. ප්‍රේක්ෂක වෙළෙඳපොළ ගැන ඊටත් වඩා සිතිය යුතුය.

එහෙත් හැම සිනමාකරුවෙකුටම සුවිසල් ලෙස ආයෝජනය කළ හැකි නිෂ්පාදකයන් හමුවන්නේ නැත. එය මුලු ලොවටම පොදුය. ‘ලෝ බජට්’ නොහොත් අඩු ආයෝජනයකින් සිනමාපට ඉදිරිපත් වන්නේ ඒ නිසාය. පාඩු වුව ද දරාගත හැකි සීමාව තුළ ඔවුනට සිටිය හැක. මුදල් ඉපැයීම අසාර්ථක වුව ද, ගුණාත්මක හා සිනමාත්මකබවින්, පෝෂණය වූ එම චිත්‍රපට මඟින් ලාංකේය චිත්‍රපට ජාත්‍යන්තර තලයට සුලු වශයෙන් හෝ එසවෙනු ඇත. නමුත් එම චිත්‍රපටවලින් ද ලංකාව තුළම හොඳ ප්‍රේක්ෂකාගාරයක් හැදීමට තිබුණි. නිර්මාණකරුවා හෝ බරපැන දරන්න නොසිතූ දේ එයයි. ඉහත දැක් වූ සිනමාපට නැරැඹුවේ නම් එය අවබෝධ වන ඇත. කවුරු කෙසේ කීව ද, ඕනෑම සිනමා කෘතියකට නිසි ප්‍රචාරණය නම් අත්‍යාවශ්‍යය.

60 – 70 දශකය තුළ ප්‍රචාරණය කළ ක්‍රම සහ විධි විවිධය. එකල ලවුඩ්ස්පීකර් හෙවත් යකඩ කටවල්, මොරිස් මයිනර් කාර් උඩ බැඳගෙන, ඒ චිත්‍රපටයේ ගීත මහ හඬින් විකාශනය කරමින්, කථිකයා චිත්‍රපටයේ විස්තරයක් යකඩ කටින්ම කියමින්, වටා පිටා අයට චිත්‍රපටයේ අත් පත්‍රිකා බෙදමින්, චිත්‍රපටයේ පූර්විකාව නගර, ගම් නියම්ගම් හරහා ගොස් ජනතාවට දන්වයි. එවිට ඔවුන් චිත්‍රපටය කුමක්ද, එහි රඟපාන නළු නිළියන් කවුදැයි දැනගෙන එය නැරැඹීමට ලක ලෑස්ති වෙයි.

පාරවල්වල තාප්ප පුරාම චිත්‍රපටයේ පෝස්ටර් අලවයි. නගරයේ තැනින් තැන විශාල කටවුට් ගසයි. දිනපතා පුවත්පත්වල අවසන් පිටුවට පෙර පිටුව චිත්‍රපටල විස්තර, පෙන්වන ශාලාවල් හා වේලාවන් සඳහන් වෙයි. එකල ගුවන් විදුලියේ වෙළඳ සේවයේ චිත්‍රපටය වෙනුවෙන් අර්ධ අඩ පැයක කාලයක් වෙන්කර චිත්‍රපටයේ දෙබස්, ගීත ඇතුළත් වූ ප්‍රචාරාත්මක වැඩ සටහනක් විකාශනය කෙරේ. සිනමා පුවත්පත්වලින් දීර්ඝව විස්තර සටහන් කෙරේ. එවිට ප්‍රේක්ෂකයන් ඉබේටම චිත්‍රපටයට ඇදී එයි.

අද කටවුට් ගැසීම් බිත්තිවල පෝස්ටර් ඇලවීම්, අත් පත්‍රිකා බෙදීම් කෙරෙනවා අඩුය.

ලංකාව වැනි රටක බහුලව ‘ලෝ බජට්’ චිත්‍රපට නිපදවෙන්නේ ඒ අප රට තුළ සිනමා කර්මාන්තයේ ඇති ආර්ථිකත්වය අනුවය. ඇතැමුන් දක්ෂතා ඇති නවක ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් හොඳ සිනමාත්මක චිත්‍රපට බිහි කරන අතර, තවත් අය කුමක් හෝ චිත්‍රපටයක් කරමින් ප්‍රේක්ෂකයාට ඇතුල්වන්නට උත්සාහ කරයි. මේ ක්‍රම දෙකම වැරැදි නැත. ඔවුන් අත්හදා බලන්නට යන්නේ ඔවුන්ගේම මුදල්වලින් නම් එය කිසිසේත්ම වැරැදි නැත. නොඑසේ නම් නිෂ්පාදකයා සමඟ අවබෝධාත්මකව ලාභ, පාඩු දෙකම භාර ගැනීමේ ගිවිසුමක් උඩ කළ යුතුය. හේතුව අද අප අනිවාර්යෙන්ම රැකගත යුත්තේ නිෂ්පාදකයාව නිසාය.

එක් කලක අප නළු නිළියන් නිෂ්පාදන කාර්යන්ට උරදුණි. එය ඉතාමත් පැසසිය යුතු කරුණකි. තමන්ගේ ප්‍රතිරූපය තමන්ට අවශ්‍ය අන්දමට නංවා ගැනීමටත් ඔවුන් චිත්‍රපට නිෂ්පාදය කළෝය. එහි වරදක් නැත. එමඟින් කර්මාන්තය පවත්වා යෑමට ඉඩ ලැබුණි. ගීතා කුමාරසිංහ ‘සළඹක් හඬයි’, ‘පාලම යට’, ‘අනුරාගයේ අනන්තය’, අනෝජා වීරසිංහ ‘ඔබට දිව්රා කියන්නම්, ‘කෙළි මඬල’, ‘ජුලියට්ගේ භුමිකාව’, ජීවන් කුමාරණතුංග ‘හිත හොඳ කොල්ලෙක්’, ‘රන්දෙනිගල සිංහයා’, ශ්‍රියානි අමරසේන ‘රිදීතැල්ල’. ‘දෑසේ මල් පිපිලා’, ‘කුලගෙය’, ‘තරණය’, ක්ලීටස් මෙන්ඩිස් ‘වීර උදාර’, ‘පරපුර’, ලකී ඩයස් ‘පාරාදීසය’, ‘අන්තිම රැය’, සෝනියා දිසා ‘ජය අපටයි’, ,’මමයි රජා’, සනත් ගුණතිලක ‘සිසිල ගිනි ගනියි’ වැනි චිත්‍රපට උදාහරණයට ගත හැකිය.

කලා නිෂ්පාදකයන්, අධ්‍යක්ෂවරුන් සොයා ආවද, අද බහුතර අධ්‍යක්ෂවරුන්ට නිෂ්පාදකයන් සොයා යෑමට සිදුවේ. කිසිවෙක් ආත්ම තෘප්තිය තකා චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ නැත. කරන ආයෝජනයට අනුව හොඳ ලාභයක් අපේක්ෂා කෙරේ. එය කිසිසේත් අසාධාරණ නොවේ. සිදු විය යුත්තේ ද එයමය. එවිටමය එම නිෂ්පාදකයන් තවත් චිත්‍රපටයක් කිරීමට පෙළඹෙන්නේ. එලෙසම නිෂ්පාදකයාට බොහෝ විට ගැටලු ඇතිවෙන්නේ ප්‍රදර්ශනයේදීය. එය තනිකරම යුද්ධයකි. එම යුද්ධයට මුහුණදීමට සිදු වන්නේ නිෂ්පාදකයාටය. චිත්‍රපට නිර්මාණකරණය ඔහුට එපා වෙන්නේ එවිටය. අප අනිවාර්යයෙන්ම සොයා බැලිය යුත්තේ මෙවන් ගැටලුය.

අද ලංකාවේ තරුණ පිරිස් ඉතා අපහසුවෙන් හෝ ලෝ බජට් චිත්‍රපට නිපදවයි. ඒවා මොන ශ්‍රේණියේ ද කියා දැනෙන්නේ නැරඹූ පසුවය. නමුත් ඔවුන් කුමක් හෝ උත්සාහයක යෙදීම නම් අතිශයින්ම ප්‍රශංසනීයය.

ඉදිරියට තිරගතවීමට බලාපොරොත්තු වන සිංහල චිත්‍රපට ගණනාවක් ඇත. ‘ස්වර’, ‘ ද ලෙටර්’, ‘සුළඟ අපව රැගෙන යාවි’, ‘සිනෙමා‘, ‘පවර් රේන්ජර්ස්’, ‘නෙලා’, ‘දැවෙන විහඟුන්’, ‘දැකල පුරුදු කෙනෙක්’, ‘හීින සොයන සමනල්ලු‘, ‘දේදුනු ආකාසේ’, ‘බ්‍රේකින් නිව්ස්’, ‘ගුරු ගීතය’, ‘ඉරා’, ‘කෞෂි’, ‘යම රජ සිරි’, ‘වෛශ්ණාවි’, ‘ටොම් පචයෝ’, ‘කළු හිම’, ‘පුතෙකුට’, ,’රතු සමනල් හීනයක්’, ‘දඩයක්කාරයා’ වැනි දීර්ඝ ලැයිස්තුවක් ප්‍රදර්ශනය කිරීමට පෙල ගැසිී ඇත. එලෙසම ‘බිම්බා දේවි නොහෙත් යශෝධරා’, ‘ගෝල්’, ‘ආදරණිය අමන්දා’, ‘ඝරසරප’ යන චිත්‍රපට අලුතින් පටන්ගෙන ඇත. මෙයින් ‘ආදරණීය අමන්දා’ සිනමා නළු සේනක විජේසිංහ හා ‘ඝරසරප’ රංගන ශිල්පී අර්ජුන කමලනාත් විසින් නිෂ්පාදනය කිරීම විශේෂත්වයක් වූ සේම, යළි සිනමා රංගන ශිල්පීන් චිත්‍රපට නිපදවීමට එළැඹීම නම් ප්‍රශංසනීය කරුණකි.

චිත්‍රපට නිෂ්පාදකයන් ගැන සඳහන් කරන විට අමතක කළ නොහැකි නිෂ්පාදකවරයෙකි සුනිල් ටී. ප්‍රනාන්දු. ඔහු නැත්නම් බොහෝ නවක තරුණ අධ්‍යක්ෂවරුන් නිපැයූ චිත්‍රපට කිසි ිදිනෙක තිරගත නොවෙනු ඇත. සත්‍ය ලෙසම සිනමාවට ආදරය කරන, ගරු කරන ඔහු ලාංකේය සිනමාව වැටෙන්නට නොදී තම හිස මත තබා උසුලාගෙන සිටිනවාක් වැනි යැයි කීම යුක්ති සහගතය. ඔහු නැත්නම් අද ‘තන්හා රති රඟා’, ‘හෝ ගාන පොකුණ”, ‘සය පෙති කුසුම’, ‘නිනෝ ලයිව්’ වැනි චිත්‍රපට තිරගත කිරීමට නොහැකි වනු ඇත. කිිසි දිනෙක සිනමාව අත් නොහැරූ සුනිල් ටී. ප්‍රනාන්දු නව සිනමාවේ පියා ලෙස සඳහන් කෙරුව ද එයට කිසිවෙක් උරන නොවෙනු ඇත. ඔහුගේ දායකත්වයෙන් බොහෝ අලුත් චිත්‍රපට ප්‍රදර්ශන අවස්ථා ලබාගති.

විද්යුත් මාධ්‍යයන් චිත්‍රපට නිපදවීමට උනන්දුව දැක්වීම, ලාංකේය සිනමා උන්නතියට කෙරෙන විශාල මෙහෙවරකි. අද අත්‍යාවශ්‍ය වී ඇත්තේ ඔවුන්ගේ සහයෝගයත්වයයි. එම්. ටී. වී. සිරස මාධ්‍යය මුලින් ‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටය නිපදවීය. දැන් ඔවුන් ‘ධර්ම යුද්ධය’ නිපදවා තිරගත කරනු ඇත. හෙට ඔවුන් ‘ගෝල්’ චිත්‍රපටයට උර දෙනු ඇත. ස්වර්ණවාහිනිය ද ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය නිපදවමින් සිටී. මේ අන්දමට අනෙක් මාධ්‍ය ජාලයනුත් ඉදිරියේදී ඉදිරිපත් වනු ඇත.

අද බොහෝ සිනමා ශාලා නවීකරණය වී ඇත. අලුත් තාක්ෂණ මෙවලම් හරහා ප්‍රේක්ෂකයන්ට සුපිරිම වින්දනයක් ලබාදීමට ඉඩ සකසා ඇත. අතිශය සුඛෝපභෝගී මෙම සිනමාහල් බොහෝමයක්ම 3 ඩී තාක්ෂණයෙන් සපිරිය. ‘සූම්’ සහ ‘බන්ධනය’ 3 ඩී තාක්ෂණයෙන් පෙන්වීමට හැකි වූයේ එහෙයිනි. ලාංකේය සිනමාකරණය ද අද 3 ඩී තාක්ෂණය වැළඳ ගනිමින් සිටී. ‘ආලෝකේ උදපාදි’ 3 ඩී තාක්ෂණයෙන් නොවුණ ද නවීකරණය වූ සිනමා ශාලාවක එය නරඹන විට දැනෙනුයේ එපික් වර්ගයේ හොලිවුඩ් චිත්‍රපටයක් නරඹනවා වැනි හැඟීමකි.

බොහෝ අය සිනමාව වැටෙනකල් බලා සිටින්නේ ඉමහත් උද්දාමයකිනි. එහෙත් මා මුලින් දැක් වූ අලුත්ම චිත්‍රපට ලැයිස්තුවත්, එලෙසම ඉදි වී තිබෙන නවීන සිනමාහල් දෙස බලන කළ අප සිනමාව දිනෙන් දින ශක්තිමත් වෙනවා හැර කිසිම දිනයක දුර්වල වන්නේ නැත. එය දුර්වල කිරීමට කෙලෙසකවත් නොහැකිය. දවසින් දවස අලුත් අධ්‍යක්ෂකවරුන් බිහිවෙනවාක් මෙන් නවීන සිනමාහල් ද ස්ථාපිත වේ. අවශ්‍ය වනුයේ නිෂ්පාදකයන්ව රඳවා ගැනීමත්, අලුත් නිෂ්පාදකයන්ව උනන්දු කිරීමත්ය.

අප හැට හැත්තෑ, අසූව, අනූව දශකයෙන් මිදිය යුතුමය. එදා එම දශකවල චිත්‍රපට නැරැඹූ අය තවමත් රැඳී සිටිනුයේ ගැලරිය, දෙවන පන්තිය, විවේක කාලය තුළ බෝතල්වලට ටිරිං ටිරිං කියා ගසන ශබ්දය තුළය. ඔය පරම්පරාව තව අවුරුදු 20 ක් ඇතුළත නැත්තටම නැති වී යනු ඇත. මේ හැම දේ නවිකරණය වෙන්නේ අද හා හෙට පරම්පරාවටය. ඔවුන්ට මේ පහසුකම් සාමාන්‍ය දේවල්ය. ඒවා තිබිය යුතුම දේවල්ය. ඊයේ පරම්පරාවේ කාලය නිම වෙමින් යයි. ඔවුන් ඒ ඒ දශකවල එල්ලී සිටිනු ඇත. නැත්නම් අලුත් පරම්පරාවත් සමඟ තරමක් දුරට හෝ නවීන විය යුතුය.

චිත්‍රපටවල තේමාවන් ද වෙනස් වී යනු ඇත. එදා හංගා පෙන්වපු දේ අද එළිපිටම පෙන්වනු ඇත. එදා කථා කිරීමටත් බිය වූ විෂයන් අද ක්‍රියාකාරී ලෙස පෙන්වනු ඇත. ’28’, ‘සයපෙති කුසුම’, ‘නිකිනි වැස්ස’, ‘මායා’, ‘සුළඟ ගිනි අරන්’ එයට හොඳම නිදසුන්ය. සිනමාව එසේ විය යුතුය. විජය කුමාරණතුංගලා, ගාමිණී ෆොන්සේකලා බොරු කොණ්ඩ දමාගෙන මල්ගස් වටේ සිංදු කියමින් දිවීම දැන් පරම්පරාවට හරි යන්නේ නැත. මේ වෙනසත් සමඟ අප ඉදිරියට යා යුතුය. සිනමාවේ විවිධ පැති ස්පර්ශ කළ යුතුය.

ආදර කථා, විහිලු කථා, චරිත කථා, සත්‍ය සිදුවීම්, අද්භූත කථා මේ සියල්ල තිබිය යුතුය. ‘බන්ධනය’, ‘මෝටර් බයසිකල්’, ‘සූම්’, ‘නිම්නයක හුදකලාව’, ‘සුළඟ ගිනි අරන්’, ‘නිනෝ ලයිව්’, ‘ද ලෙටර්’, ‘දඩයක්කරයා’, ‘ප්‍රේමය නම්’, ‘රතු සමනල් සිහිනය’, ‘අක්ෂරය’, ‘ඇගේ ඇස අග’ වැනි චිත්‍රපට ගැන සිතන විට දැන් මෙය සිදුවෙමින් පවතින බව සතුටින් සිහි කළ හැක.

රජය ද මෙයට අනිවාර්යෙන්ම මැදිහත් විය යුතුමය. රජයක් මුදල් යොදවා චිත්‍රපට තනන්න යන්නේ නැත. එහෙත් රජයට හොඳ ව්‍යාපාරිකයන්ව සිංහල චිත්‍රපට තනන්නට උනන්දු කළ හැකිය. කර්මාන්තය රැක ගැන්ම රජය සතු වගකීමකි. එයටත් වඩා දෙයක් රජයට කළ හැකිය. මා පෙන්වා දුන් අන්දමට අප චිත්‍රපටවලට තිබෙන ප්‍රබලම ගැටලුව ප්‍රචාරණයයි. රජය සතු රූපමය විද්යුත් මාධ්‍ය දෙකක් ඇත. හැම දිනකම අප අලුත් චිත්‍රපට වෙනුවෙන් විනාඩි 15 ක් වෙන් කර චිත්‍රපටයේ විස්තර, ගීත රූප රාමු කීපයක්, සමඟ චිත්‍රපටය පෙන්වන ස්ථාන, ඒවා පටන් ගන්නා වේලාවන්, ඇතුළුව චිත්‍රපටවල ප්‍රචාරාත්මක වැඩසටහනක් රජය මූලික වී එම රූපවාහිනී නාළිකාවල ප්‍රචාරය කරන්නේ නම් එම පණිවිඩය ප්‍රේක්ෂකයන් අතරට විස්තරාත්මකව යැවෙනු ඇත.

සිනමා ‘සඳ’ සදාකාලිකය. එය කිසිසේත්ම බැස යන්නේ නැත. ඉඳහිට වලාකුලකට මුවා වුව ද, වලාකුළු පාවී ගිය පසු නැවත එය බබලන්නේ පෙරටත් වඩා දිප්තිමත්වය. ඉදිරියේදී ලාංකීය සිනමා අම්බරයේ ස්වර්ණමය යුගය එළඹෙනු ඇත. එය වැඩි ඈතක නම් නොවේ. යාන්තම් අත පොව්වන දුරකය. එවිට සිනමා ‘සඳ’ තරු අම්බරය තුළ සදාකල්ම පායනු ඇත.

සිනමා  තොරතුරු දැනගැනීමට 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here